lakbima.lk

හමන සුළං මකුළු දැලෙන් නවතා ලූ සුපිරි වීරයෙකුගේ සමුගැන්ම

ස්පයිඩර් මෑන් හා බ්ලැක් පැන්තර් වැනි සුපිරි වීරයන් නිර්මාණය කල ස්ටැන් ලී පසුගියදා මියයන විට ඔහුගේ වයස අවුරුදු අනූපහකි. සුප්‍රකට මාවල් කාටුන් ‍පො ත් නිර්මාණය කළ ස්ටැන් ලී මාවල් කොමික්ස් සමාගමේ හිටපු සභාපතිවරයාද විය. 1961 වසරේදීද ෆැන්ටාස්ටි ක් ෆෝ කාටූනය නිර්මාණය කළ ඔහු ස්පයිඩර් මෑන්, එක්ස් මෙන් හා ඉන්කේ‍රඩිබල් හල්ක් කාටූන්වල නිර්මාතෘවරයාද වෙයි. මාවල් කාටූන් පෙළෙහි එන කැප්ටන් ඇමෙරිකා සහ බ්ලැක් පැන්තර් ද ඔහුගේ නිර්මාණයන් වන අතර කළු ජාතිකයෙකු කාටූන් කතාවක ප්‍රධාන වීරයාවූ පළමු අවස්ථාව ලෙස වාර්තා වන්නේද බ්ලැක් පැන්තර්ය. ස්ටැන් ලීගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශ නිකුත්කරන බොහෝ දෙනෙකු කියා ඇත්තේ නිර්මාණාත්මක ලොවේ විශිෂ්ටයෙකු ලොවට අහිමි වූ බවය.

1922 වසරේ දෙසැම්බර් විසිඅට වැනිදා උපත ලැබූ ස්ටැන් ලී මැවූ චරිත අතරින් වඩාත් ප්‍රකට වූයේ විකිරණ සහිත මකුළුවෙකු විසින් සපාකනු ලැබ මකුළු මිනිසෙකු හෙවත් ස්පයිඩර් මෑන් වන පීටර් පාකර් සහ කෝපගැන්වූ විට කොළ පැහැයෙන් යුතු යෝධ මිනිසා එනම් ඉන්කේ‍රඩිබල් හල්ක් වන බෘෘස් බැනර්ය. එදාමෙදාතුර දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේද සිත් තුළ සදාතනික වීරයන් ඇති කරන්නට තම මාවල් කාටූන් ‍පොත් හරහා ස්ටැන් සමත් විය. ඔහුගේ චරිත සිනමාව හා වෙනත් කලා අංශයන් තුළින්ද ජනප්‍රිය විය. නිතර සිනහමුසු මුහුනින් සිටියද තම වෘත්තියෙහිලා ඔහු බැරෑරුම් පුද්ගලයෙකු බව ස්ටැන්ගේ සමකාලීනයෝ සිහි කරති. ඩෙයාර් ඩෙවිල්, ඩොක්ට ස්ට්‍රේන්ජ් හා සබ්මැරයිනර්ද ඔහුගේ නිර්මාණ අතර වෙයි.

රුමේනියාවේ උපත ලැබූ යුදෙව් ජාතික දෙමව්පියන්ට දාව ස්ටැන්ලි මාටින් ලයිබර් නමින් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ උපත ලැබූ ඔහු මියගියේ කැලිෆෝනියාවේදීය. ස්ටැන්ගේ පියා ඇඳුම් කපන්නෙකු ලෙස වෘත්තියෙහි යෙදුනේය. 1947 වසරේ ජෝන් බුකොක් සමග විවාහවූ ඔහු පසුගිය වසරේ හෘදයාබාධයකින් ඇය මියයන තෙක්ම සාර්ථක විවාහ දිවියක් ගතකළේය. ඒ වනවිට ඇගේ වයසද අවුරුදු අනූපහකි. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් වූ අතර බාල දියණිය ඉපදී දින තුනකින් මියගියාය. තවත් චිත්‍ර ශිල්පීන් සහ තම සොහොයුරා වන ලැරී ලයිබර් සමග එක්ව ඔවුන්ට නායකත්වය දෙමින් සුළුවෙන් ඇරඹූ මාවල් කොමික්ස් සමාගම පසුකලෙක බිලියන ගණනක ව්‍යාපාරයක් විය. තම දෙමව්පියන්ගේ කුඩා තට්ටු නිවස තුළ උපත ලැබූ ස්ටැන් මහා ධන කුවේරයෙකු වූ අතර මියයනතුරුම ඔහු ක්‍රියාශීලී ලෙස නිර්මාණ කාර්යයන්ට සම්බන්ධ වූවේය. ඈන්ට් මෑන්, අයන් මෑන් සහ තෝර් ස්ටැන් සහ සොහොයුරාගේ නිර්මාණයන්ය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු තමා නිර්මාණය කළ චරිත ඇසුරින් නිර්මාණයවූ චිත්‍රපටවල ආරාධිත රංගනයන්හි යෙදුණේය. කාටූන් චිත්‍ර කලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මාන කිහිපයකින්ද ඔහු පිදුම් ලබා ඇත.

ඇමෙරිකාවට බලපෑ මහා ආර්ථික අවපාතය අතරේ ඇඳුම් කැපීමේ රැකියාවෙහි නියැළෙන්නට අවස්ථාවන් ස්ටැන්ගේ පියාට නොලැබුණු බැවින් ඔවුන්ගේ ජීවිතය කටුක විය. ගැටවර වියේදී ඔහු එවකට ඔවුන් පදිංචිව සිටි තට්ටු නිවසේ වූ එකම නිදන කාමරය සොහොයුරා සමග බෙදාගත් අතර මව්පියන් නිදාගත්තේ ඇඳක් ලෙස දිගහැරිය හැකි සෝපාව මතය.කුඩා කල සිට ‍පොත්වලට හා චිත්‍රපටවලට ඇලුම් කළ ස්ටැන් තරුණ වියේදී කතා ලිවීමට ප්‍රිය කළේ දිනක ඇමෙරිකාවේ ලියැවුණු හොඳම ‍පොත ලිවීමේ සිහිනය දකිමිනි. මුදල් සොයාගැනීමට තරුණ වියේදී අමතර රැකියා කිහිපයක විටින් විට ස්ටැන් නිරත වූ අතර ඉන් එකක් වූයේ දැන්වීම් ආයතනයකට මරණ දැන්වීම් ලියාදීම හා ක්ෂය රෝගීන්ගේ ජාතික මධ්‍යස්ථානය වෙනුවෙන් ප්‍රවෘත්ති නිවේදන ලියාදීමය.

රොකර්ෆෙලර් මධ්‍යස්ථානය තුළ සැන්විච් පෙති බෙදන්නෙකු ලෙසද, කලිසම් නිෂ්පාදනය කරන සමාගමක කාර්යාල කාර්ය සහයකයෙකු ලෙසද, සිනමා ශාලා සේවකයෙකු ලෙසද සේවය කළ ඔහු තම පාසල් අධ්‍යාපනය වයස අවුරුදු දහහතේදී අවසන් කළේය.තම මාමාගේ උදව්වෙන් කාටූන් කතා නිර්මාණය කරන මාටින් ගුඩ්මන් සමාගමට ඔහු එක්වූයේ ඉන් පසුවය. ස්ටැන් ලී නමින් ඔහු කැප්ටන් ඇමෙරිකා කාටුන් කතාව නිර්මාණය කරන්නේ එහිදී ලැබූ පුහුණුවට අනුවය. පසු කලක ඔහු එය නිත්‍යානුකූලවම තම නම බවට හරවා ගත්තේය. පසුකලක තම ජීවිත කතා ‍පොත තුළින් ලී කියා තිබුණේ තමා නියම නමින් නොව ස්ටැන් ලී යනුවෙන් ලිව්වේ එවකට කාටුන් කතා ලිවීම පහත්කොට සැලකුනු නිසා බවය.

2010 වසරේදී ඔහු සමාජ සේවා කටයුතු වෙනුවෙන් ස්ටැන් ලී පදනම ඇරඹුවේ විශේෂයෙන් සාහිත්‍යකරණයෙහි දක්ෂයන්ට අත දීමටය. මාවල් කාටූන් චරිත ඇසුරින් නිර්මාණය වූ බොහෝ චිත්‍රපට හා ටෙලි නිර්මාණවල විධායක නිෂ්පාදක ලෙසද ඔහු කටයුතු කළේය. මියයන්නට ආසන්නයේ ඔහු අවේන්ජර්ස් චිත්‍රපට මාලාවේ සිව්වන චිත්‍රපටයේ ආරාධිත චරිතයක් රඟපෑවේය. එය ලබන වසරේ තිරගත වනු ඇත.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.