lakbima.lk



මේ වන විට කණ්ඩායම පසුවූයේ අතිශය හුදෙකලා තත්ත්වයකයැයි කිවහොත් එය නිවැරදිය. යම් සහායක කණ්ඩායමක් වූයේ නම් ඒ නිසැක වශයෙන් තවත් මයිල සියයක්වත් එපිටිනි. එබඳු සහායක් ලැබෙන්නට නම් හෝරා ගණනාවක් බාගවිට දවස් ගණනාවක් හෝ ගතවන්නට ඉඩ තිබුණි. ඉනික්බිති ඔවුනගේ අවධානය යොමුවූයේ හැකි ඉක්මනින් දේශීය කණ්ඩායමක් සමග සබඳතා ගොඩ නගා ගැනීමය.

මන්ද යත් මේ ආගන්තුක පිටිසරබද පෙදෙසෙහි එහි මෙහි යාමක් ඊමක් ගැන ඔවුන් නොදැන සිටි බැවිනි. ඔවුන් බලා‍පොරොත්තු සහගතව පසුවූයේ ඉන් පෙර මෙහි පැමිණ සිටි  CIA  කණ්ඩායම ඊට අවැසි පසුබිම ගොඩනගා තිබුණූ බැවිනි.

දකුණු ඇෆ්ගනිස්ථානයට ද මේ වන විට සෙබළ කණ්ඩායමක් ගොඩබස්වන්නට කටයුතු යොදා තිබුණි. 3 වැනි පාබළ සේනාංකයේ 75 වැනි රේන්ජර් රෙජිමේන්තුවේ සෙබලුන් දෙසීයක පමණ පිරිසක් එහි ළඟාවන්නට නියමිත වූයේ Lockheed MC-130 යානාවකය. එය හඳුන්වනු ලැබුයේ  Operation Rhino යනුවෙනි.

 ODA 595  බළකාය අවසානයේදී ස්වදේශීය උස්බෙකිස්තානු සටන් කණ්ඩායම සමග එක් වන්නට අවස්ථාව උදා කරගත්තේය. මේ කණ්ඩායමට නායකත්වය සපයන ලද්දේ ජෙනරාල් අබ්දුල් රාෂිඩ් දොස්තෝම්ය. හිටපු කොමියුනිස්ට් ජෙනරාල්වරයෙකු වූ දොස්තෝම් එකල ත‍ලේබාන් බලයට එරෙහිව සටන් වැදුනවුන් අතර  ඉදිරියෙන්ම පසුවූවෙකි. එසේ වුවද මේ කිසිවකු පිළිබඳ වැඩි දුර විශ්වාසයක් තබන්නට හැකි නුවූයේ යැයි මුලෝලන්ඩ් පවසයි.


“මේ මිනිසුන් ගැන අප දැන හිටි දෙයක් නැහැ. මේ සියලු දෙනාම පාහේ දෙඅත්වල ‍ලේ තවරාගත් උදවිය. කිසි කෙනෙක් හොඳයි කියලා සහතිකයක් දෙන්න අපට පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ කණ්ඩායමේ හිටි බොහොමයක් දෙනා මේ කෙළවරක් නැති හටන් වලදී පැත්තෙන් පැත්තට පැන පැන හිටි අය. අනෙක් අතට ඔවුන් එක්ක කටයුතු කරද්දී වුණත් අපට පූර්ණ ආරක්ෂාවක් ලැබෙයි කියා හිතන්නට බැරි වුණා. ඒ නිසා ඉතා ඉහළ අවදානමක් තමයි අපට දරන්නට සිදුවුණේ.”


කපිතාන් මාක් නෂ් පැවැසුයේ ජෙනරාල් දොස්තෝම් සමග එක් වී ඔවුන්ගේ සැලසුම අනුව කටයුතු කරන්නට පළමුව ඔවුනට සිදු වූ බවය. මන්ද යත් භූගෝලීය පිහිටීම ගැන කිසියම්ම අවබෝධයක් ඔවුන් සතු නුවූ බැවිනි. දොස්තෝම් හා එක් වී කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් එබැවින් ඔවුන් සතු නොවීය.

ස්වදේශික සටන් කණ්ඩායම් සමග එක්වු පසු ඇමෙරිකා එක්සත් ජනපද භටයන්ට දැන ගන්නට ලැබුණේ ඔවුනට ගමන් කිරීමට සිදුවන්නේ අසුපිටින් බවය. උතුරු ඇෆ්ගනිස්ථානු කඳුකර භූගෝලීය පිහිටීම අනුව වඩාත් පහසුවෙන් සංචාරය කළ හැකි ක්‍රමය වූයේ අසුපිටින් ගමන් කිරීමයි. එහෙත් ගැටලුවක් මතුවිය. එනම් අසුන් පිට ගමන් කිරීමේ පුරුද්ද නැති වීමයි.  ච්ඒ 595 කණ්ඩායමේ අසුපිට යාමේ පුරුද්දක් හුරුවක් තිබුණේ නම් ඒ අණ දෙන්නාවූ කපිතාන්
නෂ්ට  පමණි.

ගව පාලනය මුල් කරගත් කෘෂිකාර්මික පවුලකින් පැමිණියෙකු වූ නෂ්ට අසුපිට  යාමේ මනා පළපුරුද්දක් තිබුණි. එබැවින් සෙසු සාමාජිකයන්ට අසුපිට යෑම පුහුණු කරන්නට සිදුවූයේද කපිතාන් නෂ් හටය.


සැබැවින්ම ඇමෙරිකානු යුද ඉතිහාසය තුළද ඒ හැටි මෑතකදී මේ ආකාරයේ මෙහෙයුමක් ගැන තොරතුරු දැන ගන්නට නොලැබෙයි. වාර්තාවන අන්දමට එබන්දක් අවසන් වතාවට සිදුව තිබුණේ 1942 ජනවාරියේය. ඒ එක්සත් ජනපද 26 වැනි රෙජිමේන්තුවයි. කාර්ය ඒ හැටි පහසු වූයේ නැතත් අන්තයේදී අභියෝගය භාර ගන්නට ඔවුහු සූදානම් වූයේය. එය දෙයාකාරයක අවදානමක් විය. පළමුවැන්න නම් කාත් කවුරුවත් නොදන්නා මේ ප්‍රදේශයට ඇතුළුවන පළමු ඇමෙරිකානු භට පිරිස් වන්නේ ඔවුන් වීමය.

ත‍ලේබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳ හෙළිදරව් කරගන්නට එහි ඇතුළුවන පළමු සුදු භට පිරිස ඔවුන් වීමයි. දෙවැන්න නම් මේ නුහුරු බිමේ ඔවුන්ට නුහුරු අසුපිට ගමනින් මේ ගමන යන්නට සිදුවීමයි.


“ඒත් කර්නල් (කර්නල් ජෝන් මුලෝලන්ඩ්) මේ කිසිදෙයක් අපෙන් වහන් කළේ නැහැ. ඔහු අපට කිව්වා මේ බිම ගැන කිසිම  තොරතුරක් අප කිසි කෙනෙකු නොදන්නා බව. එනිසා පළමුව යම් කිසිවකු එහි යන්නට ඕනෑ බව. ඒ කාරිය පැවරුණේ අපටයි“ කපිතාන් නෂ් අතීතය සිහි කරයි.


“කිසි කෙනෙකු බලා‍පොරොත්තු වූයේ නැහැ අපි පණ පිටින් ආපසු එයි කියලා. අපට එහිදී ත්‍රස්තවාදීන්ට හසු වීමේ ඉඩකඩ ඕනෑ හැටියේ තිබුණා. එහෙම අහු වුණා නම් විඳින්නට සිදුවෙන වදවේදනා ගැන කියන්නට වුවමනා නැහැ. ඉතින් ආපහු ඒමක් ගැන කොහොම හිතන්නද?”


එහෙත් දොස්තෝම් පවසා තිබුණේ මීට හාත්පසින්ම වෙනස් කතාන්දරයකි. පසුකලෙකදීයි එය ප්‍රසිද්ධියට පත් වූයේ. ඔහු පවසා තිබුණේ තමන්ගේ සෙබළුන් පන්සියයක් මිය ගියද එක් ඇමෙරිකානු සෙබළකුට සීරීමක් හෝ සිදු නොවන්නට වග බලා ගන්නා බවය.


 ච්ඒ 595 පිරිසට  ලැබි තිබුණු අසුන්ද බොහෝ  ජවාධික වර්ගයකට අයිති විය. හැමවිටම සටනට සූදානම් සත්ව කොට්ඨාසයක් වූ උන් ඇතැම්විට තම පිට උඩ හිඳගෙන සිටින්නා බිම දමන්නට පවා වැර ගත්තේය. ඔවුන්ගේ ගමන් මගද ඒ හැටි ලෙහෙසි පහසු එකක් නොවීය. අඩි දහසකට ආසන්න කඳු මුදුන් හා බෑවුම් හරහා ඔවුනට ගමන් කරන්නට සිදුවිය. ඇතැම් විටක රාත්‍රී අන්ධකාරයේද මේ ගමනේ යෙදෙන්නට ඔවුනට සිදුවිය. මේ ආකාරයෙන් ඔවුහු රැයද දවාලද මාරුවෙන් මාරුවට, ඇතැම්විට විවේකයක් ද ගනිමින් සති කිහිපයක් මුළුල්‍ලේ ඉදිරියට ඇදුනෝය. ඔවුන් ඉදිරියට ඇදුනේ දිනකට සැතපුම් හයත් දහ අටත් අතර වේගයකිනි.


මේ අතරවාරයේ ඔවුන්ට අත් විඳින්නට ලැබුණු අමතක නොවන ත්‍රාසජනක සිදුවීම්ද එමටය. ඇතැම්විට ඒවාට ඇමෙරිකානු සෙබළු මුහුණ දුන් ආකාරය ස්වදේශීය සහායකයන් තුළද ධෛර්යය උපදවන සුළුවිය.
එක් දිනක විශේෂ බළකා කණ්ඩායමේ ප්‍රධානියකු වූ කපිතාන් විල් සමර්ස් ගමන් කරමින් සිටියේ බෙහෙවින් ශක්තිවන්ත අශ්වයකු පිටය. එමෙන්ම ඌ ජාවාධික සත්වයකුද වූයේය.

එවේලෙහි ඔවුන් පසු කරමින් සිටියේ උස් කඳුකර ක‍පොල්ලකි. මාර්ගය වැටී තිබුණේ අක්-වක් හැඩයටය. එබැවින් සතුන්ට ද ගමන් කරන්නට  සිදුවූයේ එහි මෙහි හැරෙමිනි. එක් වනම විල් සමර්ස් ගමන් කරමින් සිටි අශ්වයා කළේ බළලෙකු මෙන් ඇකිලී පහතින් පිහිටි අනෙක් කඳුගැටය මතට පැනීමය. මේ අනපේක්ෂිත හා විශ්මය ජනක සිදුවීමෙන් සමර්ස් මදක් කැළඹී ගියේ නමුදු බලා සිටි ස්වදේශිකයන් කල්පනා කළේ ඒ සමර්ස්ගේ දස්කමක් බවය.


“මගේ සතා හිටි හැටියේම පහළ බලාගෙන හැරුණා. ඉන් පස්සේ ඌ උගේ ඇඟ හකුලා ගත්තේ හරියට
බළලෙකු වගෙයි. ඉන්පස්සෙයි එක පිම්මට ඌ කන්ද පැත්තකින් පැන්නා. මට හිතුනු විදිහට සාමාන්‍ය පිමි හතර පහක දුරකින් ඌ උගේ ඉස්සරහා අඩි දෙක බිම ගැහුවා. එසැනින්  හරියට විදුලියක වේගයෙන් ඊළඟ පිම්ම අනෙක් අතට පැන්නා. එක සැරේම මගේ මතකෙට ආවේ අසූ ගණන් වල චිත්‍රපටයක්,  The man from the Snowy River මං හිටියෙ ඒ මේ අත මාරුවෙලයි.

 

පල්ලෙහා බෑවුම අඩි දොළහක් පහළොවක් විතර. මේ පිම්මත් එක්ක මං ඉස්සර වුණා. අනෙක් නඩයට මං අල්ලා ගන්න තවත් මිනිත්තු විස්සක් විතර ගියා. ජෙනරල් දොස්තෝම් මාළඟට ඇවිත් කතාවක්බහක් නැතිව බලාගෙන  හිටියා. ඉන්පස්සෙ අශ්වයා දිහාත් ඒ විදිහටම බලාගෙන හිටියා, ඉන්පස්සෙ බැරෑරුම්  විදිහට මොනවාදෝ කිව්වා ඔහුගේ භාෂාවෙන් “විල් සමර්ස් පවසන්නේ ඒ අපූරු හා බිහිසුණුූ අත්දැකීම සිහි කරමිනි”


ඒ කුමක්දැයි විල් සමර්ස් පසුව දැනගත්තේ ඔවුන්ගේ බස් පෙරළන්නා අතිනි. ඔහු පැවැසුවේ ජෙනරාල් විල් සමර්ස් අතිශය වර්ණනාවට ලක් කළ බවය. ඔහු පවසා තිබුණේ තමන්ගේ මුළු ජීවිතයටම දුටු දක්ෂතම අසරුවා විල් සමර්ස් බවය ඒ පමණක් නොවේ, එබඳු නිර්භීත මිනිසකුද දුටු පළමු වතාව එය බවය. පසුකලෙක සමර්ස්ගේ නම ඇෆ්ගනිස්ථානයේ ප්‍රචලිත වූයේ එබිමෙහි වූ නිර්භීතම අසරුවා හැටියට ය.


ඔක්තෝබර් 21 වනදා ජෙනරල් දොස්තෝම් ඇතුළු පිරිසට සුවිශේෂී දිනයක් වූයේය. ඒ ඔවුන්ගේ මෙහෙයුමේ පළමු ප්‍රහාරය දෙන්නට සැලසුම් කළ දිනය එය වීමය. ඔවුන් දැන් දැන් සේන්දු වෙමින් සිටියේ බිෂ්කාබ්  වෙතය.  


බිෂ්කාබ් වූ කලී ඇෆ්ගනිස්ථානයේ ජනාකීර්ණ ප්‍රදේශයක් වූ නොවාසාන් ආසන්නයේ වූ ගම්මානයක් විය. එය බළකොටුවක් වශයෙන් පාවිච්චි කරන ලද රැකවල් ගම්මානයක් විය. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ මේ ගම්මානයට පහර දීමය. දොස්තෝම්ගේ කණ්ඩායම    ඒම් 47 රයිෆල, සැහැල්ලු මැෂින් තුවක්කු හා  අට් වලින් සන්නද්ධව සිටියෝය.

ඊළඟ  හෝරා කීපයේ සිදුවන්නට යන විපත ගැන ත‍ලේබාන් ත්‍රස්තවාදීන්ට  ඉඟියක් හෝ ලැබි තිබුණේ නැත.

පාලිත ජයකොඩි

  1. පතාන්වරුන් කන්‍යාසොයුරියන් දූෂණය කරද්දී ඉන්දියාව කාශ්මීරය අල්ලති
  2. ට්‍රම්ප් ඉන්දියාවට ගණන් උස්සයි
  3. ඩුබායි නගරයට බායි කියන්නට බැරි හේතුව
  4. කලාතුරකින් දකින්නට ලැබෙන ඡායාරූප
  5. ඕස්ටේ‍්‍රලියාවෙන් හමු වූ විසල් එළදෙන
  6. ලෝකයේ සුවිසල් ලවණ කැඩපත
  7. අරුම පුදුම අයිස්ක‍්‍රීම් කෙසෙල්
  8. තූර්කියේ විස්මිත උණු වතුර ළිං
  9. ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම
  10. ලෝකයේ පැහැදිලිම විල
  11. ලෝකයේ ලොකුම පුෂ්පය
  12. දියමන්ති ගුවන් යානයේ ඇත්ත කතාව
  13. මෙහෙමත් අවන්හල් !
  14. රතු ලේනුන් ගේ නොදුටු දසුන්
  15. අහසේ ගෙවන ජීවිතේ
  16. පුදුම හිතෙන කුඩ
  17. ඝානාවේ අමුතු මිනී පෙට්ටි
  18. ලොවක් වසඟ කළ විස්මිත ප්‍රතිමා
  19. පැණි රස සහ බළල්ලූ
  20. ලෝකේ ලොකුම ගෙතූ බීරළු ලේසය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.