lakbima.lk

වසර 2000 පැරණි ප‍්‍රභූ සුසානයක් රුසියාවෙන් සොයා ගනී

 
රුසියානු ගොවියෙක් තම ගෙවත්තේ  වළක්  හාරමින් සිටියදී හදිසියේම ඔහුගේ උදලූතලය එකවරම යමක ගැටුණි. වසර 2000ක් පමණ පැරණි යුගයක ජීවත්වූ ගෝත‍්‍රික නායකයෙකුගේ  සුසානයකයි මොහොතකටවත් ඔහු නොසිතූ සේය.  එහෙත් ඇසුණු ලෝහමය හඬෙහි යම් අසාමාන්‍යතාවක් දැනුණෙන් ඔහු  අවට පස් ඉවත් කර එ් පිළිබඳ විමසිලිමත් වන්නට විය.  
 
එවිට ඔහුට දක්නට ලැබෙන්නේ පැරණි තඹ වැනි ලෝහයකින් කළ බඳුනකි. ප‍්‍රවේශමෙන් එය ඉවත් කරගන්නා ඔහු එය ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයකට රැගෙන යන්නේ තමන් සොයාගත් දේ පිළිබඳ සවිස්තරාත්මක විග‍්‍රහයක් ලබා ගනු රිසියෙනි.
 
මේ අපූරු බඳුන දුටු එම කෞතුකාගාරයේ පර්යේෂකයන් එහි ඓතිහාසික අගය අනුමාන කරන්නට ඇත. ඒ වන විට ප‍්‍රදේශය ඝන හිම තට්ටුවලින් පිරී තිබිණි. හිම දියව ගිය සැණින් ඔවුහු එම ගම්මානයේ කැණීම් කටයුතු සඳහා පැමිණියෝය. ඔවුන් දින 12ක් තිස්සේ අදාළ ස්ථානය ආශ‍්‍රිතව කැණීම් කරන්නට යෙදුණි.
 
අවසාන පර්යේෂණ කණ්ඩායමට දක්නට ලැබුණේ සිත් අලළන දසුනකි. හාත්පස ගැවසීගත් කලා නිර්මාණ 
රැසක් සමග එහි  නිදන්ව තිබුණේ ඇටසැකිල්ලකි. යම් සංචාරක ගෝත‍්‍රයක ප‍්‍රභූවරයකු රාජකීය ගරුසරු සහිතව එහි මිහිදන් කරන්නට ඇතැයි සිතිය හැකි බොහෝ කරුණු ඒ සමග තිබී ඇත. ඉතා අනගි රන් හා රිදී ආභරණ, ආයුධ, වටිනා භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ ආදී වස්තූන් රැසක් එහි තිබීම නිසා මේ අනුමානය සාධාරණය. 
 
තවදුරටත් කැණීම් කෙරෙද්දී පෙනී ගොස් ඇත්තේ ඉතිහාසයේ කරුණු රැසක් අනාවරණය කරනු ලබන අගනා සුසාන භූමියකට මේ පිරිස පිවිස ඇති බවයි.
 
මෙකී කැණීම් කටයුතු සිදුවන්නේ රුසියාවේ දකුණු දිසාවේ කැස්පියන් මුහුදට ආසන්නව ඇස්ට‍්‍රකාන් පළාතේය. සොයාගනු ලැබූ එක් ඇටසැකිල්ලක් කි‍්‍ර. පූ. පස්වන සියවස තෙක් එම ප‍්‍රදේශවල ජීවත්වූ ගෝත‍්‍රක ජන කණ්ඩායමක ප‍්‍රධානියෙකුගේ වියහැකි බවයි පැවසෙන්නේ. ලීයෙන් තැනූ මිනීපෙට්ටියක දමා වළලා තිබූ පිරිමි මළසිරුර වඩාත් අවධානයට ලක්ව ඇත. 
 
නායකයායැයි පෙනෙන තැනැත්තාගේ හිස කොට්ටයක් මත තබා තිබුණු බවක් පෙනෙන අතර රන්කමින් හැඩ කෙරුණු කබායක් ඔහු ඇ`ගලා තිබී ඇත. ඔහුගේ භාණ්ඩ එකතුවට අයත් පිහි, රන් බඩු, කුඩා කණ්ණාඩියක් හා නානා ප‍්‍රකාර භාජන ආදිය ද පුරාවිද්‍යඥයන් විසින් සොයාගනු ලැබ ඇත. ඒවායින් ඔහුගේ ප‍්‍රභූත්වය මතු කෙරෙන බව ඔවුහු පවසති. 
 
සොයාගත් ද්‍රව්‍ය අතර දීප්තිමත් නිල් මැණික් හා වීදුරු ආදිය ඔබ්බවා සැකසූ රන් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් තිබී ඇත. නිල් මැණික් ඇල්ලූ පටියක ගාංචුවක් හා රන් අසෙකුගේ හිසක් සහිත ඔහුගේ කිණිස්සත් අනෙකුත් රන් අබරණ සමුදායත් තිබී ඇත්තේ ඔහුගේ දෙපා මැදට වන්නට වළදමාය.  
 
ඊට ආසන්නව තිබූ ලෝකඩ කැඩපතක් සහිත කාන්තා සිරුර හා බැඳි අරුත් තේරුම් ගැනීමට අසීරුය. ඇය වළලා ඇත්තේ බිලි දෙන ලද බැටළුවෙකු හා විවිධ පාෂාණ ආයිත්තම් සමගයි.  
 
තවත් මිනීවළක ඇත්තේ වඩා වියපත් අයෙකුගේ සිරුරකි. කැණීම් යන්ත‍්‍රයකින් ඔහුගේ සැකිල්ලට හානිවී තිබුණ ද ඔහු සමග අශ්ව හිසක් ද තිබී ඇත. ඒ සිරුර තවමත් සංකීර්ණ සන්නාහයකින් සැරසී ඇත. එය රිදියෙන් හා ලෝකඩෙන් හැඩදමා තිබේ. 
 
වසර දෙදහසක් තිස්සේ ඉතා හොඳ දත් සමග සංරක්ෂිතව පැවැති ‘සිනාසෙන මිනිසා’ යනුවෙන් හැඳින්වුණු තරුණයෙකුගේ ඇටසැකිල්ල තවත් සුවිශේෂී එකකි. ඔහුගේ හිස්කබල බිත්තර හැඩයකට කෘති‍්‍රමව හැඩගන්නා තිබූ බව පැවසේ. එ
 
ම හැඩය කුඩා කාලයේ වෙළුම් පටි රැසක් එතීමෙන් හෝ වළල්ලක හෝ අච්චුවක හෝ දැමීමෙන් ඇතිකළ එකකැයි අනුමාන කෙරේ. එය අතීතයේ ඇතැමුන් දරුවන්ගේ හිස හැඩකිරීමට ඔහුගේ මුල් වසර කිහිපය තුළ සිදුකරනු ලබන්නකි.
 
මේ මිහිදන්ව ඇතැයි සිතන සාමේටියන්, අලාන්, හන් හා වෙනත් ගෝත‍්‍රකයන් තුළ ඉතා ප‍්‍රකට සිරිතකි එය. එම තැනැත්තන්ගේ තරාතිරම ද හිසේ හැඩය අනුව තීරණය කෙරෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙකී පෙදෙස් වසර දෙදහසකට පමණ පෙර පාලනය කෙරී ඇත්තේ සාමේටියන්වරුන් අතිනි.
 
ශිෂ්ටාචාරයේ ඉතිහාසය පිළිබඳ කරුණු අනාවරණය කරගැනීමට මේ කැණීම් ඉතිහාසඥයන්ට උපකාර වනු ඇත. අදාළ අධ්‍යයනයන් තවදුරටත් සිදුකෙරෙමින් පවතී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.