lakbima.lk

කවදාවත් ගිහින් නැතත් ලෝකයේ අපි දන්නා රටවල් බොහොමයක් තියෙනවා. ඒවා අතරින් එකක් තමයි ඩුබායි කියන්නේ. අපේ රටෙන් ගෘහ සේවයට, රියදුරු සේවයට ආදී බොහෝ රැකියා සඳහා ගැහැනු පිරිමි යන්නට පුරුදු වෙලා තියෙන, මැදපෙරදිග අරාබි ධන කුවේරයන්ගේ භූමියක් තමයි ඩුබායි කියන්නේ. මේ ළඟදි ඩුබායි කියන රට ගැන අපේ රටේ අලුතින් කතා වෙන්න පටන් ගත්තා. ඒ පාතාල ලෝකයේ රජ කළ මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් එහි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමත් සමගයි. එයින් පස්සේ සමාජ ජාල වබේ අඩවිවල පවා ඩුබායි දේශය ගැන විවිධ කරුණු සංසරණය වන්නට පටන් ගත්තා. මේ නිසා අපිත් ඒ ගැන යමක් කතා කරන එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා.

ඩුබායි ගැන කතා වෙන විදියට ඇතැමෙකුට සිතෙන්නට පුළුවන් මේක රටක්ද කියලා. ඇත්තටම ඩුබායි කියන්නේ රටක් ‍නෙවෙයි. මැද පෙරදිග තියෙන ධනවත් රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වඩාත්ම ජනාකීර්ණ සහ විශාලතම නගරය වන්නේ මෙයයි. එමිරේට්ස්වරුන්ගෙන් සැදුම් ලත් පාලන කලාප සතේ අග නගරය බවට පත්ව ඇත්තේද මේ නගරයයි. ඩුබායි කියන්නේ ගෝලීය වශයෙන් වැදගත් නගරයක්.

ඒ වගේම මැද පෙරදිග කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන්නේද මේ නගරයයි. මේ කලාපය පුරා පැතිරී ඇති තෙල් සම්පත්වලින් ලැබෙන ධනස්කන්ධය නිසා මේ නගරය ධන කුවේරයන්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඉන්දු නිම්න සහ මෙස‍පොතේමියානු ශිෂ්ටාචාර දක්වා මේ නගරයේ ඉතිහාසය අතීතයට දිව යන බව සඳහන් වෙනවා.

සංචාරක පුරවරයක්

තෙල් හැරුණු කොට ඩුබායි නගරයට ආදායම් ලබා දෙන මාර්ග ගණනාවක්ම තියෙනවා. එයින් ප්‍රධානතම දෙයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. මැදපෙරදිග දැඩි උණුසුම් කලාපයක මෙය පිහිටා තිබුණත්, මහත් ධනස්කන්ධයක් වැය කොට මේ නගරය සංචාරකයන්ට ගැළපෙන ආකාරයට සකස් කරන්නට නගර සැලසුම් ශිල්පීන් සමත් වී තිබෙනවා. ලෝකයේ උසම ගොඩනැගිල්ල වන 'බර්ජ් කලිෆා' පිහිටා තිබෙන්නේ ඩුබායි නගරයේ. මෙය සංචාරකයන් ආකාර්ෂණය වන ප්‍රධානතම ස්ථානයක්.

ලෝකයේ සුඛෝපභෝගීතම හෝටලය පිහිටා ඇත්තේද ඩුබායි නගරයේ බව පැවැසෙනවා. එය නමින් 'බර්ජ් අල් අරාබ්'. ලොව ඇති එකම තරු හතේ හෝටලය මෙයයි. එහි ඇති දැවැන්ත මින් මැදුරද සංචාරකයන්ගේ සිත් ගත් එක් අංගයක්.

ලාබෙට බඩු

ධන කුවේරයන්ගේ නගරයක් වුවත් ඩුබායි නගරය ප්‍රසිද්ධියට පත්ව ඇති තවත් කාරණයක් තමයි ලෝකයේ මිල අධික යැයි ප්‍රකට ඇතැම් දේවල් ලාබයට, මිලට ගන්නට ඇති හැකියාව. ලෝකයේ අධික මිලට ඇති සුවඳ විලවුන්, ඉලෙක්ටේ‍රානික් භාණ්ඩ, චොක්ලට්, රටඉඳි, වියළන ලද පලතුරු, ඇඳුම් පැලඳුම්, රසකැවිලි, බුමුතුරුණු ආදිය බොහෝ අඩු මිලට ඩුබායි නගරයෙන් මිලට ගන්නට පුළුවන්.

මේ සියල්ලටම වඩා ඩුබායි ප්‍රසිද්ධියට පත්ව ඇති තවත් දෙයක් තමයි රත්රන්. තෙල් හැරුණු විට ඩුබායි වැඩි වශයෙන්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේද රත්රන්වලටයි. මේ නිසාම මේ නගරය 'රන් පුරය' නමින් හඳුන්වනවා. මෙහි රන් මිල ඉතා අඩු මට්ටමක පවතිනවා සේම ඕනෑම මොහොතක මේ නගරය තුළින් රත්රන් ටොන් 10 කට වඩා පහසුවෙන්ම ලබා ගන්නට හැකියාව තිබෙන බවද පැවැසෙනවා.

කෘත්‍රිමව ගොඩ නගා ඇති 'පාම් දූපත' හෙවත් 'පාම් අයිලන්ඩ්' ද තවත් සංචාරක ස්ථානයක්. එය පාම් ගෙඩියක් හැඩයට නිම කොට තිබෙනවා.


'බර්ජ් කලිෆා' ගොඩනැගිල්ලට යාබදව ඇති, සංචාරකයන් ආකර්ෂණය කරගන්නට සමත් තවත් ස්ථානයක් තමයි 'ඩුබායි මෝල්' මධ්‍යස්ථානය. එය ප්‍රසිද්ධව ඇත්තේ සාප්පු සවාරි යන්නන්ගේ පාරාදීසය ලෙසයි. සාප්පු 1200 කටත් වඩා පිහිටා ඇති මෙහි ඇති අවන්හල් ප්‍රමාණය

150ක් පමණ වෙනවා. මෙහි ඇති සියල්ල දැක බලා ගන්නට එක් දිනයක් ප්‍රමාණවත් නොවන බවයි පැවැසෙන්නේ. එහි ඇති දැවැන්ත දිය ඇල්ල සහ දිය යට ඇති සත්වෝද්‍යානයද සංචාරකයන් විස්මයට පත් කරවන්නට සමත්.
මීට අමතරව ඩුබායි ඇති කෘත්‍රිම දිය උල්පත, කයිට්ස් වෙරළ, කාන්තාර, ඩුබායි ඇළ මාර්ගය ආදියද සංචාරකයන්ගේ සිත් ගත් තැන් කිහිපයක්.

අප මුලින්ම සඳහන් කළ ප්‍රවෘත්තියේ කතා නායකයා ආරක්ෂක අංශ අතට හසුවී තිබුණේ ඔහු විසින් සිය අනියම් බිරිඳගේ පුත් වෙනුවෙන් සංවිධානය කළ උපන් දින සාදයකදීයි. එය පවත්වා තිබුණේ ඩුබායිහි ඇති තවත් තරු පංතියේ හෝටලයකයි. ලොව ඇති එකම තරු හතේ හෝටලය හැරුණු විට මෙම නගරයේ ඇති හෝටල් සංඛ්‍යාව 511 කට අධික බව පැවැසෙනවා. හෝටල් කාමර සංඛ්‍යාව 88,000 කට අධිකයි.

කොහොම වුණත් ඩුබායි නගරයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,114 ක් පමණයි. මේ හා සමාන සංඛ්‍යාවක් ප්‍රධාන පෙළේ හෝටල් සහිත නගර කිහිපයක්ම ලෝකයේ තිබෙනවා. නමුත් මේ හැම නගරයක්ම භූමි ප්‍රමාණය අතින් මෙයට වඩා දෙගුණයකටත් වැඩියි. අඩු භූමි ප්‍රදේශයක් තුළ මේ තරම් සංචාරක හෝටල් සංඛ්‍යාවක් පැවැතීමද මෙය සංචාරක මධ්‍යස්ථානයක් වන්නට තවත් හේතුවක් වී තිබෙනවා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.