lakbima.lk

මගේ දුව දැන් ඉන්නේ බය වෙලා වගේ මේගන් මාර්කල්ගේ පියා පවසයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකානු රංගන ශිල්පිණියක වූ මේගන් මාර්කල් අතර විවාහය පසුගිය කාලයේ විශාල අවධානයක් දිනාගත් අවස්ථාවක් විය. මෙහිදී මනාල යුවළ තරමටම අවධානය දිනාගත් තවත් චරිතයක් සිටියේය. ඒ මේගන්ගේ පියා වූ තෝමස් මාර්කල් ය. ඔහු පිළිබඳව එම අවස්ථාවේ එවැනි අවධානයක් යොමු වූයේ සිය දියණියගේ විවාහ උත්සවය සඳහා සහභාගි වීමට නොපැමිණීම හේතුවෙනි. විවාහ උත්සවය අවස්ථාවේ දේවස්ථානය තුළ දී මනාලිය කැඳවාගෙන ගොස් මනාලයා වෙත භාර දිය යුතු වන්නේ මනාලියගේ පියා වුවත් තෝමස් එයට සහභාගි නොවීම නිසා එම චාරිත්‍රය ඉටුකිරීමට සිදු වූයේ හැරීගේ පියා වූ චාල්ස් කුමරුටය. උත්සවය සඳහා මේගන්ගේ පාර්ශ්වයෙන් සහභාගි වූයේ ඇගේ මව වන ඩෝරියා රෙඩ්ලාන් පමණි.

73 වෙනි වියෙහි පසුවන තෝමස් මෙම අවස්ථාවට සහභාගි නොවූයේ හදිසියේම හෘදයාබාධයක් ඇති වූ බව පවසමිනි. කෙසේ නමුත් මේ වනවිට ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම හෘදයා බාධ කතාව බොරුවක් බවය. සැබැවින්ම ඔහු සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගි නොවූයේ එයට ටික දිනකට පෙර ඔහු පෙනී සිටි ඡායාරූප කිහිපයක් නිසා ඇති වූ ආන්දෝලනය හේතුවෙන් ඔහුට රජ පවුලට මුහුණ දීමට අසීරු තත්ත්වයක් ඇති වීම නිසා බව එකල කියැවුණු කතාවකි. නමුත් පසුව ඔහු හෘදයාබාධය නිසා සැත්කමකට මුහුණදුන් බව පැවසීමත් සමග ඒ කතාව තරමක් යට ගියේය.තෝමස් විවාහ උත්සවයට සහභාගි වීම සඳහා ඇඳුම්වලට මිනුම් ලබා දෙන අන්දමත්, ඔහු අන්තර්ජාල මධ්‍යස්ථානයකට වී දියණියගේ ඡායාරූප බලමින් සිටින අන්දමත් දැක්වෙන ඡායාරූප එකල මාධ්‍ය තුළ සංසරණය වූ අතර, ඒවා කාගේත් අවධානය පැහැර ගත්තේ මේගන්ගේ පවු‍ලේ ප්‍රශ්න ගැන කව්රුත් දැන සිටි නිසාය. මේගන්ගේ පියාත්, මවත්, ඇයට වයස අවුරුදු 6 යේදී එකිනෙකාගෙන් දික්කසාද වී සිටියහ. මේ නිසා ඉහත කී ඡායාරූප කා තුළත් කිසියම් හැඟීම්බර බවක් ඇති කරන්නට සමත් වූ බව පෙනිණි.නමුත් පසුව තොරතුරු පළවෙන්නට පටන් ගත්තේ මෙම ඡායාරූප මාධ්‍ය වෙත විකිණීම හරහා තෝමස් විශාල මුදලක් උපයාගෙන ඇති බවටය. එමගින් ඔහු ස්ටර්ලිං පවුම් ලක්ෂයක් පමණ උපයාගෙන ඇති බවද පැවසිණි. (එය ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට ආසන්න ය). සිය දියණියගේ විවාහය මේ ආකාරයෙන් විකුණාගෙන කෑම ගැන ඔහුට විවේචන එල්ල වන්නට පටන්ගත්තේය. තෝමස් මාර්කල් විවාහ උත්සවයට නොගියේ මෙම අපකීර්තිය නිසා විනා හෘදයාබාධයක් නිසා නොවන බවට දැන් සැක පළවෙන්නට පටන්ගෙන තිබේ. මෙම කතාවෙහි ඇත්තනැත්ත දැන ගැනීම සඳහා එක්තරා මාධ්‍ය ආයතනයක් ඔහුගේ හෘද සැත්කම කළ බව කී රෝහලට කතා කර ඇති නමුත් එවැනි නමක් ඇති කෙනෙකු රෝහලට ඇතුළත්ව නැති බව ඔවුන් පවසා ඇතැයි ද සඳහන් වේ. මේ නිසා දැන් නැවතත් මේගන්ගේ පියා මාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත්ව සිටියි.

 මේ අතර පසුගිය දිනවල තෝමස්  මාධ්‍ය වෙත ලබා දී තිබූ සාකච්ඡා කිහිපයක් ද විශාල වශයෙන් කතාබහට ලක් විය.මෙම සාකච්ඡා නිසා හැරී සහ මේගන් ද, රජ පවුල ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවට ද තොරතුරු පළ වී තිබිණි. එයට හේතුව තෝමස් මෙහිදී රජ පවුල පවා විවේචනය කිරීමට කටයුතු කර තිබිමයි. එක් සාකච්ඡාවක දී ඔහු පවසා තිබුණේ විවාහ උත්සවයෙන් පසු මේ වනතෙක් තමාට එක් වරක් හෝ සිය දියණිය සමග කතා කිරීමට නොලැබුණු බවයි. කලින් ඇය සමග කතා කළ අංකයට කතා කළ විට පිළිතුරු නොලැබෙන බව ද ඔහු සඳහන් කර තිබිණි. තමා රජ මාලිගයේ කෙනෙකුට කෙටි පණිවිඩයක් යැවූ බවත්, තවමත් එයට ද පිළිතුරු නොලැබුණු බවත් ඔහු පවසා තිබිණි. ලිපියක් යැවීමට පවා මේගන්ගේ පෞද්ගලික ලිපිනයක් තමා නොදන්නා බව ද, මාලිගයට යවන ලිපි ඇයට ලැබෙනු ඇත්දැයි තමාට සැක සහිත බව ද ඔහු තවදුරටත් පවසා තිබේ. කෙසේ හෝ වේවා තෝමස් මාර්කල් පෙන්වා දීමට උත්සාහ කරන්නේ රජ පවුල තමා කොන් කිරීමටත්, තමා සමග සබඳතා අවසන් කිරීමටත් කටයුතු කරමින් සිටින බවකි. එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ විවාහ උත්සවයට පෙර ගත්, කලින් සඳහන් කළ ඡායාරූප නිසා ඇති වූ අපකීර්තිමත් තත්ත්වයයි.කෙසේ නමුත්, තමා මේගන්ගේ පියා බව අමතක නොකළ යුතු බවද, ඒ නිසා තමාට යම් සැලකීමක් තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කරඇත. බ්‍රිතාන්‍යයට යාමට අදහස් කරගෙන සිටින බවත්, කෙසේ හෝ සිය දියණිය හමුවීමට උත්සාහ කරන බවත් ඔහු පවසයි.

මෑතක ලබා දුන් තවත් සම්මුඛ සාකච්ඡාවක දී තෝමස් පවසා තිබුණේ සිය දියණියගේ මුහුණෙහි දැන් පෙනෙන්නට ඇත්තේ මහත් 'භීතියටපත් ගතියක්' බවයි. ඇයගේ දෑස් තුළ මෙන්ම ඇයගේ සිනහව තුළ ද මේ බව ලියැවී ඇතැයි ඔහු කියයි.  තෝමස් පවසන්නේ රජ පවු‍ලේ දැඩි සම්ප්‍රදායන් විසින් ඇයමත ඇති කර තිබෙන පීඩනය නිසා ඇය මෙම තත්ත්වයට පත්ව ඇතැයි තමා සිතන බවකි. ඇයට මේ වනවිට අඳින්නට සිදුව ඇති සම්ප්‍රදායික ඇඳුම් ගැන පවා ඔහු දැඩි විවේචන එල්ලකර තිබේ. 2018 වැනි කාලයක නවසිය තිස් ගණන්වල ඇඳුම් ඇඳීම ඔහුගේ විවේචනයට ලක්ව තිබිණි. ඒවා යල්පිනූ සම්ප්‍රදායන් ලෙස ද ඔහු විසින් හඳුන්වනු ලැබ තිබූ අතර මෙවැනි ප්‍රකාශයන් සෘජුවම රජ පවුල විවේචනය කරන ඒවා ලෙස සැලකිය හැකි වෙයි.මේ ආකාරයෙන් විවිධ පුවත්පත්වලට  සහ රූපවාහිනි නාලිකාවලට සම්මුඛ සාකච්ඡා ලබා දීම සඳහා ද ඔහු විශාල වශයෙන් මුදල් අය කරන බවට  මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ හෝ වේවා, තෝමස් මාර්කල්ගේ මෙම ප්‍රකාශයන් හරහා මතුවෙමින් ඇති ව්‍යාකූල තත්ත්වයත්, එයින් හැරී-මේගන් යුවළට මෙන්ම රජ පවුලට ඇති වෙමින් තිබෙන බලපෑමත් සමනය කිරීම සඳහා හැරී කුමරු ඔහු හමුවීමට අදහස් කරගෙන සිටින බවද පසුගිය දිනෙක මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔක්තෝබර් මාසයේ හැරී සහ මේගන් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එහි ගොස් එන අතරතුර  ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දී ඔවුන් අතර හමුවක් සිදුවීමට ඉඩ ඇති බව සඳහන් වේ. හැරී කුමරු සිය මාමණ්ඩිය මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇත.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.