lakbima.lk

දශක ගණනාවක් ඉන්දියාව පාලනය කළ ගාන්ධි පරම්පරාව ලංකාවේ ජනපති අගමැතිවරු සමග පවත්වාගෙන ගියේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවකට වඩා එහා ගිය පෞද්ගලික සබඳතාවකි. ඉන්දියාවේ මුල්ම අගමැතිවරයා වූ ශ්‍රී ජවහර්ලාල්  නේරුගෙන්  ඇරඹුණු එම සබඳතාව වැඩියෙන් ම තිබුණේ බණ්ඩාරනායක පවුල සමගය.

ඉන්දිරා ගාන්ධි, කච්චතිව් දූපත මැතිනියගේ කාලයේදී ලංකාවට පවරා දුන්නේ එම සබඳතාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ජේ. ආර්. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේදී එය නොකරන්නැයි ඉන්දිරා ගාන්ධි පෞද්ගලිකවම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් ය. 

එසේ ලංකාව සමග සමීපව හුන් ගාන්ධිවරුන්ට ඉතිහාසයේ කිසිදු දිනෙක නොවුණු ලෙස මෙවර මැතිවරණයේදී අත්වූයේ දැවැන්ත පරාජයකි. අනෙක් අතට ගාන්ධි පවුලට මෙවර මැතිවරණයෙන් එලෙස යන එන මං නැතිවූයේ, නේරු අගමැතිවරයාගේ  අභාවයෙන් හරියටම වසර පනස් පහක් ගතවෙද්දී ය. ගාන්ධිවරුන්ට එසේ වීමට  හේතුව  පිළිබඳව විග්‍රහ කරන මේ ‍ලේඛකයාට ඉන්දියාව සමඟ ඇත්තේ ද දිගු සබඳතාවකි. 

එදා කච්චතිව් දූපත ලංකාවට පවරා දෙන මොහොතේ ඒ පිළිබඳව ඉන්දියාවේ සිට සජීවී ගුවන්විදුලි විස්තර ප්‍රචාරයක් කළේ, ඇස්. පියසේන ය. පසු කලක ඔහු චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් විය. සුගීස්වර සේනාධීර ඔහුගේ පුත්‍රයා ය. පසුකලෙක විදේශ සේවාවට එක්වූ සුගීස්වර සේනාධීර ඔස්ලෝවෙහි හිටපු  කොන්සල් ජෙනරාල්වරයෙකි.

එමෙන් ම පැරීසියේ සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලවල අමාත්‍ය උපදේශකවරයා ලෙසද ඔහු කටයුතු කර ඇත්තේ ය. මතු දැක්වෙන්නේ, ඉන්දීය මැතිවරණයෙන් ගාන්ධිවරුන්ට අත්වූ ඉරණම ගැන සුගීස්වර සේනාධීරගේ විග්‍රහය ය.

එක්දහස් නවසිය හතළිස් හතේ අගෝස්තු පහළොස් වන දින ඉන්දියාව නිදහස ලැබූ පසුව  අග්‍රාමාත්‍ය පදවිය සම්බන්ධයෙන්  කිසිදු විවාදයක්  පැන  නොනැඟුණේ,  මහත්මා  ගාන්ධිතුමාගේ අනුගාමිත්වය සම්පූර්ණයෙන් ම හිමි වූ ශ්‍රී ජවහර්ලාල් නේරු කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට පත්වූ බැවිනි.


ඉන්දියානු ජාතික සටන මෙහෙය වූ කොංග්‍රස් පක්ෂය, දේශපාලන පක්ෂයක් බවට පත්වූ පසුව ඊට තරගයක් දීමට කිසිදු විරුද්ධ පක්ෂයක් ඉන්දියාවේ  නොවී ය. මේ තත්ත්වය යටතේ නේරුගේ නායකත්වයෙන් යුතු කොංග්‍රස් පක්ෂය  පළමු මැතිවරණ තුනෙන්ම ඉතා පහසු මැතිවරණ ජය ලබන්නට සමත් විය.

ඒ කාලවකවානුවත් සමගම නේරු පවු‍ලේ නායකත්වය ඉන්දියානු නායකත්වය යි යන සංකල්පයක් ඉන්දියාව පුරා ජනිත වූයේ නිරායාසයෙනි. නිදහස ලැබිමට පෙර නේරුට පක්ෂය තුළින් වූ ප්‍රධාන අභියෝගය වූයේ, “නේතාජි” යන විරුදාවලි ලත් සුභාෂ් චන්ද්‍ර බෝස් ය.

එහෙත්  දෙවන  ලෝක යුද්ධයේදී  ජපන්  හමුදාවට  එක්වී  නිදහස් ඉන්දියානු හමුදාවක් පිහිටු වූ බෝස්, යුද්ධය අවසානයේ ගුවන් අනතුරකින් මිය යාමත් සමඟ කොංග්‍රස් නායකත්වය සඳහා කිසිදු තරගයක් එල්ල වූයේ නැත. ප්‍රථම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වූ, වල්ලභායි පටෙල්, ජනප්‍රිය නායකයෙකු වුවද එක්දහස් නවසිය පනස් දෙකේදී ඔහු ද අභාවයට පත් වූයේය.


එක්දහස් නවසිය හැටහතරේ ශ්‍රී ජවහර්ලාල් නේරු මිය ගිය පසු, අගමැති ‍පොරයට ඔහුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි ඉදිරිපත් වූයේ නැත. ඒ අනුව ලාල් බහදුර් ශාස්ත්‍රි අගමැති වූ අතර ඉන්දිරා  ගාන්ධි  එම  රජයේ  ප්‍රවෘත්ති හා  ගුවන්විදුලි ඇමැති බවට පත්විය. දෙවසරකට පසු, ශාස්ත්‍රි රුසියාවේ ඩස්කන් නුවරදී අභාවයට පත්වීමත් සමග ඉන්දිරා ගාන්ධි එක්දහස් නවසිය හැටහයේ ජනවාරි විසිතුන් වෙනිදා අගමැති පදවියට පත්විය.

එදා පටන් එක්දහස් නවසිය හැත්තෑ හතේ මැතිවරණ පරාජය දක්වා ඇය ඉන්දියාව පුරා සිය අණසක මෙහෙයවමින් දැඩි පාලනයක් ගෙන ගියා ය. එක්දහස් නවසිය හැත්තෑ හතරේදී හදිසි නීතිය පැනවීමෙන් ලත් අපකීර්තිය නිසා, එක්දහස් නවසිය හැත්තෑ හතේ මැතිවරණයෙන් කොංග්‍රසය පරාජයට පත්වූ නමුත්, එක්දහස් නවසිය අසූවේදී යළි අගමැති පදවියට පත්වීමට ඉන්දිරා ගාන්ධි යළි සමත් වූවාය.


ගාන්ධි මහත්මිය තමන්ට පසු නායකත්වය සඳහා පුහුණු කිරීමට තෝරා ගත්තේ, සිය බාල පුත්‍රයා වූ සංජේ ගාන්ධි ය. ඇයගේ වැඩිමහල් පුත් රජීව් ගාන්ධි දේශපාලනය කෙරෙහි දැඩි අකමැත්තක් දැක්වීම ඊට හේතුව විය. එහෙත් එක්දහස් නවසිය අසූ තුනේදී සංජේ ගාන්ධි ගුවන් අනතුරකින් මිය යාමත් සමගින් අකමැත්තෙන්  වුව දේශපාලන පිටියට පා තබන්නට රජීව් ගාන්ධිට සිදුවෙන්නේ ය.

පසුව  එක්දහස්  නවසිය අසූ හතරේ ඔක්තෝබර් තිස් එක් වැනිදා, ඉන්දිරා ගාන්ධි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු වූ පසුව, අගමැති පදවිය හිමිවූයේ රජීව් ගාන්ධිටය.


කෙසේ වතුදු ඊළඟ මැතිවරණයෙන් පහසු ජයක් අත්පත් කැර ගත් ඔහු, ඊට පස්වසරකට පසු පරාජයට පත්වූයේ, ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ය. ඒ අනුව කොංග්‍රසයට බලය අහිමි වුව ද, රජීව් ගාන්ධි එල්.ටී.ටී.ඊ. බෝම්බකාරිනියකගේ ගොදුරක් වූයේ,  එක්දහස් නවසිය අනූ එකේදී කොංග්‍රසය යළි බලයට එන්නට ඔන්න මෙන්න කියා තිබියදී ය.

එබැවින් කොංග්‍රස් පක්ෂයේ නරසිම්හ රාඕ ට අගමැති ධුරය හිමි විය. එහෙත් කොංග්‍රසයේ නායිකාව ලෙස තිරයෙන් පිටුපස සිට රාජ්‍ය පාලනය ගෙන ගියේ රජීව්ගේ බිරිය වූ සෝනියා ගාන්ධිය. පසුව මන්මෝහන් සිං අගමැති  වූ  කාලයේදී ද රාජ්‍ය බලය බොහෝ දුරට මෙහෙය වූයේ, සෝනියා යි.


එසේ පැවැති කොංග්‍රසයේ නේරු-ගාන්ධි පවු‍ලේ ආධිපත්‍යය මුළුමනින් කඩාවැටුණේ දෙදහස් දහහතරේදී නරේන්ද්‍ර මෝදි ආගමනයත් සමගිනි. ගත වූ පස් වසර තුළ කොංග්‍රස් පක්ෂය නඟා සිටුවීමට සෝනියාත්, ඇයගේ පුත් පසුගියදා කොංග්‍රසයේ සභාපතිත්වයට පත් රාහුල් ගාන්ධිත්, ඔහුගේ සොහොයුරිය ප්‍රියංකාත්, දැඩි ප්‍රයත්න දැරූ නමුදු, මෝදිගේ ආකර්ෂණය සහ ඔහුගේ හින්දූත්ව සංකල්පය බහුතරය වන ඉන්දියානු හින්දු භක්තිකයන්ගේ සිත් තුළට තදින් කාවැදී තිබිණි.

මෝදි ගේ මේ ආකර්ෂණය බිඳ හෙළීමට තරුණ නායක රාහුල් ගාන්ධිට හැකියාවක් නොවුණේ කොංග්‍රස් පක්ෂය දිගින් දිගටම ආගමකට නැඹුරු නොවී, මුස්ලිම් හා සෙසු සුළු ජනකොටස්වලද සහය කෙරෙහි දැඩි අවධානයක් දැක්වූ ප්‍රතිපත්තියකට නැඹුරු වී සිටි හෙයිනි.

මෑතකදී ඉන්දියානු ‍පොලිස් භටයන් සියගණනක් මරණයට පත් කරමින්  බුල්වාරාහිදී එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා හින්දුවරු වැඩි වැඩියෙන් මෝදි හා ඔහුගේ සන්ධානය වටා එක්රැස් වන්නට වූහ. ලෝක්සභා මැතිවරණය පැවැති කාලය තුළදීම ශ්‍රී ලංකාවේ සිදුවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ද මෝදි ගේ දේශපාලන වාතාවරණයට වාසි ගෙන  දුන්නේ ය.


මැතිවරණයට පෙර නිරීක්ෂකයන් පැවැසූයේ, මෝදි ජය ගන්නා නමුත් භාරතීය ජනතා පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක්  මෙවර නොලැබෙන බවකි.  එහෙත්  අවසන්  දින  කිහිපයේදී ඡන්දදායකයන් තුළ විශාල පෙරළියක් වූ බව මෝදිගේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පැහැදිලි විය. ඉන්දියාවේ දශක ගණනාවක් පැවැති නේරු - ගාන්ධි පවුල් පදනම දෙදරා ගොස් තිබෙන බැව් දැන් පැහැදිලිය. 

එහෙත් එය  මුළුමනින් ම  කිව නොහැකි ය. රාහුල් ගාන්ධි කොංග්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් භාර දුන් ලිපිය, කොංග්‍රස් නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද්දේ, ගාන්ධි  නාමය පක්ෂයට  තවදුරටත් ජනතා ආකර්ෂණය සඳහා අත්‍යවශ්‍ය බව පිළිබිඹු කරමිනි.


රාහුල් ගාන්ධි උත්තර ප්‍රදේශයේ සිය ආසනයෙන් ද පරාජයට පත්වූ නිසා පාර්ලිමේන්තුවේ කොංග්‍රස් ගාන්ධිවරයෙක් අද නැති නමුත්, පාලක භාරතීය ජනතා පක්ෂය තුළ නේරු - ගාන්ධි පවු‍ලේ සංකේත දෙකක් තවමත් ඉතිරිව ඇත. ඒ, ඉන්දිරාගේ බාල පුත් සංජේගේ බිරිඳ වූ මනෙකා ගාන්ධි හා ඇගේ පුත් වරුන් ගාන්ධි ය. ඔවුන් දෙදෙනාම උත්තර ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට  තේරී  පත්වූහ. 

රාහුල්  හා  ප්‍රියංකා  සිය  පවුලෙන් කැඩී ගිය මනෙකා නැන්දණියගේ පුත් වන වරුන් ගාන්ධි සමඟ සමීප ඥාති සබඳතාවක් පවත්වා නොගත් නමුත් ඔවුන් පවු‍ලේ විශේෂිත අවස්ථාවලදී හමුවන බව නොරහසකි.

එබැවින් ගුජරාටයේ දිළිඳු පවුලකින් පැමිණි මෝදිගේ ආකර්ෂණීය නායකත්වය නිසා කාශ්මීරයේ ප්‍රබල බ්‍රාහ්මණ පවුලකට අයත් නේරු - ගාන්ධි පෙළපතේ බලය සිඳී ගිය නමුදු එය සම්පූර්ණයෙන් නැති වූයේද යන්න විසඳෙන්නේ අනාගතය සමගිනි.


සාකච්ඡා කළේ - ගයාත්‍රි ගීගනආරච්චි

  1. ලෝකයටම එකක් ලෙස බිහි වූ අපූරු නිවුන් දරුවෝ
  2. ලොව වියපත්ම තැනැත්තා ජපානයේ කාන්තාවක්
  3. පැයට කි. මී. 400ක දුම්රිය ධාවන පරීක්ෂාවට
  4. ජීවිත ආසාව අතහැර පළමු ප්‍රහාරයට පිටත් වෙයි
  5. පතාන්වරුන් කන්‍යාසොයුරියන් දූෂණය කරද්දී ඉන්දියාව කාශ්මීරය අල්ලති
  6. ට්‍රම්ප් ඉන්දියාවට ගණන් උස්සයි
  7. ඩුබායි නගරයට බායි කියන්නට බැරි හේතුව
  8. කලාතුරකින් දකින්නට ලැබෙන ඡායාරූප
  9. ඕස්ටේ‍්‍රලියාවෙන් හමු වූ විසල් එළදෙන
  10. ලෝකයේ සුවිසල් ලවණ කැඩපත
  11. අරුම පුදුම අයිස්ක‍්‍රීම් කෙසෙල්
  12. තූර්කියේ විස්මිත උණු වතුර ළිං
  13. ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම
  14. ලෝකයේ පැහැදිලිම විල
  15. ලෝකයේ ලොකුම පුෂ්පය
  16. දියමන්ති ගුවන් යානයේ ඇත්ත කතාව
  17. මෙහෙමත් අවන්හල් !
  18. රතු ලේනුන් ගේ නොදුටු දසුන්
  19. අහසේ ගෙවන ජීවිතේ
  20. පුදුම හිතෙන කුඩ
  21. ඝානාවේ අමුතු මිනී පෙට්ටි
  22. ලොවක් වසඟ කළ විස්මිත ප්‍රතිමා
  23. පැණි රස සහ බළල්ලූ
  24. ලෝකේ ලොකුම ගෙතූ බීරළු ලේසය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.