lakbima.lk

නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වූ ලොව ළාබාලතම දැරිය

“ඉරට සැතපුමකැ”යි බොහෝ අය පවසන තරමට මේ අවුරුදු සමයේ අප ගත කරන්නේ ඉවසිය නොහැකි තරමේ දාහයකින් යුතු කාලයකි. එන්න එන්නම මෙම තත්ත්වයේ වැඩිවීමක් මිස අඩුවීමක් සිදු නොවෙතැයි පවසන විද්‍යාඥයන් තවත් වසර කිහිපයක් ගත වන විටදී පෘථිවි උණුසුම තව තවත් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස ග්ලැයිසර දියවී මුහුදු මට්ටම ඉහළ යන බව අවධාරණය කරති. එහි ප්‍රතිඵලය මාලදිවයින ඇතුළු දූපත් ගණනාවකටම ලෝක සිතියමෙන් තුරන්ව යන තත්ත්වයක් උදා වීමය.


පෘථිවියේ පැවැත්මට දිනෙන් දින තර්ජනයක් වන මේ ගෝලීය උණුසුම ඉහළ යෑම යනු කුමක්ද? පෘථිවිය මතට පතිත වන සූර්ය කිරණ ‍පොළොවට පතිතිව නැවත පරාවර්තනය වීමට ඇති නොහැකියාව ගෝලීය උණුසුම මෙතරම් ඉහළ යෑමට හේතුවයි. එය සිදුවන්නේ දිනෙන් දින වැඩි වැඩියෙන් වායු ගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රධාන කොටගත් තවත් වායුවර්ගවල බලපෑම නිසයි.


ලොව සියලු සත්ව ශාක ප්‍රජාවට බලපාන මෙම තර්ජනය වැළැක්වීමට රට රටවල නායකයන් එක් වී අත්සන් කළ සම්මුතිය පැරිස් සම්මුතිය නමින් හැඳින්වේ. එහෙත් වාතලයට ප්‍රධාන වශයෙන් කාබන්ඩයොක්සයිඩ්  මුදා හරින ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සම්මුතියෙන් ඉවත් වන්නේ තමන්ට පමණක් මෙම තර්ජනය බලනොපාන ආකාරයටය. ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳව ඇමෙරිකාව වැනි ලොව ප්‍රබල රටක නායකයෙකු පවා එලෙස අඳ, ගොළු, බිහිරි ආකාරයෙන් කටයුතු කරද්දී ඊට එරෙහිව තනිව නැගී සිටි දැරියකගේ නමක් 2019 නොබෙල් ත්‍යාගය සඳහා මේ වන විට යෝජනා වී තිබේ. ඇයව ඒ සඳහා යෝජනා කරනු ලබන්නේද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකි.


2003 ජුනි මස උපත ලබන ඇය ග්‍රේටා තුන්බර් නම් ස්වීඩන් ජාතික දැරියකි. එරට කලා පවුලක උපත ලබන ඇගේ පරපුරේ බොහෝ පිරිසක් ප්‍රසිද්ධ කලාකරුවෝ වෙති.


2018 වසරේ දිනයක පාසල් යෑම ප්‍රතික්ෂේප කරමින් ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇය තනිවම විරෝධතාවක නියැලෙන්නේ ස්වීඩනය විසින් පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් වායුව පැරිස් සම්මුතියට අනුකූලව අඩු කළ යුතු බව පවසමින්ය. ඉන්පසුව සෑම සිකුරාදා දිනයකදීම සිදු කළ මෙම විරෝධතාවය ජ්පඪඤචර ටධප ජ්භබභපඥ  හෑෂ් ටැග් එක යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අතිශය ජනප්‍රිය විය.


එලෙස ආරම්භ වන Friday for Future ව්‍යාපාරය මගින් මෙම පන්ති වර්ජනයට තව තවත් ශිෂ්‍ය ප්‍රජාව එක්වෙමින් ඇයට විශාල සහයෝගයක් පළ කෙරිණ. පසුව ලොව පුරාම සිසු ප්‍රජාවගේ අවධානය Friday for Future ව්‍යාපාරය වෙත යොමු විය. 2018 දෙසැම්බර් මාසයේදී පමණක් ලොව පුරා 20,000 පමණ වූ ශිෂ්‍ය ප්‍රජාවක් ස්ථාන 270 කදි ගෝලීය උණුසුම ඉහළ නැංවීම පිළිබඳව තම තමන්ගේ රජයන් ඊට අවධානය යොමු නොකිරීම පිළිබඳව චෝදනා කරමින් මෙම විරෝධතාවන්ට එකතු වී තිබිණ. ලොවටම බලපාන අර්බුදයක් වෙනුවෙන් දැරියකගේ නැගී සිටීමත් ලොව පුරා ශිෂ්‍ය ප්‍රජාවගේ අවධානයට යොමු වන්නේ ඒ ආකාරයටය.


මින් නොනවතින ග්‍රේටා දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම පිළිබඳව පාර්ලිමේන්තු කතාවක් පවත්වන්නටද  අවස්ථාවක් උදාකර ගන්නීය. ඇය මුළු ලෝකයේම අවධානයට ලක්වන්නේ 2018 දෙසැම්බර් 4 වනදා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳව අමතා කළ කතාවට පසුවයි.


එහිදී ඇය අත්පත් කර ගත් සාර්ථකත්වය 2019 වසරේ ජනවාරියේදී පැවැති ලෝක  ආර්ථික  සමුළුවේ වාර්ෂික හමුවට සහභාගි වන්නට තරම් වූ අවස්ථාවක් ග්‍රේටා උදා කර ගත්තාය.  නොබෙල් ත්‍යාගය සඳහා වූ නාම යෝජනා අතුරින් ඊට හිමිකම් කියන්නේ කවුරුන්දැයි ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ මේ වසරේ ඔක්තෝබර් මාසයේදියි. වාසනාවකට  ග්‍රේටා තුන්බර්ගේ නම නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වුවහොත් නොබෙල් ත්‍යාගලාභි ළාබාලතමයා ලෙස ඉතිහාස ගත වන්නේ ඇයයි.

 උත්පලා සුභාෂිනි  ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.