lakbima.lk

මිනිස් මිතුරන්ට උදව්කොට ඔවුන් නිසාම මෙලොවින් සමුගත් සුනඛ වීරයා

2016 ඉතාලියේ ඇතිවූ ගිනිකඳු පිපිරුමේදී අතුරුදන්වූවන් සොයාදෙමින් ලොව පුරා වීරයෙකු ලෙස නම රැඳවූ කාඕස් නම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයා මියගොස් තිබේ. මෙහි ඛිෙදවාචකය වන්නේ කාඕස් මියගොස් ඇත්තේ කිසිවෙකු විසින් වස දෙනු ලැබිමෙන් වීමය. පැය ගණනක් අතුරුදන්ව සිටි වයස අවුරුදු තුනක් වූ ඔහුගේ සිරුර නිවසේ ගෙමිදුලෙහි තිබි සොයාගන්නා ලදී. මේ සම්බන්ධයෙන් තම මුහුණු‍පොතේ සටහනක් තබන ඔහුගේ අයිතිකරු වන ෆේබියානෝ එල්ටෝරේ “ඔබ සිටින තැනක ඔබ කවදත් ප්‍රියකළ කටයුත්ත කරන්න. අතුරුදන් අය සොයන්න.’යැයි තැබූ සටහන බෙහෙවින් සංවේදීය. ඉතාලියේ රියෙටි ප්‍රදේශයේ ඉහත භුමිකම්පාව බලපෑ ඇමට්‍රිස් නගරයේ මේ දෙදෙනා පදිංචිව සිටියෝය. කාඕස් දිවි බේරාගැනීමට උපකාර කළමිනිස් වර්ගයාගෙන් අයෙකු විසින්ම ඔහු ගේ දිවි තොර කිරීම එරට ජනතාවගේ දැඩි කෝපයට හේතු වී තිබේ. සත්ව හිංසාව සම්බන්ධ නීති දැඩිකරන ලෙසද ඉතාලියේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන රජයෙන් ඉල්ලා තිබිණි. කාඕස්ට වස දුන් පුද්ගලයා නීතියේ රැහැනට හසුකොට දැඩි දඬුවම් ලබාදෙනතුරු දිගටම සටන් කරන බවද ඔවුහු පවසති.

2016 අගෝස්තු විසිහතරවැනිදා අලුයම ඉතාලියේ ඇමට්‍රිස් නගරයට බලපෑ රිච්ටර් මාපාංකයේ 6.2 ක් වු භුමිකම්පාව එරටට බලපෑ දරුණුතම භුමිකම්පාව වූ අතර  දෙසිය හතළිස් එක්දෙනෙක් ඉන් මියගියේය. තමා පදිංචි නගරයට සිදු වූ විපත ඇසූ සත්ව පුහුණුකරුවෙකු වූ ෆේබියන් හා එවකට වයස අවුරුද්දක් වූ කාඕස් එතැනට මුලදීම පැමිණි අය අතර විය. එතැන් සිට සහන සේවකයින් සමග එක්ව සති ගණනක් තිස්සේ තම සිව්පාවලින් ‍පොළොව හාරමින් සුන් බුන් මැද සිරවූවන් සෙවීමට කාඕස් ලබාදුන්නේ නොමද දායකත්වයකි. කාඕස්ගේ ඉරණම ගැන කතා කිරීමට තමාට වචන නැති බවද, මෙවැනි කුරිරු කටයුත්තක් මිනිසෙකුට කළ හැක්කේ කෙසේද යන්න තම විමතියට හේතුවී ඇති බවද කියන ෆේබියානෝ එදින අලුයම දෙකට පමණත් කාඕස් බුරන හඬ තමාට ඇසුණු බව පවසයි.

2015 වසරේදී රෝමයේ උපත ලැබූ කාඕස් 2016 ඔක්තෝබර් මාසයේදී ඉතාලියේ සිදු වූ භුමිකම්පාවකදී අතුරුදන් වූවන් සෙවීමටද උපකාර කොට තිබිණි. ජීවිත හානි කිසිවක් සිදුනොවුණද එය දශකයක කාලය තුළ ඉතාලියේ සිදුවු බලගතුම භුමිකම්පාවය. මෑතකදී අතුරුදන්ව සිටි පුද්ගලයකු සොයා ගැනීමටද කාඕස් උදව්කොට තිබේ. කාඕස්ගේ මරණය සම්බන්ධයෙන් ‍පොලිස් පරීක්ෂණයක් අරඹා ඇති අතර වරදකරුට දැඩි දඬුවම් ලබාදෙන බවට රජයද ‍පොරොන්දුවී ඇත. මේ හේතුවෙන් මතෛක් සම්මත කරගත නොහැකි වූ සත්ව අවිහිංසා පනතක් සම්මත කරගැනීමටද දේශපාලකයින් කටයුතු කරමින් සිටිති. 2012 වසරේ කළ සමීක්ෂණයකට අනුව ඉතාලියේ සිදුවන සතුන්ට වසදීම්, බහුතරය සුනඛයින්ට වස දීම් බව කියැවෙයි. එරට සුනඛ මරණ අතින් දෙවන තැනට එන්නේ සුනඛයන් නොරුස්සන පුද්ගලයන් විසින් වසදීම නිසා සිදුකරන මරණය.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.