lakbima.lk

බරක් සහ මිෂෙල් ඔබාමා ටෙලි නාට්‍ය නිෂ්පාදනයට

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා එරට ජනාධිපතිවරුන් අතරින් විශාල ජන ප්‍රසාදයක් දිනාගෙන සිටි කෙනෙකු බව රහසක් නොවේ. කෙසේ හෝ වේවා ඔබාමා සිය ධුරයෙන් සමුගැනීමෙන් පසු ගත කළේ තරමක් නිහඬ දිවියක් යයි සඳහන් කළ හැකිය. ඔහු පිළිබඳ වැඩිපුර තොරතුරු මාධ්‍ය තුළද පළවෙනු  දැකිය නොහැකි විය. නමුත් ඒ  නිහඬ බව බිඳිමින්  ඔහුත්, ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් දැන් නැවතත් කරළියට පැමිණ සිටිති. ඒ ඔවුන් දෙදෙනා එක්ව රූපවාහිනි වැඩසටහන්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සැරසෙනවාය යන පුවතක්ද සමගිනි.
බරක් සහ මිෂෙල් මේ ආකාරයෙන් රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනයට පිවිසෙන්නට යන්නේ මේ වනවිට රූපවාහිනි සේවා සමාගමක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින නෙට්ෆ්ලික්ස්  (Netflix) ආයතනය සමග ගිවිසුමකට ඇතුළත් වෙමින් බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි. නෙට්ෆ්ලික්ස් යනු ග්‍රාහකයන් මිලියන සියයකට අධික සංඛ්‍යාවක් සිටින ඉතා ජනප්‍රිය, ඇමෙරිකානු රූපවාහිනි සේවා ආයතනයකි. ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන් සහ රූපවාහිනි චිත්‍රපට නිෂ්පාදනය සඳහා බැරක් සහ මිෂෙල් දෙදෙනා මෙම ගිවිසුම යටතේ පියවර ගනු ඇති බවයි සඳහන් වන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන ආයතනය හැඳින්වෙන්නේ 'හයර් ග්‍රවුන්ඩ් ප්‍රඩක්ෂන්ස්' (Higher Ground Productions) යන නමිනි. මෙම නිෂ්පාදන සමාගම හරහා ඔවුන් නිපදවන නිර්මාණ ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් සමාගම මගින් විකාශය කරනු ඇත.
කතන්දර කලාවේ ඇති ශක්තිය පිළිබඳව තමාත්, තම සැමියාත් තුළ කවදත් දැඩි විශ්වාසයක් පැවැති බව මිෂෙල් ඔබාමා සඳහන් කර තිබේ. ලෝකය දෙස වෙනස් ආකාරයෙන් බැලීමටත්, අපේ හැඟීම් අනෙක් අය සමග බෙදාහදා ගැනීමටත් කතන්දර කලාව හරහා ලොකු ශක්තියක් ලැබෙන බව ඇය පවසා ඇත. මේ අතර බරක් ඔබාමා පවසා ඇත්තේ සමාජයේ එකිනෙකට වෙනස් අපූරු මිනිසුන් විශාල වශයෙන් ඇසුරු කරන්නට ලැබිමත්, ඔවුන්ගේ අත්දැකීම් අන් අය සමග බෙදාහදා ගැනීමට ලැබිමත් සිය සේවා කාලය තුළ ලොකු සතුටක් ඇති කළ කාරණයක් වූ බවයි. දැන් මෙම රූපවාහිනි නිෂ්පාදන කටයුත්ත හරහා එය තවත් ව්‍යාප්ත කිරීමට ඉඩ ලැබිම ගැන ඔහු සතුට පළකර තිබෙනුද දැකිය හැකි විය. මේ හරහා නිර්මාණාත්මක මිනිසුන්ට ඔවුන්ගේ අත්දැකීම් සෙසු ලෝකය සමග බෙදා ගැනීමට ඉඩ ලබා දීමටත්, ඒ හරහා මිනිසුන් අතර අවබෝධය වර්ධනය කිරීමටත් හැකියාවක් ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළකර තිබිණි.  මේ අතර ඔබාමා යුවළ තම සමාගම සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව නෙට්ෆ්ලික්ස් සමාගමද සිය බලවත් සතුට පළකර තිබෙනු දැකිය හැකි විය.
බොහෝ දෙනා ඔබාමාවරුන්ගේ මෙම අලුත් කටයුත්ත පිළිබඳව ප්‍රසාදය පළකර තිබුණද එයට එරෙහිවද යම් ව්‍යාපාරයක් ආරම්භ වී ඇති අන්දම මාධ්‍ය හරහා අනාවරණය වෙයි. ඇතැමුන් මෙය දකින්නේ ඔබාමා කඳවුරේ දේශපාලන අදහස් සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීමට උදව් දෙන කටයුත්තක් හැටියටය. මෙයට විරුද්ධත්වය දක්වන්නන් අතර පෙරමුණේ සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පාර්ශ්වයේ උදවියයි. මේ වනවිටත් ඔවුන් නෙට්ෆ්ලික්ස් සමාගමට එරෙහිව අදහස් දැක්වීමට පටන්ගෙන ඇති අතර එහි වැඩසටහන් වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය හරහා දියත් කර ඇති බවද වාර්තා වෙයි. ඇතැම් ග්‍රාහකයන් සිය ග්‍රාහකත්වයන් අවලංගු කිරීමට සූදානම් වන බවටද තොරතුරු පළවී තිබේ. 
බරක් ඔබාමා පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2009 වසරේය. 2017 ජනවාරි මාසයේ ට්‍රම්ප් එම පදවියේ දිවුරුම් දෙනතුරුම ඔහු ජනාධිපති පදවිය දැරූ අතර එයින් පසු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සහ ඔබාමා ක්‍රියාත්මක කර තිබූ වැඩසටහන් අතර ගැටුම් ඇති වනු නිතර දැකිය හැකි විය. ඔබාමා ආරම්භ කළ සමහර ව්‍යාපෘතීන් නතර කර දැමීමට පවා ට්‍රම්ප් පියවර ගත්තේය. ඔබාමා නියෝජනය කළ එරට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්තිත්, ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිපත්තිත් අතර ගැටුම මේ ඔස්සේ වඩාත් කැපී පෙනෙන්නට විය. බරක් සහ මිෂෙල් දැන් රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගැනීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් කඳවුරෙන් විරෝධය පළවන්නේ මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම් තුළය. මේ හරහා ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ලිබරල් ආකල්ප උත්කර්ෂයට නැංවීමට උත්සාහ ගැනෙනු ඇතැයි යන හැඟීම රිපබ්ලිකන් පාක්ෂිකයන් තුළ පවතින බව පෙනේ.  බරක් සහ මිෂෙල් නිෂ්පාදනය කිරීමට යන ඇතැම් රූපවාහිනි වැඩසටහන්වල ඔවුන් දෙදෙනා පෙනී සිටින්නට ඉඩ  ඇති බවටද තොරතුරු පළවෙයි. කෙසේ නමුත් ඔවුන්ගේ වැඩසටහන් හරහා රිපබ්ලිකන් ප්‍රතිපත්ති හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ විවේචනය කිරීමක් සිදු නොවනු ඇති බවද සඳහන්ව තිබේ.
මේ අතර මිෂෙල් ඔබාමා ඇයගේ ජීවිත අත්දැකීම් පිළිබඳ මතක සටහන් ඇතුළත් ග්‍රන්ථයක් නිකුත් කිරීමට සූදානම් වන බවද වාර්තා වෙයි. එය නම් කර ඇත්තේ 'Becoming' යනුවෙනි. 
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.