lakbima.lk

රුසියාවෙන් අපූරු පාපන්දු සැමරුමක් පිදුරුවලින් පාපන්දු පිටියක්

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කවර කලෙක කවර දෙසක පැවැත්වූයේ නමුදු එය උන්මාදයකි. 2018 ලෝක කුසලානයේදී රුසියාව අත් විඳින්නේ ද ඒ උන්මාදයයි. විසි එක්වැනි වරට පැවැත්වෙන ලෝක පාපන්දු මංගල්ලය රුසියාවේ පැවැත්වෙන්නේ පළමු වරටය. එබැවින් රුසියානු පාපන්දු ලෝලීන් ඒ සඳහා සූදානම් වන්නේ සැණකෙළියකට සූදානම්වන ආකාරයෙනි. 
ජනප්‍රියත්වය ලැබිමේ අරමුණින් හෝ වේවා සැබෑ ක්‍රීඩා ලෝලී බව නිසා හෝ වේවා ෙවොරණ දේ කරන්නට මේ දවස්වල රුසියානුවෝ සැදී පැහැදී සිටිති. ප්‍රියතම තරු අනුකරණය කරමින් කොණ්ඩා මෝස්තර ඇඳුම් පැලඳුම් ආදියේ සිට නොයෙකුත් එදිනෙදා කටයුතු දක්වාම පාපන්දු ලෝක කුසලානය රුසියානුවන්ගේ ඇඟට ජීරණය වී තිබේ. එය සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් වෙතින් දකින්නට ලැබෙන්නකි. 
රෝමන් ‍පොනොමාර්යොව් එවන් පාපන්දු පිස්සෙකි. කලාතුරකින් තම රටට ලැබුණු මේ මහාර්ඝ වරප්‍රසාදය ලෝකයේම ඇසට හසුවන ආකාරයෙන් සමරන්නට ඔහුට ඇවැසි විය.
ඔහු තම සැමරුම සඳහා යොදා ගත්තේ පිදුරුය. පිදුරුවලින් පාපන්දු ලෝක කුසලානයක් සමරන්නේ කෙසේදැයි ඔබ බාගවිට මවිතයට පත් වනු ඇත. ඔහු සැන්-පීටර්ස්බර්ග් (පීටර්ස්බර්ග්) සෙනිට් (Zenit) පාපන්දු කණ්ඩායමේ දිරිගන්වන්නෙකි. 1925 සිටම රුසියානු පාපන්දු ලීගයට එක්වන සෙනිට් සිය ක්‍රීඩාංගණය ලෙස යොදාගත්තේ සාන්ත- පීටර්ස්බර්ග් පාපන්දු ක්‍රීඩාංගනයයි. ඉතින් මේ පා පන්දු ලෝලියා ‍පොනොමාර්යොව් කෙළේ රූබල මිලියන හතළිස් තුනක් වටිනා සාන්ත පීටර්ස්බර්ග් පාපන්දු ක්‍රීඩාංගණයේ අනුරුවක් පිදුරුවලින් නිර්මාණය කිරීමය. 
මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිත මේ පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයයි. පිදුරුවලින් නිමැවීම සඳහා පිදුරු මිටි 4,500ක් පමණ වුවමනා වූයේ යයි ‍පොනොමාර්යොව් පවසයි. තුන්සිය දෙනෙකුට පමණ වාඩි වී තරග නැරඹිය හැකි තරමේ ඉඩකඩ ඇතිව නිමවන ලද මේ පිදුරු පීටර්ස්බර්ග් ක්‍රීඩා පිටියේ තරගාවලියක් සංවිධානය කරන්නට ‍පොනොමාර්යොව් සමත් වූයේය. දේශීය කණ්ඩායම් කිහිපයක සහභාගිත්වයෙන් පැවැති මේ තරගාවලිය සඳහා යොදා ගත්තේ තැනට අනුව වෙනස් කරගත් (Modified) නීති රීතිය. 
ඔහුගේ මේ අපූරු කාරිය කෙරෙහි රුසියානු පාපන්දු බලධාරීන්ගේද ඇස යොමු නොවුණේ නොවේ. Zenit බලධාරීන් මේ අපූරු නිර්මාණය සිය කණ්ඩායමටත්, ‍පොදුවේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියටත් කළ ගෞරවයක් ලෙස සැලකූයේ ‍පොනොමාර්යොව්ට නොමිලයේ පාපන්දු ලෝක කුසලානය නැරඹීමට අවස්ථාවක්ද ලබා දී තිබේ. 
රෝමන් ‍පොනොමාර්යොව්ගේ ඊළඟ වෑයම පිදුරු පිටියක පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් (Straw World Cup) සංවිධානය කිරීමය.
 
පාලිත ජයකොඩි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.