lakbima.lk

සඳෙහි නොපෙනෙන පැත්තට යන පළමු යානය චීනයෙන්

චීනය මේ දිනවල අභ්‍යවකාශ තරණයෙහි වාර්තාවක් තැබිමට සූදානම් වෙයි. ඒ සඳෙහි මතෛක් කිසිවෙකු නොගිය ඉසව්වකට යානයක් ගොඩ බැස්සවීම මගිනි.
චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරද්දී  හැමදාමත් අපට එහි පෙනෙන්නේ  එකම පැත්තක් පමණි. පෘථිවියට මුහුණ ලා නොමැති අනෙක් අර්ධය කිසි දිනෙක අපට දර්ශනය වන්නේ නැත. මෙසේ සිදුවී ඇත්තේ සඳ තමා වටා කැරකෙන වේගයත්, එය පෘථිවිය වටා ගමන් කරන වේගයත් එක හා සමාන වීම නිසාය. මේ නිසා හැමදාමත් පෘථිවිය දෙසට හැරී තිබෙන්නේ සඳෙහි එකම අර්ධයකි.
මෙම නොපෙනෙන අර්ධය සම්බන්ධයෙන් මතෛක් පැවැති තවත් විශේෂත්වයක් වූයේ කිසි දිනෙක පෘථිවියේ සිට යානයක් මෙම ඉසව්ව මත ගොඩ බැස නොතිබිමයි. ඇමෙරිකාව සහ රුසියාව කාලයක් තිස්සේම තරගයට මෙන් සඳ වෙත යානා යවා ඇති නමුත් ඒ සියල්ල ගොඩ බැස්සේ හැමදාමත් අපට දර්ශනය වන අර්ධය මතය. චීනය මෙම වසර අග භාගයේ ගුවන් ගත කිරීමට සූදානම් වන 'චංග් ඉ-4' (Chang'e-4) නමැති යානයෙහි විශේෂත්වය වන්නේ එය සඳ ගමන් ඉතිහාසයේ පළමු වරට එහි නොපෙනෙන අර්ධය වෙත යන යානය වනු ඇති බැවිනි. 
සඳෙහි මෙම කොටස මත මතෛක් කලක් යානයක් ගොඩ බැසීම පමා වන්නට බලපෑ ප්‍රධාන හේතුවක් තිබිණි. එනම් එහි ගොඩ බසින යානයක් සහ පෘථිවිය අතර පණිවුඩ හුවමාරුවට හෙවත් සන්නිවේදනයට විශාල බාධාවක් තිබිමයි. ඒ, එම සන්නිවේදන සංඥාවලට සඳ හරහා ගමන් කිරීමට සිදුවන හෙයිනි. මෙම ගැටලුව ජය ගැනීමට නම් සඳෙහි ඒ පැත්තේ, සඳට ඉහළින් චන්ද්‍රිකාවක් රඳවා තැබිම අවශ්‍ය විය. එවිට මෙම චන්ද්‍රිකාව අතරමැදියෙකු ලෙස යොදාගනිමින් එය ඔස්සේ සන්නිවේදන කටයුතු කළ හැකි වේ. චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පසුගිය 21 වෙනි දින මේ සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීම ඉහත කී ඓතිහාසික සඳ ගමන හා බැඳුණු තවත් 
සුවිශේෂී සිදුවීමක් විය. මෙම චන්ද්‍රිකාව හැඳින්වෙන්නේ 'කුවේකියාඕ' (Queqiao) යන නමිනි. එය අභ්‍යවකාශයේ ඇති කල්පිත පාලමක් හඳුන්වන නමකි. 
සඳ තරණය පිළිබඳ විවිධ ජාතීන් මේ ආකාරයෙන් උනන්දුව දැක්වීමට හේතු වන ප්‍රධාන කාරණා කිහිපයක් වෙයි. එකක් නම් අනාගතයේ සඳ මත මිනිස් ජනාවාස බිහි කිරීම පිළිබඳ ඇති බලා‍පොරොත්තුවයි. තවත් හේතුවක් නම් සඳෙහි ඇති ඛණිජ සම්පත් ආදිය පිළිබඳ ඇති උනන්දුවයි. එමෙන්ම අඟහරු වැනි සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන් වෙත යානා යැවීමේ දී සඳ ඒ සඳහා වේදිකාවක් ලෙස යොදා ගැනීමට ඇති හැකියාවයි. පෘථිවියේ සිට යානා අභ්‍යවකාශගත කිරීමට වඩා, ගුරුත්වාකර්ෂණය අඩු සඳ මත  සිට අභ්‍යවකාශගත කිරීම වියදම් ද අඩු, පහසු  කටයුත්තකි. කෙසේ හෝ වේවා සඳෙහි කිසිවෙකුත් නොගිය කලාපයකට පළමු වරට යානයක් යැවීමෙන් චීනය මෙම අභ්‍යවකාශ තරගය තුළ විශාල ඉදිරි පිම්මක් ගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. චංග් ඉ-4 යානයට පැවැරෙන විද්‍යාත්මක පර්යේෂණ කටයුතු අතර සඳ මත උෂ්ණත්වය කාලයත් සමග වෙනස්වන අයුරු සොයා බැලීම, සඳෙහි පාෂාණ සහ වැලිවල රසායනික සංයුතිය පිළිබඳ සොයා බැලීම ආදිය ප්‍රධාන තැනක් ගනියි. මේවා සඳ මත ඇති ඛණිජ සම්පත් පිළිබඳ අවබෝධ කරගැනීමේදී ද වැදගත් වනු ඇත. මෙම යානය වසරක පමණ කාලයක් සිය පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. චංග් ඉ-5 නමින් තවත් යානයක් ලබන වසරේ සඳ වෙත යැවීමට ද චීනය බලා‍පොරොත්තු වන බව සඳහන් වේ. එම යානය පර්යේෂණ කටයුතුවලින් පසු නැවත පෘථිවිය වෙත ගෙන්වා ගැනීමටද, සඳෙහි යම් යම් සාම්පල ඒ මගින් රැගෙන ඒමටද චීන විද්‍යාඥයෝ බලා‍පොරොත්තු වෙති. මේ ආකාරයෙන් සඳ වෙත යානයක් යවා නැවත සාම්පල සමග පෘථිවියට ගෙන්වා ගැනෙන්නේ 1976 වසරට පසු පළමු වතාවට බවද සඳහන් වේ. එදා සිට මේ දක්වා සඳ වෙත යවන ලද යානා සඳ මතම රැඳුණා විනා නැවත පැමිණියේ නැත.
මේ අතර චීනය වසර 2035 පමණ වනවිට මිනිසෙකු සඳ වෙත යැවීමට අපේක්ෂාවෙන් සිටින බවටද තොරතුරු පලවෙයි. එවැන්නක් සිදු වුවහොත් ඇමෙරිකානුවන්ට පසු මිනිසෙකු සඳ වෙත යවන පළමු රට චීනය බවට පත්වනු ඇත. ලෝක බලවතා බවට පත්වීමට චීනය සහ ඇමෙරිකාව අතර ඇති තරගය තුළ මෙය ඔවුන් ලබන තවත් සුවිශාල ජයග්‍රහණයක් වනු නිසැකය. චීනය මේ වනවිට අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන රටක් බවට පත්ව ඇති අතර පෘථිවිය මත පමණක් නොව අභ්‍යවකාශයේද චීනයේ බලය පැතිරවීම ජනාධිපති ෂි ජින්පිං ගේ ලොකු බලා‍පොරොත්තුවක් බව සඳහන් වේ.
මේ වනවිට මිනිසුන් අභ්‍යවකාශයට යැවීමට සමත් වී ඇත්තේ රටවල් තුනක් පමණි. ඒ ඇමෙරිකාව, රුසියාව සහ චීනයයි. චීනය පළමු වරට මිනිසෙකු අභ්‍යවකාශයට යැවූවේ 2003 වසරේ ය. මේ අතර 2022 පමණ වනවිට අඟහරු මත යානයක් ගොඩ බැස්සවීමට ද චීනය අපේක්ෂාවෙන් සිටින බව සඳහන් වෙයි.
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.