lakbima.lk

ස්වීඩනය විදුලි මෝටර්රථ සඳහා විදුලිය කැවූ මාර්ග ඉදි කරයි

පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන මගින් ක්‍රියා කරන වාහන අනාගතයේදී භාවිතයෙන් ඉවත විසි වෙනු ඇති බව මේ වනවිට බොහෝ දුරට තහවුරු වී ඇති සත්‍යයකි. එයට එක් හේතුවක් නම් මෙම ඉන්ධන තව වැඩි කලක් යාමට පෙර ඉතා දුර්ලභ ඉන්ධන වර්ගයක් බවට පත් වීමයි. දැනට ලෝකයේ ඉතිරි වී පවතින ෆොසිල ඉන්ධන වසර 50ක් පමණ යනවිට ක්ෂයවී යනු ඇති බවට අනාවැකි පළවෙයි. අනෙක් හේතුව නම් මෙම ඉන්ධන නිසා පරිසරයට සිදුවන හානියයි. පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන යොදා ගැනීම නිසා පරිසර දූෂණය මේ වනවිට ඉතා බිහිසුණු ලෙස ඉහළ ගොස් ඇති බව නිතර කියැවෙන කාරණයකි.

මේ ආකාරයේ වාහන මුහුණ දී සිටින මෙම ගැටලු ජයගැනීම සඳහා  මේ වනවිට විවිධ විකල්පයන් ක්‍රියාවට නැගෙමින් ඇති බව රහසක් නොවේ. ඒ අතරින් ප්‍රධාන විකල්පයක් වන්නේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන නිෂ්පාදනය වීමයි. කෙසේ හෝ වේවා මෙම විදුලි මෝටර් රථ සංස්කෘතිය වඩාත් පුළුල් කිරීම සඳහා මේ වන විට තවදුරටත් විවිධ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින අතර ස්වීඩනය මෙහිදී ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව තිබේ. ස්වීඩනය මේ සම්බන්ධයෙන් කරමින් සිටින නව අත්හදා බැලීමක් පසුගිය දිනවල කාගේත් අවධානය දිනාගන්නට සමත් විය. එනම් විදුලිය කැවූ මාර්ගයක් ඉදි කිරීමට පියවර ගැනීමයි.

විදුලි මෝටර්රථ භාවිත කරන පාරිභෝගිකයන් මුහුණ දෙන සුළභ ගැටලුවක් වන්නේ සිය මෝටර්රථවල බැටරි ආරෝපණය (charge) කර ගැනීම පිළිබඳ ගැටලුවයි. තම රථයේ බැටරියෙහි ඉතිරිව ඇති ශක්ති ප්‍රමාණය තව කොපමණ දුරක් යාම සඳහා ප්‍රමාණවත් වනු ඇත්ද වැනි ප්‍රශ්නවලට නිතර ඔවුන්ට මුහුණ දීමට සිදු වෙයි. විදුලි මෝටර්රථ ජනප්‍රිය කරවීමේදී ද මෙවැනි කාරණා කිසියම් බාධාවක් ලෙස ක්‍රියා කරන බව පෙනේ. වාහනය ගමන් කරමින් තිබියදීම එහි බැටරිය ආරෝපණය වන ක්‍රමයක් තිබුණා නම් රියදුරන්ට එය මහත් සැනසීමක් සහ පහසුවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ස්වීඩනය අත්හදා බලමින් සිටින ඉහත කී විදුලිය කැවූ පාරවල් නිසා මෙම ගැටලුව බොහෝ දුරට මග හැරී යනු ඇති බවට විශ්වාස කෙරේ. මෙහිදී ඔවුන් සිදු කරන්නේ විදුලිය කවන ලද ලෝහමය පටියක් මාර්ගයට කා වද්දා මාර්ගය ඉදි කිරීමයි. විදුලි මෝටර්රථයක් මෙවැනි මාර්ගයකට පිවිසුණු විට වාහනයේ ඇති කිසියම් සංවේදකයක් (sensor)  මගින් මෙම විදුලිපටිය හඳුනාගනු ලැබේ. එවිට වාහනයේ යටිපැත්තේ ඇති ස්වයංක්‍රීය අතක් වැනි කොටසක් දිග හැරී ඉහත කී ලෝහ පටිය සමග සම්බන්ධ වෙයි. ඒ හරහා වාහනය ධාවනය වෙමින් තිබියදීම කිසිදු ගැටලුවකින් තොරව එහි බැටරිය ආරෝපණය වීම සිදු වේ. මෙම අතක් වැනි කොටස ඉතා පහසුවෙන්  හැරෙන්නට හැකි නම්‍යශීලී ආකාරයෙන් නිපදවෙන නිසා වාහනය මොන ආකාරයෙන් එහා මෙහා ගියත් එය සහ ලෝහමයපටිය අතර සම්බන්ධය කැඩී නොයයි.

පාරෙහි ඇති මෙම ලෝහමය පටියට විදුලිය කවා ඇති නිසා එය අනතුරුදායක නොවන්නේ ද වැනි ගැටලු කෙනෙකු තුළ මෙහිදී මතු වියහැකියි. නමුත් මෙම පටිය හරහා නිතර විදුලිය ගමන් කරමින් පවතින්නේ නැත. එයට විදුලිය ලැබෙන්නේ විදුලි මෝටර් රථයක් එයට ඉහළින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පමණි.

මෙම විදුලිය කැවූ පාරවල් නිසා අත්වන ප්‍රයෝජන බොහොමයකි. එකක් නම් විදුලි මෝටර්රථවල බැටරිවල ප්‍රමාණය කුඩා කිරීමට හැකියාව ලැබිමයි. එකවර විශාල බලයක් ගබඩා කිරීම අවශ්‍ය නොවන නිසා වඩාත් කුඩා ප්‍රමාණයේ බැටරි වාහනවලට සවි කළ හැකි වෙයි. මේ නිසා බැටරියේ බර මෙන්ම ඒවා නිපදවීමට වැය වන මුදල ද අඩු වෙයි. මේ හේතුවෙන් විදුලි මෝටර්රථවල මිල ගණන්ද බෙහෙවින් අඩු කිරීමට හැකි වනු ඇති බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයෝ පෙන්වා දෙති. විශාල ලොරි, ට්‍රක් රථ වැනි බර වාහන සියයට සියයක් විදුලියෙන් ක්‍රියාත්මක වන ආකාරයෙන් නිපදවීමේදී ටොන් 40ක් පමණ බර බැටරියක් අවශ්‍ය වන බව සඳහන් වේ. නමුත් මෙම විදුලිය කැවූ පාරවල් නිසා මෙම බැටරිවල බර කිලෝ ග්‍රෑම් 500ක් 600ක් තරම් දක්වා අඩු කිරීමට හැකි වනු ඇතැයි පැවැසේ.

ස්වීඩනය සිය රටෙහි ධාවනය වන්නේ විදුලියෙන් ක්‍රියා කරන වාහන පමණක් බවට පත් කිරීම සඳහා වේගවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති රටකි. වසර 2030 වනවිට මෙම ඉලක්කය ජය ගැනීම ඔවුන්ගේ අරමුණයි.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.