lakbima.lk

රජිව් ගාන්ධිගේ දියණිය දේශපාලනයට

වසර 28කට පෙර කොටි සංවිධානය විසින් ඝාතනය කෙරුණු රජිව් ගාන්ධිගේ දරු දෙදෙනාගෙන් දියණිය වන ප්‍රියංකා ගාන්ධිද දේශපාලනයට එක්වීම මේ දිනවල ඉන්දියාව තුළ ලොකු අවධානයක් දිනාගත් සිදුවීමක් බවට පත්ව තිබේ. ඇයගේ වැඩිමල් සොහොයුරු රාහුල් ගාන්ධි දැන් කලෙක සිටම දේශපාලනයෙහි නිරත වෙමින් සිටියි. ඉන්දියාවේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන  කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දරන්නේද ඔහුයි. රාහුල් එම තනතුරට පත් වූයේ මව වන සෝනියා ගාන්ධි නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුවය. කෙසේ වෙතත්, රාහුල් ගාන්ධි පසුගිය කාලය පුරාම එතරම් සාර්ථක නායකයෙකු ලෙස පිළිගැනීමට ලක් වූයේ නැත.

විශේෂයෙන් කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආකර්ෂණීය බව හමුවේ රාහුල් සිටියේ බොහෝ පසුපසින් බවට පිළිගැනීමක් විය. මෙම තත්ත්වය තුළ ප්‍රියංකා ගාන්ධිට දේශපාලනයට එක් වන ලෙස කාලයක සිටම ලොකු ඉල්ලුමක් තිබිණි. ඒ, ප්‍රියංකා රාහුල්ට වඩා ජනප්‍රිය චරිතයක් වූ බැවිනි. ප්‍රියංකා ගේ  පෙනුම ඇයගේ මිත්තණිය වූ, හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පෙනුමට යම් සමානත්වයක් දැක්වීමද ඇයගේ ජනප්‍රියත්වයට හේතුවක් වූ බැව් පෙනිණි.

ඇය දේශපාලනයට පිවිසෙන බව පසුගිය ජනවාරි 23 වෙනි දින නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේ බොහෝ පාක්ෂිකයන් 'ඉන්දිරා නැවත එයි' යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රීති ඝෝෂා නගනුද දැකිය හැකිවිය. ප්‍රියංකා මෙයට පෙර ඇයගේ සොහොයුරාගේ සහ මව සෝනියා ගාන්ධිගේ දේශපාලන කටයුතුවලට සහය දෙමින් සිටියත් සෘජු ලෙස දේශපාලනයට අවතීර්ණව සිටියේ නැත.

ප්‍රියංකා මේ ආකාරයෙන් දේශපාලනයට පා තැබුවේ ඉන්දියාවේ මහා මැතිවරණය අත ළඟ තිබියදී වීම විශේෂත්වයකි. එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවල මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඇයට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර දිශාවේ මැතිවරණ කටයුතු භාර දී ඇති බව පැවසෙන අතර මේ වනවිටත් ඇය නිසා එහි විශාල ජවයක්, උද්යෝගයක් ගොඩ නැගෙමින් ඇති බව වාර්තා වෙයි. (අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මැතිවරණ ආසනය පිහිටා ඇත්තේ ද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේය) ප්‍රියංකා ගේ දේශපා ලන සම්ප්‍රාප්තියත් සමග භාරතීය ජනතා පක්ෂය තරමක් කලබල වී සිටින බවක් ද පෙනේ.

කොංග්‍රස් පක්ෂය ප්‍රියංකා තරග බිමට ගෙන ආවේ ද තව මාස දෙකකින් පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී සිය ප්‍රතිවාදීන්ට වඩාත් දරුණු අභියෝගයක් එල්ල කිරීමේ අදහසින් බව පැහැදිලිය. මෙම පසුබිම තුළ මේ වන විටත් ඇයට එරෙහිව යම්යම් 'ප්‍රහාර' දියත් වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙකු පසුගිය දිනවල පවසා තිබුණේ ප්‍රියංකා මානසික රෝගයකින් පෙළෙන කෙනෙකු බවයි. ඒ නිසා ඇය දේශපාලන නායකත්වයට සුදුසු නොවන බව ඔහු පවසා තිබිණි. ද්විධ්‍රැව සංකූලතාව යනුවෙන් හැඳින්වෙන මානසික ආබාධයකින් ඇය පෙළෙන බවටත්, ඒ නිසා සමහර අවස්ථාවල අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරෙන බවටත් ඔහු චෝදනා කර තිබිණි.

ඇය බිමත්කමට ඇබ්බැහි වූ කාන්තාවක බව කියැවෙන සටහන් සහ විඩියෝ ඛණ්ඩ සමාජ මාධ්‍ය තුළ උණුසුම් ලෙස සංසරණය වෙමින් තිබූ බවද වාර්තා විය.  කෙසේ වෙතත් ඇයට එරෙහිව එල්ල වන මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබෙනු ද දැකිය හැකිවිය.

දෙදරු මවක වන ප්‍රියංකා විවාහ වී සිටින්නේ ව්‍යාපාරිකයෙකු වන රොබට් වද්‍රා සමගයි. මේ වන විට වද්‍රා ට එරෙහිව  වංචා දූෂණ චෝදනා කිහිපයක් එල්ල වී තිබිම ද ප්‍රියංකාගේ දේශපාලන ගමනට විශාල බලපෑමක් එල්ල කරන කාරණයක් වනු ඇත. කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා ද ඒ අතර වෙයි. ලන්ඩනයේ දේපළ මිල දී ගැනීමට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. වද්‍රා මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර ඔහු කියන්නේ මේවා දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා එල්ල කෙරුණු චෝදනා බවයි. ඔහුට එරෙහිව මොන චෝදනා එල්ල වුවත් තමා සිය සැමියා වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රියංකා ද පසුගිය දිනෙක පවසා තිබිණි.

මේ වනවිට ප්‍රියංකාගේ වයස අවුරුදු 47 ක් වන අතර 1991 වසරේ රජිව් ගාන්ධි ඝාතනය කරද්දී ඇය පසුවූයේ 19 වෙනි වියෙහිය. සිය පියාගේ අකල් වියෝව තමා තුළ ඇති කළ මහත් කම්පනය සහ කෝපය ගැන ඇය බොහෝ අවස්ථාවල කතා කර තිබේ. එහෙත් අවසානයේ පියාගේ ඝාතකයන්ට සමාව දිය හැකි මානසිකත්වයකට තමා පත් වූ බවත් ඇය අනාවරණය කළාය. ප්‍රියංකා කලකට පෙර බුදුදහම වැලඳ ගැනීමද විශාල වශයෙන් අවධානයට ලක් වූ කාරණයක් විය. බුදුදහම සහ භාවනාව තම ජීවිතයට බෙහෙවින් උපකාරී වී ඇති බැව් ඇය නිතර සඳහන් කරන්නකි.

ප්‍රියංකා දේශපාලනය කිරීමට ආවේ රාහුල් විවාහ වී නොමැතිවීම සහ ඔහුට දරුවන් නොමැතිවීම නිසා ගාන්ධි පවු‍ලේ නම ඉදිරියට ගෙනයාම බව මේ ගැන අදහස පළකරන උදවියගේ මතය වී තිබේ.

කිත්සිරි මල්වත්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.