lakbima.lk

ප්‍රහාරයට මැදි වූ 6000කට පිළිකා ;නිව්යෝක් ප්‍රහාරයේ අනුවේදනීය පසුවදන

ගිනි නිවන භටයෙකු වූ තෝමස් ෆෙලාන් මියගොස් දිනකට පසු තවත් ගිනි නිවන භටයෙකු වූ කීත් යන්ග් මියගියේය. දෙදෙනාම මියගියේ පිළිකා හේතුවෙනි. කෙසේ වුවද මේ දෙදෙනාම පිළිකාවලින් පීඩා විඳීමට හේතු වූයේ වසර දහහතකට ආසන්න වෙමින් පවතින එක් සිදුවීමකි. ඒ සැප්තැම්බර් එකොළොස් වැනිදාවක සිදුවූ නිව්යෝක් ප්‍රහාරයයි.

නිව්යෝක් ප්‍රහාරයේදී නිල වශයෙන් මියගිය බවට පිළිගැනෙන පිරිස දෙදහස් නවසිය හැත්තෑහතකි. ෆෙලාන් හා යන්ග්ගේ නම මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුණද ඔවුන්ගේ මරණවලට හේතුවද එම අවස්ථාවේදී ලෝක වෙළෙඳ 
සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයයි. නිව්යෝක් නගරයේ ගිනි නිවන හමුදාවේ වාර්තාවලට අනුව මේ දෙදෙනාගේ මරණ නිව්යෝක් ප්‍රහාරයේදි ගිනි නිවා විපතට පත්වූවන් ගලවාගැනීමට ගිය ගිනි නිවන භටයින් අතරින් එහිදී ආඝ්‍රාණය කළ විෂ වායුන් හා සිදුවූ අනතුරු නිසා මියගිය ගිනි නිවන භටයින්ගේ මරණ ලැයිස්තුවේ එකසිය හැත්තෑ දෙක හා එකසිය හැත්තෑ තුන ලෙස සටහන් වනු ඇත. මෙම වසර තුළදී නම් ඒවා නිව්යෝක් ප්‍රහාරයේදී උපකාර කිරීමට ගොස් අතුරු ආබාධයන්ට ලක්වූ ගිනි නිවන භටයින්ගේ මරණ අතරින් හයවැනි හා හත්වැනි ලෙස සටහන්ව තිබේ. පසුගිය මාර්තු දහවැනිදාද මෙවැනිම අතුරු ආබාධයකින් ‍පෝල් ටොකාර්ස්කි නම් ගිනි නිවන භටයෙක් මියගියේය. මෙම මරණවලට හේතුව ලෙස දැන් දැක්වෙන්නේ ලෝක වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ රෝගී තත්ත්වයන් ලෙසය. කනගාටුදායක කාරණය වන්නේ මෙම මරණ අනාගතයේදීත් තවදුරටත් සිදුවීමට ඉඩ තිබිමය.
ඇමරිකාවෙන් ලැබෙන වාර්තාවලට අනුව නිව්යෝක් ප්‍රහාරය සිදුවූ දිනයේ මෑන්හැට්න් ප්‍රදේශයේදී ප්‍රහාරයෙන් නිකුත් වූ අතිශයින් විෂ දුම් ආඝ්‍රාණය කළ හෝ හදිසි අනතුරුවලට ලක්වූ පිරිස ලක්ෂ හතර ඉක්මවයි. ඒ අතර සිටින ගිනි නිවන භටයින් අටදෙනෙකුගෙන් එක් අයෙකුට මේ වනවිට පිළිකා වැළඳී තිබෙන අතර ඇතැමෙක් පිළිකා හේතුවෙන් මිය ගොසිනි. නිව්යෝක් ප්‍රහාරයෙන් පසු සිදුවූ විශේෂ සිදුවීමක් වන්නේ මෑන්හැට්න් සිට වෙනත් ප්‍රදේශවලට යා හැකි සියලු ගොඩබිම් මාර්ග ඇහිරීමය. එබැවින් ලොව දැවැන්තම ගලවාගැනීමේ මෙහෙයුම ලෙස වාර්තාවන දෙවැනි ලෝක යුද සමයේ ඩන්කර්ක් හි සිදුවූ  මෙහෙයුමටත් වඩා විශාල මෙහෙයුමක් බෝට්ටුවලින් ජල මාර්ගයන් ඔස්සේ සිදු කෙරුනු අතර ෆෙලාන් ද ඊට සහභාගි වූ එක් අයෙකි. ඒ වන විට ඔහු සංචාරකයින් සඳහා වූ යාත්‍රා සේවයකට එක්ව සිටියේය. පැය නවයක් තුළ ලක්ෂ පහක ජනතාවක් ගලවාගත් මෙම මෙහෙයුම නිව්යෝක් නගරයේ එතෙක් මතෛක් සිදුවූ විශාලතම ගලවා ගැනීමේ මෙහෙයුම ලෙස වාර්තා වෙයි. මෙම මෙහෙයුමට සහභාගි වූ නාවුක භටයින් ඇතුළු පිරිසෙන් බොහෝ දෙනෙකු ආසන්න දිනවල හෝ කලකට පසු රෝගාතුර වූහ. 
මියයන විට වයස අවුරුදු හතළිස් පහක් වූ ෆෙලාන්ට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බව සොයාගන්නා ලද්දේ මීට මාස දෙකකට පෙරදීය. ප්‍රහාරය සිදු වූ දිනම දිවිපිදූ නිව්යෝක් ගිනි නිවන භටයින්ගේ ගණන තුන්සිය හතළිස් තුනකි. නිව්යෝක් ප්‍රහාරයෙන් පසු ගිනි නිවන භටයෙකුගේ මරණයක් මුල්වරට වාර්තා වන්නේ මානසික ආතතිය හේතුවෙන් සියදිවි නසාගැනීමක් ලෙසිනි. තම මිතුරන් රැසක් අහිමි වීමෙන් පීඩනයට පත් ගැරී සෙලෙන්ටානි ඉන් වසරකුත් මාස දෙකකට පසු දිවිනසාගත්තේය. ඉහත සඳහන් වු කීත් යන්ග් පිළිකාවකින් රෝගාතුර වූයේ මීට වසර දෙකුත් මාස තුනකට පෙරදීය. ෆෙලාන් මියගොස් දිනකට පසු මියයනවිට ඔහුගේ වයස අවුරුදු පනස්තුනක් විය.
මේ වනවිට ලැබි ඇති තොරතුරුවලට අනුව නිව්යෝක් ප්‍රහාරයට මුහුණදී හෝ ඒ අසල සිට හෝ විපතට පත්වූවන්ට උදව් කරන්නට හෝ ගිය අය හැත්තෑ දහසක් පසුව වෛද්‍ය ආධාර සඳහා ඉල්ලුම්කොට තිබිණි. ඉන් දහහතරදහස් තුන් සියයක් නිව්යෝක් වැසියන්ය. මේ පිරිස පෙළුණු රෝගාබාධයන් අතර බහුල වූයේ දිගින් දිගටම පවතින කැස්ස, ඇදුම, පිළිකා හා මානසික ආතතියයි. 2011 දී සැඩ්රොගා නම් ‍පොලිස් නිලධාරියෙකු සිහිකොට එනමින් ඉදිරිපත් කොට අනුමත කරන ලද පනතකින් නිව්යෝක් ප්‍රහාරයෙන් දිවි ගලවාගත්තවුන් නිරීක්ෂණය කොට, ඔවුන් රෝගාතුර වූයේ නම් ප්‍රතිකාර සඳහා හා වන්දි ගෙවීමට අරමුදලක් අරඹන ලදී. නිව්යෝක් ප්‍රහාරයට මැදි වූ ඉහත ‍පොලිස් නිලධාරියා මියගියේ පෙනහළු ආසාදනයකිනි. මෙම අරමුදල හරහා මේ වනවිට ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.3කි. නිව්යෝක් ප්‍රහාරයන් සිදු වූ තැන සැලකිය යුතු වෙලාවක් සිටි අයගෙන් හය දහසක් මේ වනවිට පිළිකාවන්ට ගොදුරුව සිටින අතර තවත් දහස් ගණනක් ශ්වසන අපහසුතා සහ මානසික රෝගවලින් පෙළෙති. මෙහිදී බිය පලව ඇත්තේ ඉදිරි කාලයේදී මෙම ප්‍රහාරයන්ට මැදිවී දිවිගලවාගත් ගිනි නිවන භටයින් ඇතුළු පිරිසෙන් තවත් විශාල ප්‍රමාණයක් මියයන්නට ඉඩ ඇති බැවිනි. ඇදවැටුණු ගොඩනැගිලිවල පිළිස්සෙන ඇස්බැස්ටස්වල දුමාරයට මැදි වූ විශාල පිරිසක් සිටින අතර අතිශයින් විෂ සහිත මෙම දුමට මැදිවන්නන්ට පිළිකාවන් වැළඳීමට වසර 
පහළොවක් හෝ ඊට වැඩි කාලයක් ගතවේ. එබැවින් අනාගතයේදීත් විශේෂයෙන් එම දුමට මැදිවූ ගිනිනිවන භටයින් විශාල පිරිසකට පිළිකා වැළඳීමේ අවදානමක් පවතියි. මේ ඇතැම් ගිනි නිවන භටයින් විපතට පත්වූවන්ට උදව්කරමින් හා ගිනි නිවමින් පැය හතළිහක් හෝ ඊටත් වැඩි කාලයක් එම ස්ථානයේ රැඳී සිටි අයයි. නිව්යෝක් නගරයේ ගිනි නිවන භටයින්ගේ සංගමයේ ජෙරාඩ් ෆිට්ස්ජෙරල්ඩ් කියන්නේ ප්‍රහාරයට මැදි වූ ගිනි නිවන භටයින් ගතවන දිනක් පාසා ඊළඟට පිළිකාවට ගොදුරු වන්නේ තමාදැයි ප්‍රශ්න කරගන්නා බවය.
 
නිශානි දිසානායක 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.