lakbima.lk

ඉරානයට එරෙහිව ඇමෙරිකාව ගල්ෆ් කලාපයේ සීරුවෙන්

ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඉරාන විප්ලවය සිදු වූ 1979 වසරේ පටන් හිත නොහොඳතාවක් පවතී. ඉරාන විප්ලවයට පෙර පැවැති ෂා පාලන සමයේදී ඉරානය ඇමෙරිකා එක්සත් ජනපදයේ ගජ මිතුරෙකි. එම යුගයේ දී ඉරානය තුළ නොයෙකුත් ආකාරයේ මානව හිමිකම් කඩ වුවද ඇමෙරිකා එක්සත් ජනපදය නිහඬව සිටියේය. එහෙත් ඉරාන විප්ලවයෙන් පසු පත් වූ පාලනය සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇත්තේ දීර්ඝ කාලීන විරසකයකි. 
 
කෙසේ වෙතත්, ඔබාමා පාලනය සමයේදී මෙම විරසකය යම් තාක් දුරකට මධ්‍යස්ථ ස්වරූපයකට පැමිණිය ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පැමිණීමත් සමග ඉරාන ඇමෙරිකා ආතතිය විශාල වශයෙන් ඉහළ ගියේය. පසුගිය සති කිහිපය තුළදී එහි උපරිම අවස්ථාවට එළැඹෙමින් යුද නෞකා සහ හමුදා බළඇණි පර්සියානු ගල්ෆ් කලාපයේ නවතා තබන තත්ත්වයට ඇමරිකා එක්සත් ජනපදය පත් විය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සතු විශාලතම යුද ගුවන් යානා රැගෙන යන නෞකාවක් වන එ්බ‍්‍රහම් ලින්කන් නෞකාව පර්සියන් ගල්ෆ් කලාපයට මේ වන විට පැමිණ ඇත. ඊට අතිරේකව පර්සියානු ගල්ෆ් කලාපය තුළ තවත් ප‍්‍රහාරක අවි විශාල සංඛ්‍යාවක් ස්ථාන ගත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට කටයුතු කර තිබේ. 
 
 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය හමුදා ප‍්‍රධානීන් පසුගිය සතියේදී මුණගැසුණු අතර එහි දී වැඩබලන ආරක්ෂක ලේකම් පැටි‍්‍රක් ෂැනන්හන් විසින් ජනාධිපතිවරයා වෙත පර්සියානු ගල්ෆ් කලාපයේ නව ආරක්ෂක සැලැස්ම ඉදිරිපත් කෙරිණ.
 
ඒ අනුව මැද පෙරදිග කලාපය අලූ‍තින් ඇමෙරිකා යුද සෙබළුන් 12,000කට වැඩි පිරිසක් යැවීමේ සැලැස්මක් ඉදිරිපත් කෙරිණ. මෙම හමුදා භට පිරිස් යැවීම සඳහා කොන්දේසි දෙකක් පවතී. එකක් නම් දැනට පර්සියානු ගල්ෆ් කලාපයේ සිටින ඇමෙරිකා හමුදාවලට ඉරානය ප‍්‍රහාර එල්ල කිරීමයි. අනෙක නම් ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමයි. මෙම කරුණු දෙක සම්පූර්ණ වුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදය හමුදා භටයන් 12,000කට වැඩි පිරිසක් මැද පෙරදිගට යැවීමට සූදානමින් සිටී. 
 
ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පාලනයේ ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ ඉරානය සමග ආරවුලක් ඇති කර ගැනීමේ වුවමනාවයි. ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය විසඳීම සඳහා 2015 වසරේදී ලෝක බලවතුන් සමග ගිවිසුමක් අත්සන් තැබුණු අතර බැරැුක් ඔබාමා පාලනයේ ඉතා වැදගත් ම ගිවිසුමක් ලෙසින් මෙය සලකනු ලැබේ. එහෙත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු සිදු කළේ ඒක පාර්ශ්වික ලෙස මෙම ගිවිසුමෙන් ඉවත් වීමයි. 
 
ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ලබා ගනිමින් තිබෙන බුද්ධි තොරතුරු ද සම්පූර්ණයෙන් නිවැරදි යැයි සැලකීමට නොහැකිය. බුෂ් පාලනය යටතේ ඉරාකය ආක‍්‍රමණය කිරීම සඳහා 2003 වසරේ දී ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තුළ දී ඇමෙරිකා එක්සත් ජනපදයත් මහා බි‍්‍රතාන්‍යයත් භාවිත කර තිබූ බොහෝ තොරතුරු තහවුරු නොකළ ඒවාය. 
 
අවසානයේදී සදාම් හුසේන් ළඟ තිබූ යැයි කියූ කිසිදු න්‍යෂ්ටික අවියක් හෝ රසායනික අවියක් සොයා ගැනීමට නොහැකි වූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ හමුදා ඉරාකය ආක‍්‍රමණය කර ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම පමණක් සිදු විය.
 
එවැනි ඛේදවාචකයක් ඉරානය සම්බන්ධයෙන්ද සිදුවෙත්ද යන භීතිය විචාරකයන් තුළ ඇතිවෙමින් පවතී. ඉරානයට එරෙහිව එල්ල කළ හැකි සෑම ආකාරයකම පීඩනයක් එල්ල කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය යොමු වී සිටී. මේ වන විට ඉරානයට එරෙහි සම්බාධක විශාල වශයෙන් ඉහළ නංවා ඇති අතර ඉරානය තුළ දැඩි උද්ධමනයක් ඇති කිරීමට එය හේතු වී තිබේ. ඉරානය තුළ ආහාර සහ ඖෂධ වර්ග හිඟයක් ඇති වීම තුළින් එය මානුෂික අර්බුදයක් වන තරමට උග‍්‍ර වී ඇත. 
 
පසුගියදා ඉරානය නිවේදනය කළේ 2015 න්‍යෂ්ටික ගිවිසුමේ වගන්ති දෙකක් කඩ කිරීමට තම රාජ්‍යය සූදානම් බවයි. ට‍්‍රම්ප් පාලනය සඳහන් කරන්නේ මෙවැනි කි‍්‍රයා මගින් ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය කේවල් කිරීමේ සූදානමක නිරත වන බවයි. මෙම වගන්ති දෙක කඩ කිරීම සම්බන්ධයෙන් ඉරානය දින 60ක කාලයක් ලබාදී තිබේ. 
 

ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් ගිවිසුමෙන් ඉවත් වීම සඳහා කටයුතු කර ඇති බැවින් ඉරානය මෙම කොන්දේසි ඍජුව යොමු කර ඇත්තේ ගිවිසුමේ කොටස්කරුවන් වන යුරෝපීය රාජ්‍යයන් වෙතයි. එම රාජ්‍යයන් නම් මහා බි‍්‍රතාන්‍යය, ජර්මනිය සහ ප‍්‍රංශයයි. ඉරානය ඉල්ලා සිටින්නේ ඉදිරි දින 60 ඇතුළත තමන්ට එරෙහි සම්බාධකවලින් සහනයක් සලසන්නේ නැති නම් අදාළ වගන්ති දෙක ද කඩ කරන බවයි. 
 
පසුගිය සතියේදී  ඕමාන් ගල්ෆ් කලාපයේදී වාණිජ නෞකා හතරක ප‍්‍රහාරයක් එල්ල වීම කලාපය තුළ ගැටුම්කාරී මානසිකත්වය වර්ධනය කරන්නක් විය. මෙහිදී සෞදි අරාබි නෞකා දෙකකට ද හානි සිදුවිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා එල්ල කරන්නේ ඉරානයටයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඇමෙරිකා යුද විශේෂඥයන් නිවේදනය කළේ ඉරානය හෝ ඉරානයේ සහාය ලබන කණ්ඩායමක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවට සාක්ෂි ඇති බවයි. 
 
එහෙත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි කිසිවක් තවමත් ඇමෙරිකා පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරී නැත. මෙම සිද්ධිය සිදු වූයේ හෝමුස් සමුද්‍රසන්ධියේ දීය. හෝමුස් සමුද්‍ර සන්ධිය එක් පසෙකින් ඉරානයට යාබදව ඇති අතර ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් පහෙන් එකක් එම සමුද්‍ර  සන්ධිය ඔස්සේ ප‍්‍රවාහනය කෙරේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ තෙල් ලබා ගැනීම සඳහා චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයකට අවස්ථාව උදා කර දී තිබූ අතර එය ද අවසන් කිරීමට මෙම සිද්ධියෙන් පසු තීරණය කළේය.  ඇමෙරිකා එක්සත් ජනපදය මෙම තහනම ක‍්‍රියාත්මක කළද චීනය ඇමෙරිකාවට එරෙහිව කටයුතු කරනු ඇත. චීනය මෙහිදී බාටර් ක‍්‍රමයක් හෙවත් වටිනාකම සඳහා භාණ්ඩ හුවමාරු කර ගැනීම ඉරානය සමඟ සිදු කරනු ඇත. 
 
එහිදී ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් මුදල් ඒකකයක් භාවිත කරමින් චීනය ඉරානයෙන් තෙල් ලබා ගන්නා අතර ඊට සමාන වටිනාකමක් ඇති භාණ්ඩ චීනයෙන් ඉරානය වෙත අපනයනය කෙරෙනු ඇත. එහෙත් ඉරානය සමග කෙරෙන මෙම ගණුදෙනුවට එරෙහි ව චීනය වෙත විවිධ ප‍්‍රශ්න ඇති කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින අතර උදාහරණයක් ලෙස හුවාවෙයි සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරිනිය කැනඩාවේදී අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ද ඉරානය සමග ගණුදෙනුවක යෙදුණේය යන චෝදනාව යටතේය.
 
 දර්ශන අශෝක කුමාර
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.