lakbima.lk

ඉන්දියාව භීතියට පත්කළ ලිංගික අපරාධ රැල්ලක්


එක සතියක කාලයක් ඇතුළත අවුරුදු 16 සහ 17 වයස්වල යුවතියන් තිදෙනෙකු දූෂණයකර පණපිටින් පිළිස්සීම හේතුවෙන් මේ වනවිට ඉන්දියාව තුළ විශාල කැළඹීමක්, ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම යුවතියන්ගෙන් දෙදෙනකුම පිළිස්සීම් හේතුවෙන් මිය ගිය අතර එක් අයෙක් සියයට 95 ක පිළිස්සුම් තුවාල සහිතව තවමත් රෝහල්ගතව සිටියි. මේවා මේ වනවිට අනාවරණය වන අලුත්ම සිදුවීම් තුන වුවද දැන් මාස කිහිපයක සිටම එරට විවිධ ප්‍රදේශවලින් පිටපිටම වාගේ ළමා දූෂණ පිළිබඳව වාර්තා වෙමින් පවතී.
ඉහත කී බිහිසුණු සිදුවීම් තුන අතරින් පළමු සිදුවීම වාර්තා වූයේ පසුගිය 3 වෙනි දිනය. එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව 14 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාන්තයක් වන ජර්ඛන්ද්හි ගම්මානයක විසූ දැරියක් මෙම අපරාධයට ගොදුරු වූවාය. දැරිය මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් දූෂණය කර ඇතැයි පැවැසෙන්නේ ඇය විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදීය. පසුව දූෂකයින් ඇයට පෙරළා නිවස වෙත යාමට අවසර දී තිබිණි. නමුත් තත්ත්වය දරුණු අතට හැරුණේ ඇයගේ මව්පියන් සිද්ධිය ගැන දැනගෙන ගමේ වැඩිහිටියන්ගෙන් සැදුම්ලත් කිසියම් සභාවකට මේ ගැන දැනුම් දීමෙන් පසුවය. මෙයින් කුපිත වූ
දූෂකයින් ඇයගේ මව්පියන්ටද පහර දී අනතුරුව නිවසට ගොස් එහි තනිව හුන් දැරිය පණපිටින් පුළුස්සා මරණයටපත් කර ඇතැයි සඳහන් වෙයි. ඇයගේ වයස අවුරුදු 16ක් බවද සඳහන් විය.
දවෛනි සිද්ධිය සිදු වූයේ ඉහත සිදුවීමෙන් දින තුනකට පසුව එනම් මැයි 7 වෙනි දිනය. මෙවරද එම සිද්ධිය වාර්තා වූයේ ජර්ඛන්ද් ප්‍රාන්තයේම ගම්මානයකිනි. එවර මෙම අපරාධයට ගොදුරු වූ දැරියගේ වයස අවුරුදු 17ක් විය. ඇය දූෂකයාට ගොදුරුව ඇත්තේ ඇගේ ඥාතියෙකුගේ නිවසේ තනිවම සිටියදී බව වාර්තා වෙයි. දැරියගේ සිරුරට ගිනිතබා සැකකරු පලාගොස් ඇති අතර වාසනාවට මෙන් ඇය මියයාමට පෙර බේරාගෙන රෝහල්ගත කිරීමට වැඩිහිටියන්ට හැකි වී තිබිණි.
තුන්වෙනි සිද්ධිය වාර්තා වූයේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයකිනි. එය සිදුව ඇතැයි පැවැසුණේ පසුගිය 10 වෙනිදායි. වයස අවුරුදු 16ක් වූ දැරිය නිවසේ තනිව සිටින බව දූෂකයාට දන්වා ඇත්තේ ඇගේ ඥාති සහෝදරයෙකු  බව සඳහන් වන අතර දූෂකයා දැරිය බිලි ගැනීමෙන් පසු ඇයට ගිනිතබා ඇත්තේ සිද්ධිය ගැන මව්පියන්ට පවසන බව දැරිය පැවසූ අවස්ථාවේය. ඇය දූෂණය කළ බව පැවැසෙන පුද්ගලයා එක් දරු පියෙකු බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.
දිනෙන් දින ඉතා බිහිසුණු වේශයක් ගනිමින් ඇති මෙම
දූෂණ රැල්ලට එරෙහිව මේ වනවිට ඉන්දියාව පුරා විශාල විරෝධතා ව්‍යාපාරයක්ද දියත් වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි.  ජාත්‍යන්තර වශයෙන්ද මේ ගැන ලොකු අවධානයක් යොමුවීමට පටන්ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ‍ලේකම් ධුරය දරණ අන්තෝනියෝ ගුතෙරෙස් පවා මෙම අපරාධ සම්බන්ධයෙන් පසුගිය දිනෙක අදහස් දක්වා තිබිණි. වයස අවුරුදු 12ට අඩු ළමුන් දූෂණය කරන්නවුන්ට එරෙහිව මරණදඬුවම නියම කිරීමට තීරණය කෙරුණු අතර මෙවැනි දූෂණ සිදුවීම් සම්බන්ධ විමර්ශන සහ නඩු විභාග  කඩිනමින් අවසන් කර අදාළ වැරදිකරුවන්ට මාස කිහිපයක කාලයක් තුළ දඬුවම් දීම සඳහා ද යෝජනා කෙරිණි. 2016 පළ වූ සංඛ්‍යා ‍ලේඛනවලට අනුව එම වසරේ ඉන්දියාව තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගණන 40,000කට
ආසන්න ය. බොහෝ සිදුවීම් පිළිබඳ
පැමිණිලි ඉදිරිපත් නොවන නිසා සැබෑ සංඛ්‍යාව මෙයට වඩා බොහෝ ඉහළ අගයක් ගනු ඇති බවද ඒ සමගම පෙන්වා දෙනු ලැබේ. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පැයක් ඇතුළත කාන්තා හිංසනයන් 18ක් පමණ සිදුවන බව වසර කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබිණි.
ඉන්දියාව වැනි රටවල මේ ආකාරයෙන් ස්ත්‍රී දූෂණ ඉතා බියකරු අන්දමින් ඉහළ යමින් ඇත්තේ මන්ද යන්න මේ වනවිට බොහෝ සමාජ විද්‍යාඥයන් වැනි අයගේ අවධානයට, අධ්‍යයනයට ලක්වන කාරණාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ස්ත්‍රීන් පිළිබඳව එම සංස්කෘතීන් තුළ ඇති ආකල්ප මෙහිදී ප්‍රධාන වශයෙන්ම බලපාන බව පෙන්වා දිය හැකිය. පවුලකට ගැහැනු දරුවෙකු ඉපදීම පවා විශාල ප්‍රශ්නයක් කොට සලකන සමාජයක මෙම ආකල්පමය තත්ත්වයන් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ස්ත්‍රියක් ලිංගික වශයෙන් හිංසනයට ලක් කිරීම කතා කිරීමට තරම් ලොකු කාරණාවක් ලෙස නොසැලකීමේ මානසිකත්වයක් පවා බොහෝ සාමාන්‍ය ඉන්දියානුවන් තුළ පවතින බවද ඇතැම් පර්යේෂකයන් පෙන්වා දී ඇත. මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ එක්තරා දුරකට සාමාන්‍යකරණයකට ලක්ව ඇති බවකි.
මෙම රටවල කාන්තාවන්ගේ ලිංගික පාරිශුද්ධ බව, කන්‍යාභාවය වැනි කාරණාවලට ලොකු වටිනාකමක් හිමි වෙයි. මේ නිසා කාන්තාවක ලිංගික වශයෙන්
දූෂණය කිරීම ඇය මෙන්ම ඇගේ මුළු පවුලම වුවද අගෞරවයට පත් කළ හැකි සහ පිරිමියෙකුට සිය බලය පෙන්විය හැකි ප්‍රබල ආකාරයක් බවට පත් වෙයි. පිරිමින්ගේ පසුගාමී මානසිකත්වයන් තුළ මෙවැනි තත්ත්වයන්ද ස්ත්‍රී දූෂණ ඉහළ යාමට බලපා ඇති බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. ඉන්දියාවේ ජනගහනය තුළ ස්ත්‍රීන්ගේ ප්‍රතිශතයට වඩා පිරිමින්ගේ ප්‍රතිශතය සැලකියයුතු අගයකින් වැඩි වීමද මෙම තත්ත්වයට හේතුවක් ලෙස ඇතැම් සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙවැනි අසමානතා ඇති සමාජයන් තුළ ස්ත්‍රීන්ට එරෙහි ක්‍රියාකාරකම් වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බව පෙන්වා දෙනු ලැබේ. එමෙන්ම  ආර්ථික දුෂ්කරතා ආදිය නිසා මේ රටවල විශාල පිරිසකගේ ජීවිත තුළ ගොඩ ගැසී ඇති පීඩනයද මෙවැනි ලිංගික ක්‍රියා හරහා පිටකර ගැනීමේ මානසිකත්වයන් වර්ධනය වෙමින් තිබෙනවා වන්නට පිළිවන.
කෙසේ වෙතත්, මේ වනවිට ලිංගික අපරාධ දරුණු ලෙස උත්සන්න වෙමින් ඇති තත්ත්වය හමුවේ ඉන්දියානු රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින්, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා යුහුසුළුව පියවර ගනිමින් සිටින ආකාරයක් දැකිය හැකිවෙයි. නමුත් එහි ප්‍රතිඵල කවරාකාර වනු ඇත්ද යන්න පැවැසීමට නම් තවමත් වේලාසන වැඩිය.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.