lakbima.lk

වැටුපෙන් සියයට 80ක් සිසු දරුවන්ට දෙන ලෝකයේ හොඳම අපූරු ගුරුවරයා

 
ලෝකයේ හොඳම ගුරුවරයා තේරීම සෑම වසරකම එක්තරා සංවිධානයක් විසින් කරනු ලබන අපූරු කටයුත්තකි. මෙම කටයුත්ත කරනු ලබන්නේ  වාකී පදනම නැමැති සංවිධානය විසිනි. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන්  නුවර ය. 2019 වසරේ 'ලෝකයේ හොඳම ගුරුවරයා'ද පසුගියදා මෙම පදනම විසින් තෝරන ලද අතර මෙවර එම ජයග්‍රහණය හිමි කරගත්තේ කෙන්යාවේ ගුරුවරයෙකි.
 
ඔහුගේ නම පීටර් තබිචිය. වයස අවුරුදු 36කි. තබිචි ගුරුතුමා මෙම ජයග්‍රහණය හිමි කරගත්තේ ලෝකයේ රටවල් 179කින් ඉදිරිපත් වූ අයැදුම්කරුවන් 10,000 කට අධික පිරිසක් අතරින් බවද වාර්තා වෙයි. මේ නිසා මෙය සුළුපටු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක්කක් නොවේ. ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 කට ආසන්න) මුදලක් තෑගි වශයෙන් ඔහු වෙත පිරිනමන ලද අතර මෙම ත්‍යාගය තබිචි වෙත ප්‍රදානය කරන ලද්දේ  ඉතා ජනප්‍රිය නළුවෙකු වන හියූ ජැක්මන් විසිනි.
 
පීටර් තබිචිට මෙම සම්මානය පිරි නැමුණේ ඔහු විසින් ඉටු කරනු ලබන සේවාවන්හි පවතින සුවිශේෂත්වය නිසා බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මෙම කෙන්යානු ජාතික ගුරුවරයා සම්බන්ධයෙන් පැවසුණු ඉතා අපූරු කාරණාවක් වන්නේ ඔහු තම වැටුපෙන් සියයට 80 කට ආසන්න කොටසක් තම පාස‍ලේ දිළිඳු දරුවන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරන්නේය යන්නයි. උගැන්වීම වෙළෙඳාමක් කරගෙන සිටින අය වැඩිවෙමින් ඇති ලෝකයක තබිචි වැනි ගුරුවරුන් ද සිටින බැව් විශ්වාස කිරීමටත් අපහසු තරම් ය. 
 
තබිචි ගණිතය සහ විද්‍යාව උගන්වන ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කටයුතුවල නිරත වන්නේ රිෆ්ට් මිටියාවත නමින් හැඳින්වෙන කෙන්යාවේ අතිශය දුෂ්කර, පිටිසර ඉසව්වක පිහිටි කෙරිකෝ නැමති පාසලකය. මෙම පාසලට පැමිණෙන දරුවන්  ආර්ථික වශයෙන් පහළම ස්තරයට අයත්වන දිළිඳු මව්පියන්ගේ දරුවන්ය. ඔවුන් බොහෝ දෙනෙකු හරියට කුසට ආහාරයක් පවා නොමැතිව දිවි ගෙවන දරුවන් බව පැවසේ. ‍පොත්පත්, පාසල් නිල ඇඳුම් ආදිය මිලදී ගැනීම පවා ඔවුන්ට විශාල ගැටලුවකි. මේ දරුවන් අතරින් සමහරුන් මව්පියන් නැති අනාථ දරුවන් ය. තවත් සමහරුන්ට සිටින්නේ මව්පියන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණි.
 
විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා දරුවන් බොහෝ දෙනෙකු එක දිගට පාසල් පැමිණෙන්නේද නැත. විශාල පිරිසක් අතරමැද දී පාසල හැර යති. මේ අතරින් සමහරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති. සමහර ගැහැනු දරුවන් ළමා වියේදීම විවාහ කරදෙනු ලබන අතර තවත් සමහරු ලිංගික අතවර ආදියට ගොදුරුව 'ළමා මව්වරුන්' බවට පත්වෙති. සිය දිවි හානි කරගන්නා සංඛ්‍යාවද කැපී පෙනෙන අගයක් ගන්නා බව වාර්තා වෙයි. ඇතැම් දරුවන්ට පාසල වෙත පැමිණීම සඳහා ඉතා දුෂ්කර මාර්ගවල කිලෝමීටර හත අට පයින් ගමන් කිරීමට සිදුව ඇති බවද සඳහන් ය. මහවැසි ඇදහැලෙන කාලයට එයද අති දුෂ්කර සහ අනතුරුදායක  කටයුත්තක් බවට පත්වෙයි. පීටර් තබිචි ගුරුතුමා උගන්වන්නේ මෙවැනි පරිසරයකය. 
 
ඔහු උගන්වන පාස‍ලේ පහසුකම් ද ඇත්තේ ඉතා අවම මට්ටමකය. මුළු පාසලටම ඇත්තේ එකම එක පරිගණකයක් පමණක් බවද සඳහන් වේ. අන්තර්ජාල සම්බන්ධතාද ඇත්තේ නිතර ඇණහිටින දුර්වල මට්ටමකය. කෙසේ නමුත් මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවද තබිචි ගුරුතුමා තම සිසු දරු දැරියන්ගේ දක්ෂතා ඔපමට්ටම් කිරීම සඳහා මහත් කැපවීමෙන් යුතුව අතිවිශාල වැඩකොටසක් ඉටු කර තිබේ. සිය වැටුපෙන් සියයට 80ක් ඔහු පරිත්‍යාග කරන්නේද මෙම පසුබිම තුළ ය. ඔහු තම උගැන්වීම් කටයුතු සඳහා හැකි තරම් දුරට පරිගණකය යොදා ගැනීමට පියවර ගනිමින් දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ලොකු කාර්යභාරයක් කර ඇති බව සඳහන් වෙයි.
 
'කුසලතාපෝෂණ සංගමයක්' පිහිටුවමින් දරුවන් නව නිර්මාණ බිහි කිරීම සඳහා පෙළඹවීමද ඔහු විසින් දියත් කරන ලද ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය හරහා ඔහුගේ සිසු දරුවන් බිහි කළ නව නිර්මාණ මේ වනවිට ජාතික මට්ටමින් අවධානයට ලක්ව ඇති අතර ඉතා දියුණු පාසල් සමග තරග කර ත්‍යාග හිමි කර ගැනීමට පවා සමත්ව ඇති බව වාර්තා වෙයි. මේ ආකාරයෙන් මෙම දුෂ්කර පාස‍ලේ දරුවන් විසින් කරන ලද නව නිර්මාණයක් ජාත්‍යන්තර සම්මානයක් ද හිමිකර ගැනීමට සමත්ව තිබේ.
 
තබිචි ඔහුගේ මිතුරු ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමග එක්ව දුර්වල සිසුන්ට නොමි‍ලේම අමතර, උපකාරක පංති පැවැත්වීමට ද පටන්ගෙන ඇත. එමෙන්ම දරුවන්ගේ නිවෙස් වෙත ම ගොස් මව්පියන් සමග එම දරුවන්ගේ            දුෂ්කරතා, ඔවුන්ට පවතින ගැටලු ආදිය ගැන සාකච්ඡා කරමින් දරුවන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටද ඔවුන් පියවර ගෙන තිබේ. මේ වනවිට පාසලට පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති  අතර විශේෂයෙන් ගැහැනු දරුවන් පෙන්වන දක්ෂතා වැඩි වෙමින් ඇති බව සඳහන් වෙයි. 
 
අතිදුෂ්කර කලාපවල ජීවත් වන අසරණ දරුවන් වෙනුවෙන් මේ ආකාරයෙන් වෙහෙස මහන්සි වන පරාර්ථකාමී ගුරුවරුන් සොයා ගැනීම මේ කාලයේ එතරම් පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ත්‍යාගය භාර ගනිමින් තබිචි ප්‍රකාශ කළේ තමාට මෙම ත්‍යාගය හිමි වූයේ තම සිසු දරුවන්ගේ දක්ෂතා සහ ජයග්‍රහණ නිසා බවයි. ඔවුන්ට ඕනෑම දෙයක් කළ හැකි බව මේ වනවිට ඔවුන් ලෝකයට කියා ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. 'ලෝකයේ ඕනෑම තැනක නම රැදවීමට සමත් විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන්, ව්‍යාපාරිකයින් ඉදිරියේදී අප්‍රිකාවෙන් බිහිවෙනු ඇති.
 
එමෙන්ම කාන්තාවන්ද මෙම කතාවේ ලොකු කොටසක් බවට පත්වනු ඇති.' යයි තබිචි සඳහන් කර ඇත. 'අප්‍රිකාවේ හැකියාවන් මුදාහැරීමේදී විද්‍යාවට සහ තාක්ෂණයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව මගේ විශ්වාසයයි. මේ අප්‍රිකාවේ අරුණෝදයයි. අහස හරි පැහැදිලියි. මේ අප්‍රිකාවේ කාලයයි' තබිචි එසේ පවසන්නේ මහත් උද්දාමයෙන් යුතුවය. කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාතාද තම රටෙන් බිහි වූ මෙම අපූරු ගුරුවරයාට සුබපතා තිබෙනු දැකිය හැකි විය.
 
'ලෝකයේ හොඳම ගුරුවරයා'ට පිරිනමන  සම්මානය මෙවර පිරිනමන ලද්දේ පස්වෙනි වතාවට ය. එය පළමු වරට පිරිනැමුණේ 2015 වර්ෂයේදීයි. එවර සම්මානය හිමි කරගත්තේ ඇමෙරිකානු ගුරුවරියක වූ නැන්සි ඇට්වෙල්ය. පලස්තීන ගුරුවරියක වූ හනාන් අල් හ්රූබ් 2016 වසරේද, කැනඩාවේ ගුරුවරියක වූ මැගී මැක්ඩොනල් 2017 වසරේද, බ්‍රිතාන්‍යයේ ගුරුවරියක වූ අන්ද්‍රියා සෆිරාකෝ 2018 වසරේද මෙම සම්මානය හිමි කරගත්හ. 
 
සම්මානය පිරිනමන වාකී පදනම මේ තුළින් බලා‍පොරොත්තු වන්නේ ගුරුවරයාගේ වැදගත්කම අවධාරණය කිරීමයි. ලොව පුරා විසිර සිටින ගුරුවරුන්ගේ සේවාව අගැයුමට ලක් කිරීමට එයින් බලා‍පොරොත්තු වන අතර ලොව විශිෂ්ටම ගුරුවරුන්ගේ මෙහෙවර ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කිරීම එම පදනමේ තවත් අරමුණකි.
 
කිත්සිරි මල්වත්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.