lakbima.lk

හදිසියේ මතුවූ ග්‍රහකයක් නිසා ලෝකයට අලුත් තර්ජනයක්

මෙයට වසර මිලියන 65ක් තරම් ඈත අතීතයේ ඩයිනසෝරයින් මිහි මතින් අතුගා දමන ලද්දේ අභ්‍යවකාශයේ සිට අවුත් පෘථිවිය හා ගැටුණු ග්‍රහකයක් විසින් බව අද ‍පොදු පිළිගැනීමයි. මේ නිසා නැවත වතාවක් මෙවැනි යෝධ ග්‍රහකයක් අවුත් ‍පොළොවේ ගැටීමෙන් ඒ හා සමාන විනාශයක් සිදුවිය හැකිද යන බියමුසු සැකයක් බොහෝ දෙනෙකු තුළ පවතින බව රහසක් නොවේ.
මේ ගැන සඳහන් කිරීමට සිතුණේ මෙම බියජනක හැඟීම නැවත අලුත් කරන විදියේ සිදුවීමක් මෙයට දින කිහිපයකට පෙර සිදුවීම නිසාය. 
 2018 එල්.ඒ.  නමින් හැඳින්වුණු ආකාශ වස්තුවක් (ග්‍රහකයක්) ඉතා වේගයෙන් පෘථිවිය දිශාවට ඇදී එනු පසුගිය 2 වෙනිදා අහස පරීක්ෂා කරමින් සිටි තාරකා විද්‍යාඥයින්ට නිරීක්ෂණය වූ අතර එය නිශ්චිතවම පෘථිවිය හා ගැටෙන ගමන් මාර්ගයක එමින් සිටින බව දැකිය හැකි විය. එය මුල් වරට දුටුවේ ඇමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි කැටලිනා අභ්‍යවකාශ නිරීක්ෂණ දුරේක්ෂයෙහි කටයුතු කරමින් සිටි තාරකා විද්‍යාඥයින්ය. පෘථිවියෙහි ගැටෙන ගමන් මගක ගමන් කරමින් සිටි මෙම ආකාශ වස්තුව පිළිබඳ වහා අවධානය යොමු කිරීමේ දී විද්‍යාඥයින්ට පෙනී ගිය අනෙක් කාරණය වූයේ එය තව පැය කිහිපයක් ඇතුළත පෘථිවි වායුගෝලයට ඇතුල් වන බවයි. මෙය ඉතා බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන්නක් විය.  නමුත් ඔවුන්ගේ සිත්වල සැනසිල්ලක් ඇති කළ කාරණයක් ද ඒ සමගම දැක ගන්නට හැකි විය. එනම් මෙම ආකාශ වස්තුව පෘථිවියට හානි කිරීමට තරම් විශාලත්වයක් ඇති ග්‍රහකයක් නොවන බවයි. එහි ප්‍රමාණය අඩි හයක් (මීටර 2 ක්) පමණ වන බව විද්‍යාඥයින්ට ගණනය කරගත හැකි විය. ඒ නිසා එය පෘථිවියෙහි ගැටීමට පෙර වායු ගෝලයට ඇතුල් වීමේදී පුපුරා විනාශ වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වූයේය. මෙම විද්‍යාඥයින්  බලා‍පොරොත්තු වූ ලෙසම එයින් පැය අටකට පමණ පසු 2018 එල්.ඒ. ග්‍රහකය  වායුගෝලයට ඇතුල් වූ අතර එහි විශාල ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ විය. මෙය සිදු වූයේ අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයට ඉහළිනි. කෙසේ නමුත් විද්‍යාඥයින් කල්පනා කරන්නේ ග්‍රහකයේ විනාශ නොවූ කුඩා කොටසක් බොට්ස්වානාවට හෝ නැමීබියාවට වැටී තිබෙන්නට ඉඩ ඇති බවයි.
2018 එල්.ඒ. ග්‍රහකය අඩි 6ක ග්‍රහකයක් වූයේ පෘථිවි වාසීන්ගේ පූර්ව වාසනාවකට යයි පැවසිය හැකිය. යම් හෙයකින් එය ඊට වඩා විශාල ප්‍රමාණයේ එකක් වී නම් මේ වනවිට නගර ගම්බිම් පවා විනාශ වී මහත් ජීවිත හානියක් ද සිදුවන්නට ඉඩ තිබිණි.  
වාසනාවකට මෙන් මෙම ග්‍රහකය කුඩා ප්‍රමාණයේ එකක් වුවද මෙම සිදුවීම විසින් මතු කරනු ලබන අභියෝගය නම් කිසිසේත් සුළුපටු නොවේ. එයට එක් හේතුවක් නම් මෙම ග්‍රහකය මුල් වරට මිනිස් ඇසට හසු වූයේ එය පෘථිවි වායුගෝලයට ඇතුල් වීමට පැය කිහිපයකට පෙර වීමයි. එතෙක් එය හඳුනාගැනීමට දුරේක්ෂයන්ට නොහැකි වී තිබිම බරපතළ කාරණයකි. එහි අදහස නම් මෙයට වඩා විශාල ග්‍රහකයක් වුවද මේ ආකාරයෙන් පෘථිවිය ආසන්නයටම එනතුරු කිසිවෙකු ඒ ගැන නොදැන සිටින්නට ඇති ඉඩකඩයි. අවසානයේ එය ඇස ගැටෙන විට අපට කිසිවක් කර ගැනීමට කාලයක් ඉතිරි වී නොතිබෙනු ඇත. මෙය ඉතා බිහිසුණු තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සැබැවින්ම මෙය මේ වනවිට බොහෝ අභ්‍යවකාශ විද්‍යාඥයින්ට හිසරදයක් බවට පත්ව ඇති ගැටලුවකි.
පෘථිවියේ ගැටෙන ගමන් මාර්ගයක ආ හැකි ග්‍රහක ගැන විමසිල්ලෙන් සිටින විශේෂ ව්‍යාපෘති මේ වනවිටත් ක්‍රියාත්මකව ඇති බව කව්රුත් දන්නා කාරණයකි. ඒ ආකාරයෙන් නිරීක්ෂණය කරනු ලබන ග්‍රහකයක් පෘථිවියෙහි ගැටීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර කිහිපයක් වේ. එකක් නම් න්‍යෂ්ටික අවියක් වැනි යමක් අදාළ ග්‍රහකය වෙත යවා එය විනාශ කර දැමීමයි. තවත් ක්‍රමයක් නම් යානයක් වැනි යමක් එහි ගැටීමට සලස්වා ග්‍රහකයේ ගමන්මග වෙනස් කිරීමයි. නමුත් ගැටලුව වන්නේ මෙම උපක්‍රම දෙකම සාර්ථක කර ගැනීමට නම් කල් වේලා ඇතිව අදාළ ග්‍රහකය නිරීක්ෂණය කර ගැනීමට අවශ්‍ය වීමයි. වසර කිහිපයක කාලයක් ඒ සඳහා අවශ්‍ය වෙයි. මුල් වරට දැක ගැනීමෙන් පැය කිහිපයක් තුළ පෘථිවියේ ගැටෙන්නට එන ග්‍රහකයක් සම්බන්ධයෙන් මේ කිසිදු උපක්‍රමයක් ක්‍රියාවට නැගිිය නොහැකි වේ. ඉහත කී 2018 එල්.ඒ. ග්‍රහකය අපට සිහි කැඳවන බිහිසුණු අනතුර එයයි. මෙම අනතුර වඩාත් දැඩි කරන සාධකයක් වන්නේ මේ වනවිට මිනිසා විසින් සොයා නොගැනුණු ග්‍රහක අති විශාල සංඛ්‍යාවක් අප ආසන්නයෙහි සැරිසරමින් තිබිමයි. ඒ නිසා කොයි මොහොතේ මෙවැනි හදිසි ආගන්තුකයෙකු කඩාපාත් වේදැයි කිසිවෙකුටත් කිව හැකි නොවේ. 
පසුගිය කාලයේ නාසා වැනි ආයතන පවා පෙන්වා දුන් තවත් බරපතළ කාරණයක් තිබිණි. එනම්  පෘථිවියේ ගැටීමට වසර කිහිපයකට පෙර මෙවැනි ග්‍රහකයක් හඳුනාගත්තද අප තවමත් එයට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණයෙන් සන්නද්ධව නැති බවයි. ඒ නිසා අවසන් මොහොත වනතෙක් නොසිට එවැනි ග්‍රහකයක් විනාශ කිරීමට හෝ එහි මග වෙනස් කිරීමට හෝ යොදාගත හැකි අවි ආයුධ, යානා ආදිය දැන්ම නිශ්පාදනය කර ලෑස්ති පිට තබා ගත යුතුව ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි. එවැනි තාක්ෂණයක් නිර්මාණය කර අවසන් කිරීමට අඩු තරමින් අවුරුදු පහකවත් කාලයක් ගත වන බවද ඔවුහු මෙහිදී තවදුරටත් පෙන්වා දෙති.
වාර්තාගත ඉතිහාසය තුළ සිදු වූ බිහිසුණුම ග්‍රහක සිදුවීම ලෙස සැලකෙන්නේ වර්ෂ 1908 රුසියාවේ සයිබිරියාවට ඉහළ අහසේ පුපුරා ගිය ග්‍රහකය පිළිබඳ සිදුවීමයි. මෙය හැඳින්වෙන්නේ  තුන්ගුස්කා පිපිරුම වශයෙනි. එහිදී පෘථිවිය කරා ඇදී ආ ග්‍රහකයක් ‍පොළොවේ සිට කි.මී. 5 ක් 10ක් අතර ඉහළකදී පුපුරා යන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහි විශාලත්වය මීටර 60ත් 150ත් අතර වන්නට ඇතැයි ද සැක කරනු ලැබේ.  මෙම පිපිරුම නිසා වර්ග කි.මී. 2,000කට ආසන්න ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ විය. වාසනාවට මෙන් මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වීම නිසා මිනිස් ජීවිත හානියක් සිදු නොවිණි. නමුත් මේ ග්‍රහකය තව පැය හතරක් පමා වී පැමිණියේ නම් මෙම පුපුරා යාම සිදුවීමට තිබුණේ රුසියාවේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක් වන ශාන්ත පීටර්ස්බර්ග් නගර ඉසව්වට ඉහළිනි. (ඒ පෘථිවියේ භ්‍රමණය හේතුවෙනි.) එසේ වී නම් එයින් එම නගරය මුළුමනින් විනාශ වී යාමට තිබූ බව සඳහන් වේ. බිහිසුණුම කාරණය වන්නේ ඉදිරියේදී ද මෙවැනි ග්‍රහකයක් හදිසියේ අභ්‍යවකාශයෙන් මතු වී ආවොත්, තුන්ගුස්කා සිදුවීමෙන් වසර සියයකට පසුවත් අපට කළ හැකි කිසිවක් නොමැති වීමයි.
 
 කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.