lakbima.lk

වයස අවුරුදු තිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමේ ක්‍රමයක්

රැකියාවන්හි නිරත වන බොහෝ දෙනකු සාමාන්‍යයෙන් විශ්‍රාම ගන්නේ වයස අවුරුදු 60-65පමණ වනවිට ය. නමුත් අවුරුදු තිස් හතළිස් ගණන්වලදී විශ්‍රාම ගැනීමට ඇත්නම් එය බොහෝ දෙනෙකු තුළ කිසියම් සහනයක්, සැහැල්ලුවක් ඇති කරන්නක් වනු ඇත. විශේෂයෙන්ම තමුන් කරන රැකියාවලින් දැඩි තෙහෙට්ටුවට පත් ව සිටින, ජීවිතයේ නිදහස අහිමිකරගෙන සිටින අය මෙවැනි විශ්‍රාම ගැනීමකට මහත් සේ ඇළුම් කරනු ඇතැයි සිතිය හැක. මේ වනවිට ඇතැම් රටවල තරුණ පරපුරේ බොහෝ දෙනකු අතර ජනප්‍රිය වෙමින් ඇති 'ෆයර්' (Financial Independence, Retire Early) ව්‍යාපාරය මෙවැනි විශ්‍රාම ගැනීමකට කැමැති තරුණ තරුණියන් තුළ විශාල උත්තේජනයක් ඇති කර තිබෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

'ෆයර්' ව්‍යාපාරය හා සම්බන්ධව සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තේමාව වන්නේ හැකි ඉක්මනින් මූල්‍යමය අතින් ස්වාධීනත්වයක් (financial independence) අත්පත් කර ගැනීමයි. වයස අවුරුදු විසි ගණන්, තිස් ගණන් වනවිට මෙවැනි මූල්‍යමය ස්වාධීනත්වයක් අත්පත් කරගෙන ඉන්පසු ඉහත කී ආකාරයෙන් අඩු වයසින් රැකියාවන්ගෙන් විශ්‍රාමගැනීම ඔවුන්ගේ අරමුණ වෙයි. මෙහිදී ඉක්මනින් මූල්‍යමය ස්වාධීනත්වයක් අත්පත් කර ගැනීම සඳහා ඔවුන් අනුගමනය කරන ප්‍රධානම උපාය මාර්ගය වන්නේ ඉතා සරල, අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමයි. තමුන් රැකියාවෙන් හම්බ කරන මුදල් අඩුවෙන්ම වියදම් කරමින් හැකිතරම් ප්‍රමාණයක් ඉතිරි කිරීම ඔවුන්ගේ විධික්‍රමය වෙයි. මේ අතර තමුන් කරන ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් අර්ධකාලීන රැකියා ආදිය මගින් අමතර ආදායම් උපයාගැනීම හරහාද තරුණවියේදීම විශාල ඉතිරියක් ඇතිකර ගැනීමට ඔවුහු කටයුතු කරති. මෙසේ ඉතිරිකරන මුදල් ‍පොලී වැනි ආදායම් ලැබෙන තැන්පතු ආදියෙහි ආයෝජනය කිරීමෙන් තවදුරටත් ආදායම් ඉපැයීමට මෙම 'ෆයර්වාදීහු' කටයුතු කරති. තම නිවසේ කාමරය වෙනත් කෙනෙකුට කුලියට දී සාලයේ සෝපාවක නිදාගන්නා තරුණයෙකු ගැන ද මේ ළඟදී ලිපියක් පළ වී තිබිණි. එයින්ද ඔහු උත්සාහ කරන්නේ අමතර ආදායමක් උපයා ගැනීමටය.

මෙම ව්‍යාපාරයෙහි සාමාජිකයෝ තමුන් එදිනෙදා කරන වියදම් සම්බන්ධයෙන් දැඩි විනයක් ඇතිව කටයුතු කරති. ඔවුන් වියදම්කරන මුදල් සහ ජීවිත කාලය අතර ඇති සම්බන්ධය ගැන වෙනස් ප්‍රවේශයකින් සලකා බලන බව සඳහන් වේ. නිදසුනක් ලෙස  දිනකට ඩොලර් 300ක් උපයනවිට එයින් ඩොලර් 100ක් සපත්තු කුට්ටමක් වෙනුවෙන් වියදම් කරන්නේ නම් ඔවුන් සලකා බලන්නේ තම දවසක ජීවිතයෙන් තුනෙන් එකක් එම සපත්තු කුට්ටම වෙනුවෙන් වැය කිරීම කෙතරම් ප්‍රයෝජනවත්ද, අර්ථවත්ද යන්නයි. ඒ නිසා වියදම සහ ඒ විසින් සිය වටිනා ජීවිත කාලයෙන් සූරා ගනු ලබන කාලය අතර සම්බන්ධය සලකා බැලීමට ඔවුන් නිතරම උත්සාහ කරන බව පැවැසේ. සාමාන්‍යයෙන් අප වැඩි දෙනෙකු යම් මුදලක් ඉතිරිකිරීමට සිතන්නේ අනෙක් වියදම් සියල්ල දැරීමෙන් පසු තව වැඩිපුර මුදලක් තිබුණහොත්ය. නමුත් 'ෆයර්' සාමාජිකයන්ගේ ස්ථාවරය වන්නේ ඉතිරිකිරීම ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවයි. ඉතිරි කිරීමට මුල් තැනදී සෙසු වියදම් සැලසුම් කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. මෙම අරමුණ ඉටු කර ගැනී මට හැකි වන්නේ ඉතා අල්පේච්ඡ ජීවන රටාවක් තුළින් පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ව්‍යාපාරයට සම්බන්ධ තරුණ තරුණියන් බොහෝ විට සමාජ මාධ්‍ය හරහා විවිධ සාමූහිකයන් (Groups) ගොඩනගාගෙන කටයුතු කරති. ඒ හරහා අදහස් හුවමාරු කර ගනිති. මුදල් ඉතිරි කළ හැකි ක්‍රම, සරලව ජීවත්වීමේ ක්‍රම, වැඩිපුර ආදායම් ඉපයීමේ ක්‍රම ආදිය ගැන ඔවුහු තම තමුන්ගේ අත්දැකීම් බෙදාහදාගනිමින් සිය මිතුරු මිතුරියන් දැනුම්වත් කිරීමට නිතර පියවර ගනිති. වයස අවුරුදු තිස් හතළිස් ගණන් වලදී පමණක් නොව විසි ගණන්වල දී පවා තමුන් කරමින් සිටි ස්ථිර රැකියාවන්ගෙන් විශ්‍රාම ගත් අය ගැන කතා නිතර මෙම සමාජ මාධ්‍ය අඩවි තුළ පළවෙනු දකින්නට ලැබේ.

මෙම තරුණ තරුණියන් මේතරම් ඉක්මනින් විශ්‍රාම ගන්නට සිතන්නේ ඉන්පසු කිසිවක් නොකර නිකම් සිටීමට නොවේ. ඔවුන්ට වුවමනා වන්නේ වයසට යාමට පෙරම මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම මගින්, මුළු ජීවිත කාලයම මුදල් හම්බ කිරීම සඳහා ගත කිරීමේ තත්ත්වයෙන් නිදහස් වීමටයි. නිසි මූල්‍ය ස්ථාවරත්වයක් නැති වූ කල අප කාටත් ජීවිත කාලයම ගත කිරීමට සිදුවන්නේ මුදල් හම්බකිරීම මතම නහිමිනි. එය ජීවිතයේ සැබෑ සතුට, නිදහස, සැහැල්ලුව අහිමිකර දමන්නක් බව අමුතු වෙන් කිව යුතු නොවේ. ෆයර් සාමාජිකයින්ට වුවමනා වන්නේ මෙම තත්ත්වයෙන් නිදහස් වීමටයි. වයස විසි තිස් ගණන්වලදී හොඳ මූල්‍යමය සුරක්ෂිතභාවයක් ගොඩ නගාගෙන ඉන් පසු තමා වඩාත් ආසා කරන කටයුතුවල නිදහසේ නිරතවීමට හැකි වාතාවරණයක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

මේ කාලයේ බොහෝ තරුණ තරුණියන්ට ලැබෙන සොච්චම් වැටුප් සමග ඉහත කී ආකාරයේ ඉතිරි කිරීමක් කළ හැකි ද යන්න ගැටලුවක් බව සැබෑය. නමුත් බහුල වෙමින් ඇති උසස් අධ්‍යාපන පහසුකම් සහ රැකියා අවස්ථාවන් හේතුවෙන් ඉහළ වැටුප් ගන්නා තරුණ පරපුරක් ද බිහිවෙමින් සිටින බව පෙනී යයි. එහෙත් මේ බොහෝ දෙනෙකු පවා යොමු වී සිටින්නේ අධික පරිභෝජනයට නැඹුරු වූ, කිසියම් දුරකට නාස්තිකාර ජීවන රටාවකටය යන්නද බැහැර කළ හැකි කාරණයක් නොවේ. එවැනි අයට සිතා බලන්නට යමක් මෙම 'ෆයර්' ව්‍යාපාරය තුළ ගැබ්ව ඇතැයි සඳහන් කළ හැකිය.

කිත්සිරි මල්වත්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.