lakbima.lk

දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපය

ඒ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් වූ දිනයයි. ජයග්‍රහණයේ දිනය වු ජපානයට විරුද්ධ අවසන් සටන මිත්‍ර හමුදාවන්ට ජය ලබාදෙමින් අවසන් වූ බව ප්‍රකාශයට පත්කරන විට යුද්ධයට දායක වූ ඇමෙරිකානු ජාතික තරුණ නාවුක හමුදා සෙබළ ජෝර්ජ් මෙන්ඩොන්සා පැසිපික් සාගරයේ රාජකාරිවලින් මාසයක නිවාඩුවක් ලැබ පැමිණ ඒ අවස්ථාවේ සිටියේ නිව්යෝර්ක් නගරයේ සුප්‍රකට ටයිම්ස් චතුරශ්‍රයේය.

ඔහු එවකට සේවය කරමින් සිටියේද සලිවන් නම් එකම පවු‍ලේ සොයුරන් පස්දෙනාට දිවි අහිමි කළ සටන සිදුවීම හේතුවෙන් ප්‍රකට වූ නෞකාවෙහිය. තම පෙම්වතිය සමග නාවුක නිල ඇඳුමෙන්ම අසල රේඩියෝ සිටි සංගීත ශාලාවේ ප්‍රසංගයක් නරඹමින් සිටි ඔහු මේ පුවත අසා ඇයවත් ඇදගෙන ගොඩනැගිල්ලෙන් පිටතට විත් නැවතුනේ අසල මත්පැන් හලකය. ඇය සමග ඉන් පිටවු ඒ වනවිට ප්‍රීතියෙන් පිනා ගොස් සිටි ඔහු දකින සියල්ලන් නවතා ඔවුන් වැලඳගන්නටත්, හාදු දෙන්නටත් වූවේය. මේ ඵෙතිහාසික මොහොත සමරමින් ප්‍රීතිවන ජනතාවගේ ඡායාරූප තම කැමරාවට හසුකරගනිමින් සිටි සුප්‍රකට ලයිෆ් සඟරාවේ ඡායාරූප ශිල්පී ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටැඩ් හට ඒ 1945 වසරේ අගෝස්තු 14 වැනිදා වීදියේ එහා මෙහා යන පිරිස සිඹින තරුණ නාවුකයාද ඇස ගැටිනි.

තම කැමරාවට සුදුසු අවස්ථාවන් එහි මැවෙන බව වටහාගත් ඡායාරූප ශිල්පියා තම ලෙයිකා වර්ගයේ කැමරාවද සහිතව මෙන්ඩොන්සා ලුහුබදිමින් ඡායාරූප ගත්තද පසුව ඉන් ඔහුගේ සිත්ගත්තේ එක් ඡායාරූපයක් පමණකි. ලයිෆ් සඟරාවට ජයග්‍රහණයේ මොහොත ලෙස ඔහු ලබාදුන් ඡායාරූප හතර අතරට ඔහු එයද ඇතුළත් කළ අතර ඉක්මනින්ම ලොව පුරා ප්‍රකට වී එතැන් සිට අද දක්වා සදානුස්මරණීය ලෙස සැමරෙන්නේ එම ඡායාරූපයයි.
මේ ඡායාරූපයෙහි දැක්වෙන්නේ මෙන්ඩොන්සා නාඳුනන තරුණ හෙදියක අහඹු ලෙස සිපගන්නා ආකාරයයි. විසිඑක් හැවිරිදි ඇය ග්‍රේටා සිමර් නම් වූවාය. පසුකලක මෙන්ඩොන්සා කියා සිටියේ ඇය ඔහුට මුහුදේදී තුවාල ලැබූ තම සොයුරු නාවුක සෙබළුන්ට ඉතා කරුණාවෙන් උවටැන් කළ හෙදියන් සිහිගැන්වු බවය. මේ අවස්ථාවේදී මෙන්ඩොන්සා විවාහ ගිවිසගෙන සිටි ඔහුගේ පෙම්වතියද ඇතැම් ඡායාරූපවල අසලක සිනාසෙමින් සිටින ආකාරයද පෙනෙයි.

කතා නායිකාව ග්‍රේටා 2016 වසරේදී මියයන විට ඇගේ වයස අවුරුදු අනුදෙකක් වූ අතර එවකට දන්ත රෝහලක හෙදියක ලෙස කටයුතුකළ තමා 1960 වනතුරු තමා පෙනී සිටින මෙම ඡායාරූපය ගැන නොදැන සිටි බව කීවාය. පසුගිය සතියේ දිනක සුප්‍රකට කථානායකයා ජෝර්ජ් ඇන්ටනි මෙන්ඩොන්සා මිය යනවිට ඔහුට වයස අවුරුදු අනූපහ ලබන්නට තිබුණේ දින දෙකක් පමණකි.

රෝඩ් අයිලන්ඩ්හි සාත්තු නිවාසයක ප්‍රතිකාර ලබමින් සිටි හෘදය දුර්වල වෙමින් සිටි තම පියා බිම ඇදවැටී අපස්මාර රෝගී තත්ත්වයකින් පසු දිවියෙන් සමුගත් බව ඔහුගේ දියණිය නිවේදනය කොට තිබිණි.වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි රෝහලක ග්‍රේටා මියගියේ නියුමෝනියා රෝගයෙනි.ඡායාරූපය ගන්නා කාලයේ අවිවාහක වූ ඇය විවාහයෙන් පසු හැඳින්වුනේ ග්‍රේටා සිමර් ෆ්‍රීඩර්මන් යනුවෙනි. 1995 වසරේදී එවකට වයස අවුරුදු අනූහයක් වූ ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටැඩ්ද මියගිය බැවින් අද මෙම ඡායාරූපයට සම්බන්ධ තිදෙනාම ජීවතුන් අතර නැත.

1923 වසරේ නිව්‍පෝර්ට්හි  උපත ලැබූ මෙන්ඩොන්සා ගේ පියා මසුන් මරන්නෙකු වූ අතර මව හා පියා දෙදෙනාම පෘතුගාලයෙන් පැමිණ ඇමෙරිකාවේ පදිංචිවුවන්ය. ඔහුට තව සොයුරන් තිදෙනෙක් විය. තම කුඩා කළ ගෙවුණේ ජලය හා විදුලිය පහසුකම් නැති දුෂ්කර සමයක් බව මෙන්ඩොන්සා සිහිපත් කොට තිබේ. ඔහු නාවුක හමුදාවට එක්වන්නේ 1942 වසරේදීය. දෙවන ලෝක යුද සමයේ සුප්‍රකට වෝ ජිමා සටනට එක්වීමේ අවස්ථාවද ඔහුට හිමිවිය.
මෙම ඡායාරූපය ප්‍රකට වූයේ යුවළගේ නම් ගම් නොමැතිව වන අතර මේ දෙදෙනාගේ අනන්‍යතාවය හෙළිවූයේ ඉන් බොහෝ කලකට පසුවය.

එය “ජයග්‍රහණයේ දිනය ටයිම්ස් චතුරශ්‍රයේදි” ලෙස සඟරාව විසින් හැඳින්වුනද වඩාත් ලොව ප්‍රකට වූයේ හාදුව ලෙසය.ලයිෆ් සඟරාව පිටුවක් පුරා එය පළක‍ලේ ඡායාරූපය ගැනීමෙන් සති දෙකකට පසුවය. මෙම ඡායාරූපයේ පෙනී සිටින්නේ තමා බව කියමින් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වූ  අතර ඊට ප්‍රධාන හේතුව මෙම හාදුව මදක් නැමී දෙන ආකාරය අනුව දෙදෙනාගේම මුහුණු නොපෙනීමයි. මේ හරහා ප්‍රකට වීමට බලා සිටි ඇතැමෙක් ඒ සඳහා ඉදිරිපත් වූ අතර කලක් යන තුරු මෙම හෙදිය මැන්හැට්න් හි රෝහලක සේවය කළ එඩිත් ෂේන් නම් හෙදිය බවට පිළිගැනීමක් විය.

පසුකලෙක ඇය කියා සිටියේ මෙම ඡායාරූපයේ හෙදිය සොයා යමින් සිටි අයිසන්ස්ටැඩ් තමා හමුවිමට පැමිණ තම දෙපා දෙස බලා ඒ සිටින්නේ තමායැයි පැවසු බවකි. කෙසේ වුවද 2010 වසරේදී මියගිය ඇය ඡායාරූපයේ සිටින හෙදියට වඩා ශරීර ප්‍රමාණයෙන් වෙනස් බව හෙළි වී තිබුණි. නමුත් කෙටිකලක් තුළ මේ තමා එදා දුන් හාදුව බව හඳුනාගත් මෙන්ඩොන්සා ඊට සාක්ෂි වශයෙන් තම දකුණු අතෙහි වූ පච්චයක්, වම් අතෙහි වූ කැලලක් දක්වා සිටි අතර ඒ වනවිට ඔහු සමග විවාහ වී සිටි පෙම්වතියද එය තහවුරු කොට තිබුණි.

රීටා පෙට්රි නම් ඇය මෙන්ඩොන්සාගේ බාල සොයුරියගේ සැමියාගේ ඥාති සොයුරියකි. මෙහිදී තම අනන්‍යතාවය වෙනුවෙන් වසර ගණනාවක් ලයිෆ් සඟරාව සමග නඩු කියු මෙන්ඩොන්සා 1980 ගණන්වලදී නඩුව ඉල්ලා අස්කරගත්තේය. ඒ නාවුකයා තමා බව සඟරාව පිළිිගැනීමෙන් පසුවය. එතැන් සිට ග්‍රේටා හා ඔහු අතර හිතවත්කමක්ද ඇති වූ අතර එය ඇය මියයන කාලය දක්වා පැවැතියේය. ඔවුන් විවාහ වූයේ මෙම ඡායාරූපය ගැනීමෙන් වසරකට පමණ පසු වන අතර 1946 වසරේදී ඔහු නාවුක හමුදා දිවියට සමුදුන්නේය. එය සතුට පළකරන හාදුවක් මිස ඊට එහා ගිය දෙයක් තමා කිසිවිටෙකත් නොසිතූ බව බිරිය පසුකලක කියා සිටියාය.

මෙම හාදුව දුන් නාවුකයා ඔහු බව හඳුනාගැනීමෙන් පසු බොහෝ තරුණියන් ඔහුට හාදු දුන් බව සිනාසෙමින් පවසන ඇය මෙසේද කියන්නීය
“ඒත් එයා මට නම් කවදාවත් ග්‍රේටාට දුන්නා වගේ හාදුවක් දීලා නැහැ.”
මෙන්ඩොන්සා මියයනතෙක්ම පැවැති විවාහ දිවියේ ගත වූ කාලය වසර හැත්තෑ දෙකකි. දියණිය හා පුතා මෙන්ම මුනුපුරන් තිදෙනෙක් හා මී මුනුපුරු, මිනිපිරියන් සිව්දෙනෙක් ඔවුන්ට විය.

ලයිෆ් සඟරාව හරියටම මේ දෙදෙනාගේ  අනන්‍යතාවය ලොවට හෙළි කළේ 1980 ගණන් තරම් මෑත කාලයකදීය. ඡායාරූප ශිල්පියෙකු ලෙස ලොව ප්‍රකට වූ පසු  ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටැඩ් විසින් තම ජීවිත කතාව අයිසන්ස්ටැඩ් ඔන් අයිසන්ස් ටැඩ් නමින් ප්‍රකාශයට පත් කරන ලද අතර කතා නායිකාව වන හෙදියද මෙම ඡායාරූපය හා එහි සිටින්නේ තමා බව දැන ගෙන තිබුණේ එම ‍පොතෙනි. අයිසන්ස්ටැඩ් එහි මෙම ඡායාරූපය විස්තර කරන්නේ මෙලෙසිනි.

‘මුලදී ඔහු පිරිස සිපගන්නවා ගත්ත ඡායාරූප මගේ හිතට ඇල්ලුවේ නැහැ. ඒ එක්කම සුදුපාට මොකක්දෝ ඔහු අල්ලගන්නවා වගේ පෙනුනා. එකපාරටම මම මැන්ඩෝසා හෙදිය සිපගන්න පින්තූරේ ගත්තා. හොඳ වෙලාවට ඇය ඇඳගෙන හිටියේ සුදුපාට නිල ඇඳුමක්. මොකද ඇය අඳුරුපාට නිල ඇඳුමක් ඇඳගෙන හිටියානම් මම ඒ පින්තූරෙ කවදාවත් ගන්නෙ නැහැ. මේක ආදරණීය හාදුවක් නමෛයි. ඒ වෙලාවෙ අධික සතුටින් හිටපු කෙනෙක් ජය සැමරුවෙ මෙහෙමයි.”

ඔහු එම අවසන් වචන කිහිපය එකතුකරන්නේ අතීතයේදී යුරෝපය පවා ප්‍රසිද්ධියේ සිප වැලඳ ගැනීම්වලට වැඩි කැමැත්තක් නොදැක් වූ කාලයක මෙම ඡායාරූපය හදිසි අවස්ථාවකදී තරුණියකට ප්‍රසිද්ධියේ අමුත්තෙකු එල්ල කළ ලිංගික ප්‍රහාරයක් බවට ඇතමෙක් පළකළ අදහස් නිසා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයට පිළිතුරු සපයන්නටය. කෙසේවුවද බහුතරයකගේ අදහස වන්නේ මෙය ලොව දැඩි ලෙස පීඩාවට පත්ව සිටි කාලයක ලැබුණුු ප්‍රීතිදායකම පුවත සැමරුනු අපූරු අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් ලෙසටය.  විසිවැනි ශතවර්ෂයේ කැමරාවට නැගුනු අපූර්ව තම ඡායාරූපයක් ලෙසද, වෘත්තීමය ඡායාරූප ශිල්පය කලාවට හැරවුනු ප්‍රබල අව ස්ථාවක් ලෙසද ඇතැමෙක් එය හඳුන්වති.

බොහෝ අවස්ථාවල ‍පෝස්ටරයක් ලෙස නිර්මාණය වූ මෙය පසුකලෙක ගුස්ටාව් ක්ලිම්ට් නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියා හාදුව නමින් සිතුවමට නැගූ අතර සුපිරි මුර්ති ශිල්පී ඔගස්ටේ රොඩින් විසින් හාදුව නමින් මුර්තියකටද නැගුවේය. මෙම යුවළ තවත් අඩි විසිපහක මූර්තියකට නැගී ඇත්තේ” කොන්දේසි විරහිතව භාරවීම” යනුවෙනි. ෆ්ලෝරීඩාවේ පිහිටි එම මූර්තියට මෙන්ඩොන්සාගේ මරණයෙන් පසු කිසිවෙකු හානි සිදුකොට තිබුණේ එය ලිංගික අතවරයක් ලෙස සලකමිනි.

මෙම ඡායාරූපය කෙතරම් කතා බහට ලක්වූවේද යත් මාධ්‍යවේදී ලෝරන්ස් වෙරියා “හාදුදෙන නාවුකයා” ලෙස මෙම ඡායාරූපය හා එහි පසුබිම් කතාව ගැන නාවුක නිලධාරී ජෝර්ජ් ගැල්ඩොරිසි සමග එක්ව ගවේෂණාත්මක ‍පොතක්ද පළකළේය. ඡායාරූපයේ සිටි හෙදිය හිට්ලර්ගේ සංහාරයෙන් බේරී ඇමෙරිකාවට පලා ආ ඔස්ට්‍රියානු හෙදියක වූ ග්‍රේටා බව හෙළිකරගත්තේද මෙම ‍පොත විසිනි. මෙහිදී මෙන්ඩොන්සාගේ අතෙහි වූ කැලල පරික්ෂාවට භාජනය කොට එහි සිටින්නේ ඔහුමදැයි දැනගැනීමට මාස තුනකටත් වැඩි කාලයක් ගත වූු බව පැවසෙයි.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.