lakbima.lk

ගම් යටකරමින් බිඳී ගිය ලා ඕසයේ වේල්ල

පුද්ගලයන් සියයකට අධික සංඛ්‍යාවක් අතුරුදන් කරමින් මේ වනවිට විසිදෙනෙකු මරණයට පත්කරමින් පසුගිය සඳුඳා ලා ඕසයේ ඇටාප්‍යූ ප‍්‍රදේශයට මහා ගංවතුර තත්ත්වයක් උද්ගත විය. මෙම ගංවතුර තත්ත්වයට හේතු වූයේ ඇටාප්‍යු ප‍්‍රදේශය ආසන්නයේ වූ දැවැන්ත වේල්ලක් හදිසියේම කැඞීබිඳී විනාශ වී යාමයි. මෙම වේල්ල ඉදිකරනු ලැබ තිබුණේ තායිලන්ත සහ දකුණු කොරියානු රජයේ හිමිකාරීත්වය දරන ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් ජලය රැස්කර තබා ගැනීම සඳහාය.

කෙසේවුව ද මෙම වේල්ල බිඳීයාම නිසා මේ වනවිට ලා ඕසයේ ගම්මාන හයකට පීඩා එල්ල වී ඇති අතර පවුල් 6000කට අයත් පුද්ගලයින්ට උන්හිටි තැන්පවා අහිමි වී තිබේ. මේ වන විට සහන කණ්ඩායම් 80ක් විපතට පත් පුද්ගලයින්ට ආහාර, පිරිසිදු ජලය, ඇඳුම්, ළදරු ආහාර, ඖෂධ ආදිය බෙදාදෙමින් පවතී.

මේ ආකාරයට බිඳී ගොස් ඇති වේල්ල බිඳීයන අවස්ථාව වන විට එහි වැඩ සියයට 90ක පමණ ප‍්‍රමාණයක් අවසන්කර තිබූ අතර වේල්ල බිඳී යාමට පෙර ඒ අසල පදිංචි පුද්ගලයින් වෙත අවදානම් නිවේදන නිකුත් කර තිබූ බව එහි පාලන අධිකාරිය පවසයි. එය බිඳී ගොස් තිබුණේ පසුගිය සඳුදා දිනයේ වන අතර ඉරිදා වන විට වේල්ලෙහි බඳ මත ඉරි තැලූම් කීපයක් මතුව තිබූ බවත් දිගින්දිගටම පැවැති දැඩි වර්ෂාව හේතුවෙන් දරා ගත නොහැකි තරම්වූ ජල කඳක් වේල්ල මත එකතු වූ බවත් ඒ වනවිට ඒ අසල පදිංචි පිරිස් ඉවත් කිරීමට පියවර ගෙන සිටි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

මෙම ජල විදුලිබලාගාරය ඉදිකිරීම ආරම්භ කිරීමට මාස ගණනාවකට පෙර සිට ඊට විරුද්ධත්වය දක්වමින් ලා ඕසයේ විවිධ ජනතා සංවිධාන විරෝධතා ව්‍යාපාර දියත්කර තිබූ බව ද සඳහන් වේ.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.