lakbima.lk

නාපාමි දැරියට ඉහළම සම්මානයක්

වියට්නාමයේ “පාන් නී කිම් ෆූ”ට පසුගියදා ජර්මනියේ දී සාමය වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමුණි.“පාන් තී කිම් ෆූ” යැයි කියූවිට ලෝකයෙ කවුරුත් දැන නොගත්තත් “නාපාමි” දැරිය යැයි කියූ විට නම් පාන්තී ගැන මුළු ලෝකයම දන්නේය. ඒ 1972 වසරේ වියට්නාම්  යුද්ධයේ බිහිසුණු බව මුළු ලෝකයටම කියා පාන්නට සමත් වූ ඡායාරූපයේ නිරුවතින් දිවයන දැරිය ඇය නිසාය.

“නාපාමි” දැරිය යුද්ධයේ කෲරත්වය ගැන පමණ ඉක්මවූ සාක්ෂියකි. දැන් පනස්පස් හැවිරිදි වියේ පසුවන “පාන්තී” හෙවත් නාපාමි දැරිය 1972 දී වයස අවුරුදු  නවයක දැරියකි. එදා ඇමෙරිකන් හමුදා විසින් උතුරු වියට්නාමයේ පිහිටි “පාන් තී කිම් ෆූ” ගේ උපන් ගම වන ට්‍රාන්ස් බැන්ක් වලට ගුවනින් නාපාමි නමින් හැඳින්වෙන රසායනික බෝම්බ හෙළුවේය. ඒ උතුරු වියට්නාම් සෙබළු එහි සැඟව ඇතැයි යන සැකය නිසාය.

මෙම ප්‍රහාරයේදී පාන් තීගේ අසල්වැසි ගම්වාසින් දැවී මිය ගියහ. පාන් තී ද පිලිස්සුම් තුවාල ලැබුවාය. මේ පිලිස්සුම් වලින් ගැලවීමට ඇයට කළ හැකිව තිබුණේ සිය ඇඳුම් උනා දැමීමයි ඇය සිය ඇඳුම් උනා දිවි ගලවා ගැනීමට දිව ගියාය.

වියට්නාමයේ ඇමෙරිකානු පුවත්පත් කලාවේදියකු වූ නික් උට්ගේ කැමරා කාචයට ඇය දිව යන දර්ශනය හසුවූ, අතර පසුව එම ඡායාරූපය ලොව පුරා ප්‍රකට විය. මෙම ඡායාරූපය නිසා නික් උට්ට 1973 මාධ්‍යවේදීන් සඳහා වන ඉහළම සම්මානය වන ජුලිට්සර් සම්මානයද හිමිවිය.

එදා පිලිස්සුම් තුවාල ලබා දිවි ගලවාගත් පාන් තී පසුව යුනෙස්කෝ සංවිධානය හා එක්ව යුද්ධයෙන් පීඩා විඳින දරුවන් සඳහා විශාල මෙහෙයක් කළාය. පසුගිය දා ඇය සම්මාන ලැබුයේ ඒ මෙහෙය වෙනුවෙනි.

රත්නපාලී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.