Coss Ear2
lakbima.lk
COSS Ear 1

හැරී සහ මේගන් මධු සමය කල් දමති

ළඟ ළඟ එන හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල්ගේ විවාහ උත්සවය මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන කාරණාවක් බවට පත්ව තිබේ. ඔවුන් දෙදෙනා අතර විවාහය මැයි 19 වෙනි දින වින්ඩ්සර් මාලිගයේදී පැවැත්වීමට නියමිත අතර එහි අවසන් සූදානම් වීම් මේ වනවිට ලහිලහියේ සිදුවෙමින් ඇති බව මාධ්‍ය හරහා වාර්තා වෙයි. මොවුන්ගේ විවාහය සිදුකිරීමට නියමිතව ඇත්තේ වින්ඩ්සර් මාලිගා පරිශ්‍රයේ පිහිටා ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදීය.
පසුගිය දිනවල මෙම විවාහය සම්බන්ධයෙන් පැවැති එක් ආන්දෝලනයක් වූයේ මේගන් මාර්කල්ගේ මව හැරුණු විට පවු‍ලේ අනෙක් අයට ඇරයුම් කර නැතැයි යන කාරණයයි. මෙම තත්ත්වයට එක් හේතුවක් වී ඇත්තේ ඇයගේ පියා වන තෝමස් මාර්කල් සහ මව වන ඩොරියා රැඩ්ලාන් මේ වනවිට දික්කසාද වී සිටීමයි. ඔවුන් දික්කසාද වන විට මේගන් ගේ වයස අවුරුදු 6 කි. මේ නිසා මේ වනවිට 36 වෙනි වියෙහි පසුවන මේගන් ජීවිතයේ වැඩි කලක් ගත කළේ ඇගේ පියාගෙන් දුරස්වය. මෙම තත්ත්වය තුළ ඇය තෝමස් මාර්කල්ට විවාහයට ඇරයුම් නොකරනු ඇතැයි පසුගිය කාලයේ විවිධ ආරංචි පැතිරෙමින් තිබිණි. 
මෙගන්ගේ පියා ඩොරියා රැඩ්ලාන් සමග විවාහ වීමට පෙර රොස්ලින් නමැති තවත් කාන්තාවක සමගද විවාහ වී සිටියේය. එම විවාහයෙන් ඔහුට දරුවෝ දෙදෙනෙක් සිටිති. ඒ තෝමස් මාර්කල් (කනිෂ්ඨ) සහ සමන්තා ග්‍රාන්ට් ය. මේ දෙදෙනා  පසුගිය දිනවල මේගන් සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කරමින් සිටිනු දැකිය හැකි විය. ඇතැමුන් පවසා තිබුණේ ඇය රජ පවුලට සම්බන්ධ වීමට යන නිසා උපන් ඊර්ෂ්‍යාව හේතුවෙන් මේ ආකාරයෙන් ඇය විවේචනය කරන බවයි. කෙසේ හෝ වේවා මේ දෙදෙනාට ද විවාහ උත්සවයට ඇරයුම් නොකරනු ඇති බව බොහෝ මාධ්‍ය ඔස්සේ අනාවැකි පළවිය. 
මෙයට ටික දිනකට පෙර අනාවරණය වූයේ මේගන් ඇගේ මවට අමතරව පියාට ද ඇරයුම් කිරීමට පියවර ගෙන ඇති බවයි. විවාහ උත්සවයේ දී මනාලියගේ පියා විසින් ඉටු කරනු ලැබිය යුතු චාරිත්‍ර ඇති නිසා ඔහුට ඇරයුම් කරන්නට ඇතැයි සඳහන් වේ. නමුත් සහෝදරයාටත්, සහෝදරියටත් විවාහ උත්සවය සඳහා ඇරයුම් නොකරනු ඇතැයි පැවැසේ. ඔවුන්ට ඇරයුම් කරන ලෙස රජ පවු‍ලේ විවාහයන් සංවිධානය කරන පාර්ශ්ව මේගන්ගෙන් ඉල්ලා ඇති බවද, නමුත් ඇය ඊට වැඩි කැමැත්තක් දක්වා නැති බවද පසුගිය දිනවල මාධ්‍ය තුළ පල වී තිබිණි.
මේ අතර විවාහ උත්සවයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ යම් යම් තොරතුරු ද මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. මේ නිසා රාජකීය විවාහ උත්සවය සජීවීව රූපවාහිනිය සහ අන්තර්ජාලය හරහා නැරඹීමට බලා‍පොරොත්තු වන අයට පහසුවක් සැලසී ඇත. ප්‍රසිද්ධ කර ඇති විස්තරවලට අනුව විවාහ උත්සවයට සම්බන්ධ ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ එදින අළුයම 4ටය. රාජකීය පවුලට සහ ඔවුන්ගේ විවිධ ආයතනවලට සම්බන්ධ සේවකයින්, එම ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් සහ සමහර ආරාධිතයින් එම වේලාවට වින්ඩ්සර් මාලිගයේ උද්‍යානය වෙත පැමිණෙනු ඇත. විවාහ උත්සවයට ඇරයුම් ලැබූ ප්‍රධාන ආරාධිතයින් 600 ක් පමණ විශේෂ බස්රථ මගින් මාලිගය වෙත රැගෙන ඒමට නියමිතව ඇත්තේ පෙරවරු 4.30 ටයි. පෙරවරු 6.20 පමණ වන විට රාජකීය පවු‍ලේ සාමාජිකයින් ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත සම්ප්‍රාප්ත වීමට නියමිතව තිබේ. ඇතැමුන් පා ගමනින් ද, ඇතැමුන් මෝටර් රථවලින්ද පැමිණීමට නියමිත ය.
ඒ වනවිට මේගන් රැඳී සිටිනු ඇත්තේ වින්ඩ්සර් මාලිගයට පිටස්තරව පිහිටි කිසියම් ස්ථානයකය. මෙම ස්ථානය සම්බන්ධයෙන් විස්තර කිසිවක් ප්‍රකාශයට පත්ව නැත. කෙසේ හෝ වේවා 6.30 පමණ වනවිට ඇය ඇගේ මවත් සමග විශේෂ මෝටර් රථයකින් වින්ඩ්සර් මාලිගය වෙත ළඟාවීමට නියමිතව තිබේ. මග දෙපස රැස්ව සිටින ජනයාට ද මේ අවස්ථාවේ මනාලිය දැක ගැනීමේ සහ ඇයට ආචාර කිරීමේ අවස්ථාව හිමි වෙයි. දේවස්ථානයේ දොරටුව ළඟදී මේගන්ගේ මව ඩොරියා සිය දියණියගෙන් වෙන්ව දේවස්ථානයට ඇතුල් වෙද්දී මේගන් මල් කුමර කුමරියන් ඇතුළු කණ්ඩායමත්, ඇගේ පියාත් සමග දේවස්ථානයට ඇතුළු වෙයි. හැරී කුමරු සහ දවෛනි මනාලයා ලෙස සිටින විලියම් කුමරු දේවස්ථානය වෙත පැමිණෙන්නේ එයින් අනතුරුවයි. දේව මෙහෙය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පෙරවරු 7 ටයි. පැයක පමණ කාලයක් ඒ වෙනුවෙන් වෙන් කර තිබේ.
දේව මෙහෙය සහ ඒ සම්බන්ධ කටයුතු අවසන් වීමෙන් පසු හැරී සහ මේගන් විශේෂ රියකින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා පැය භාගයක පමණ කාලයක් වෙන් කර ඇති බව සඳහන් වෙයි. එයින් පසුව නව යුවළ මහ රැජින විසින් පවත්වනු ලබන ප්‍රිය 
සම්භාෂණයකට සහභාගි වෙති. එයද පැවැත්වෙන්නේ වින්ඩ්සර් මාලිගයේමය. මෙයින් අනතුරුව හැරී සහ මේගන් වින්ඩ්සර් මාලිගයෙන් නික්ම යන අතර සවස් කාලයේ ඔවුන් චාල්ස් කුමරු විසින් පිළිගන්වනු ලබන රාත්‍රි භෝජනයකට සහභාගි වීමට නියමිතය.
මෙම කටයුතුවලින් පසු රාජකීය යුවළ ඔවුන්ගේ මධු සමය බලා නික්ම යනු ඇතැයි බොහෝ දෙනා බලා‍පොරොත්තු වුවද එය එසේ නොවනු  ඇති බව පසුගිය දිනවල මාධ්‍ය හරහා අනාවරණය විය. රාජකීය නිල කටයුතු කිහිපයකට සහභාගි වීම සඳහා ඔවුන් මධු සමය මඳකට කල් දමා ඇති බව සඳහන් වේ. මෙය එක් අතකින් ඔවුන්ගේ මධුසමය වෙත යොමුවන අති විශාල මාධ්‍ය අවධානය මදක් තනුක කරනු පිණිස ගත් පියවරක් විය හැකි බවටද අදහස් පළවී තිබිණි. හැරී සහ මේගන් මධු සමය ගත කිරීමට නියමිතව ඇත්තේ නැමීබියාවේය. 
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.