lakbima.lk

1947 ඔක්තෝබර් 24 දින ශ්‍රී නගර්හි කාශ්මීර මහරාජාගේ මාලිගය සරසා තිබුණේ, හින්දු සම්ප්‍රදාය අනුව වසරක් පාසා පැවැත්වෙන උත්සව මාලාවක අවසන් උත්සවය වෙනුවෙනි.

එදින උත්සවය අවසන් කෙරුණේ රැස්ව සිටි ප්‍රාන්ත පාලකයන් සිය අවනතභාවය පළ කරමින් සේද සළුවක එතූ රන් කැබැල්ලක් බැගින් මහරාජාට පිළිගන්වමිනි. ඉන්දියාව ඉංග්‍රීසි පාලකයන් වෙතින් නිදහස ලැබිමෙන් ඉකිබිතිවද සිහසුනේ වැජඹෙන්නට සමත් තිදෙනාගෙන් එක් අයෙකි, මේ කාශ්මීර මහරාජා. 

කාශ්මීර මහරාජාගේ උත්සවය පැවැති ඩුර්බාර් ශාලාවේ ඉහත කී උත්සවය පැවැත්වෙන අතරේ, ශ්‍රී නගර්වලට  සැතපුම් 50 ක් නැගෙනහිරින් ජේලාම් ගං තීරය අසබඩ යන්තේ‍රා්පකරණවලින් පිරී තිබුණු ගොඩනැගිල්ලක් කරා ඒ රාත්‍රියේ එක්තරා කණ්ඩායමක් ළඟා වූහ.

ඉන් එක් අයෙක් ඩයිනමයිට් කූරු මිටියක් ගොඩගැගිල්‍ලේ මනු සවිකර තිබූ පුවරුවකට සවි කර සේව නූල දැල්විය. තත්පර 10 ක් ගත වූ සැණින් කන් අඩි පුපුරවන තරම් ශබ්දයක් නිකුත් කරමින් මහුරාහි විද්‍යුත් බලාගාරය පුපුරා ගියේ පාකිස්තාන් දේශ සීමාවේ සිට ලඩාක්හි චීන දේශ සීමාව දක්වා ප්‍රදේශයම අඳුරේ ගිල්වමිනි.

කාශ්මීර මහරාජාගේ ආගන්තුක සත්කාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ මුළු නගරයම අඳුරේ ගීලී ගියේ මන්දැයි විමසිලිමත් වූහ. මසකට පවුම් 30 කින් පමණ රාජකීය ජීවිතයක් ගෙවිය හැකි ඉසුරුබර පුරවරය තවදුරටත් තමන්ට පාරාදීසයක් නොවනු ඇත යන්න විශ්‍රාම සුව විඳින බ්‍රිතාන්‍යයෝ තුන් සිතකින්වත් නොසිතූහ. 

මේ අන්ධකාර රාත්‍රියේ මහරාජාගේ නිදහස් රාජ්‍යය සිහිනය කඩා බිඳ දැමීමේ අරමුණින් කුප්පවන ලද  පතාන් ගෝත්‍රිකයෝ සිය ගණනක් ඉකුත් පැය 48 තිස්සේ ශ්‍රී නගර් වෙත ඇදෙමින් සිටියහ. තමන්ට ආරක්ෂාව සඳහා මහරාජා විසින් පුහුණු කර සිටි පෞද්ගලික හමුදා භටයෝ එක්කෝ සතුරු පිල සමග අත්වැල් බැඳ සිටියහ. නැතිනම් හිමාල කැලෑවලට පැනගෙන සිටියහ.

මේ ප්‍රහාරයට දෙමසකට පෙර, එනම් අගෝස්තු 24 වැනිදා මොහොමඩ් අලි ජින්නා බ්‍රිතාන්‍ය යුද ‍ලේකම්වරයාගෙන් අහිංසක ඉල්ලීමක් කර තිබුණි. එනම් දැඩි කාර්ය බහුලකම හේතුවෙන් තමා පෙළුෑ රෝගය උත්සන්න වී ඇති නිසා, කාශ්මීරයේ දෙසතියක පමණ විවේකයක් ගත කිරීමට කටයුතු යොදන ලෙසට ඔහු ඉල්ලීම් කර තිබුණි.

ජනගහනයෙන් හතරෙන් තුනක් මුස්ලිම් වැසියන් වූ කාශ්මීරයේ මොහොමඩ් අලි ජින්නාට නිවාඩුවක් ගැනීමට කාගෙන් තහනමක්දැයි ඔවුන් සිතන්නට ඇත. දින පහකින් පසු ජින්නාගේ ‍ලේකම් ආපසු ආවේ මවිතයට පත් කරවන සුලු ප්‍රතිචාරයක් ඇතිවය.

සංචාරයක් ගත කිරීමටවත් මොහොමඩ් අලි ජින්නාට පාකිස්තානයට පය තැබිමට ඉඩ නොදීමට කාශ්මීර මහරාජා හරි සිං තීරණය කර ඇතැයි ඔහු දැන්විය. බලා‍පොරොත්තු නොවූ මේ ප්‍රතිචාරයෙන් පැය 48 ගත වීමට මත්තෙන්, මහරාජාගේ නියම අරමුණ කුමක්දැයි සොයා බලන ලෙස රහස් ඔත්තුකරුවකු කාශ්මීරයට පිටත් කර යැවිණි. ඉන් ලද තොරතුරුවල හැටියට සිය රාජ්‍යය පාකිස්තානයට ඈඳා දීමේ කිසිදු අදහසක් මහරාජා තුළ නැතැයි මොහොමඩ් අලි ජින්නා දැන ගත්තේය. ඉන්පසු රහස් සාකච්ඡාවක් සඳහා ලිකාර්ට් අලිඛාන්, තෝරාගත් නායකයන් පිරිසක් ලාහෝර් නුවරට කැඳවූහ.

කාශ්මීරය කෙළින්ම ආක්‍රමණය කිරීම ඉන්දියාව සමග යුද වැදීමක් බවත් ඒ සඳහා ප්‍රමාණවත් හමුදා ශක්තිය කරා පාකිස්තානය තවමත් ළඟා වී නැති බවත් මේ පිරිස දැන සිටියහ. ඒ හින්දා කාශ්මීරය අල්ලා ගත හැකි විකල්ප ක්‍රමෝපායන් ගැන ඔවුහු විමසිලිමත් වූහ.

විකල්පය වූයේ පකිස්තානයේ බටහිර සීමාව අසල ජන කණ්ඩායම් වශයෙන් ජීවත් වූ කරදරකාරී, බියකරු ජන කණ්ඩායමක් වූ පතාන්වරුන් ලවා ශ්‍රී නගර් ආක්‍රමණය කරවීමයි, 
ඉන් තෙදිනකට පසු ලිහිල් ලෝගුවලින් සැරසුණු, රැවුල් වවාගත් පතාන් ගෝත්‍රික නායකයෝ සුවඳ කැවූ තේ බොමින් ‘හුකාව‘ උරමින් පේෂාවර්හි පැරණි ගොඩනැගිල්ලක, සිය රැස්වීම් වට පැවැත්වූහ. මේජර් කුර්ෂිඩ් අන්වර් සිය ඉලක්කය කරා ගෝත්‍රිකයන් කුප්ප වීම පිණිස කතා කළේය.

‘මේ මොහොතේ යමක් නොකළහොත් කාශ්මීරය ඉන්දීය ප්‍රාන්තයක් වනු ඇති බවත්, මිලියන ගණනක් වූ මුස්ලිම් සහෝදරවරු හින්දු පාලනයට යටත් වනු ඇති’ බවත් ඔහු පතාන්වරුන්ට පැවැසීය. මෙම දේශමාමක අරමුණට වඩා පතාන්වරුන්ට වෙනත් උත්තේජනයක් තිබිණි. එනම් මංකොල්ල කෑමට දුන් අවසරයයි.

පැය කිහිපයක් යාමට මත්තෙන්, කයිබර් දුර්ගයේ මැටි තාප්පවලින් වටවූ ගෙමිදුල්වල, දාමරික තිප්‍පොළවල්වල, ගබඩාවල, හා රහස් ගුහා තුළ ජිහාඩ් හෙවත් චිරාගත ඉස්ලාමීය ශුද්ධ වූ සංග්‍රාමයේ පුවත පැතිර ගියේය. කාශ්මීර සහෝදරවරුන් ගලවා ගැනීම වෙනුවෙන් පතාන්වරු ආයුධ හා ආහාර රැස්කර ගත්හ.

මේ අතර, ‘අල්ලාහ් අක්බර්’ කියමින් කෑගසන පතාන් ගෝත්‍රිකයන් සිය ගණනින් පුරවා ගත් ට්‍රක් රථ පෙෂාවර් හරහා ගමන් කරන බැවින් කුමක් හෝ අමුතු යමක් සිදුවන බව තමන්ට වැටහෙන්නේ යැයි පාකිස්තාන් දේශසීමා පෙරමුණු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ශ්‍රීමත් ජෝර්ජ් කනින්හැම්, පාකිස්තාන හමුදාවේ අණදෙන නිලධාරී ශ්‍රීමත් ෆ්‍රෑන්ක් මෙසර්විට දුරකතන ඇමතුමක් දුන්නේය. මෙම දුරකතන ඇමතුම ලැබෙන විට මෙසර්වි සිටියේ ලන්ඩනයේ විදේශ චාරිකාවක නිරතවය. කාශ්මීරයේ ගේ‍රා්තික හමුදා ආක්‍රමණය සිදුවන විට සිය හමුදාවේ අණදෙන නිලධාරියා පකිස්තානයෙන් සැතපුම් 6000ක් දුරින් ලන්ඩනයේ සිටින ලෙසට පකිස්තාන රජය කටයුතු සලසා තිබිණි.

තීරණාත්මක එක්තරා රැයක ෆෝඩ් ස්ටේෂන් වැගන් රථය ජේලාම් පාලමට යාර සියයක් පමණ දුරින් විදුලි පහන් නිවා නතර කෙරිණි. ඊට පසුපසින් ඇදී ආ ට්‍රක්රථ පෙළක්ද අන්ධකාරයේ නතර කෙරිණි. රථය තුළ සිටි මුස්ලිම් ලීගයේ කොළ කමිස කණ්ඩායමේ නායකයා සයිරබ් බෂාන් ඛාන් නොසන්සුන් ලෙස පාලමේ එහා කෙළවර දෙස නෙත් යොමා සිටියේය. ඔහු බලා සිටියේ හරි සිංගේ හමුදාවේ සිටි කැරලිකාර මුස්ලිම් භටයින් තම හින්දු නායකයන් මරා දමා ශ්‍රී නගර් සම්බන්ධ කරන දුරකතන මාර්ගය බිඳ දමා අලෝක වෙඩිල්ලක් දල්වා සංඥාව ලබා දෙන තෙක්ය.

එක්වරම ගිනිබෝලයක් ආරුක්කු හැඩයක් මවමින් රාත්‍රි අහස සිසාරා ගියේය. ඉන් ප්‍රමෝදයට පත් පතාන්වරුන් රැගත් රථ පෙළ, පාලම මතින් ධාවනය කෙරුණේ, සැතපුම් 135ක් දිග ශ්‍රී නගර් දක්වා දිවෙන ගල් ඇල්ලූ මාර්ගය ඔස්සේ බාධාවකින් තොරව සිය ඉලක්කය කරා යාමටය. එහෙත් වැරදීමක් සිදුව ඇති බව සයිරබ් ඛාන්ට වැටහුණේ, පතාන් හමුදාව අතුරුදන් වී ඇති බව දුටු විටය. සිය මුස්ලිම් සොයුරන් මුදවා ගැනීම අමතක කළ පතාන් ගෝත්‍රික හමුදාව, තමන්ට පුරුදු මංකොල්ල කෑමට බැස සිටියහ.

හින්දුන්ගේ කඩ සාප්පු හා ගෙවල් දොරවල් මංකොල්ල කෑමට අමතරව එදින ඔවුන් කරගත හැකිව තිබුණු එකම දෙය නම් ජේලාම් පාලම අත්පත් කර ගැනීම පමණි.

කාශ්මීරයේ මේ ගෝත්‍රික ආක්‍රමණය පිළිබඳ ඉන්දියාවට ආරංචිය ලැබුණේ. ජේලාම් පාලම අත්පත් කරගෙන පැය 48 කටත් පසුවය. ඉන්දියාව හා පකිස්තානය අතර යුද්ධයක් ඇතිවීම වැළැක්විමට, මෙසර්වි වෙනුවට වැඩ බැලීමට පත්කර සිටි මේජර් ජෙනරාල් ඩග්ලස් ග්‍රේසි පතාන් ආක්‍රමණය පිළිබඳවත්, ඔවුන්ගේ ප්‍රමාණය, අවි ආයුධ, හා ඔවුන් සිටින ස්ථාන පිළිබඳ රහස් වාර්තාවක් කැඳවිය. ඔහු මෙම  ආක්‍රමණය නැවැත්විය හැකිව සිටි එකම තැනැත්තා වන ඉන්දියන් හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා හට මේ තොරතුරු සැපයීය.

ග්‍රේසිගේ පාසල් මිතුරකු වූ රොබට් ලොක්හාට් ආරංචියෙන් කලබල විණි. ඔහු මවුන්ට්බැටන්ට හා ෆීල්ඩ්  මාර්ෂල් ඔවින්ලෙක්ටත් දැනුම් දුන්නේය. ආක්‍රමණයේ ප්‍රතිවිපාක වශයෙන් ඇතිවිය හැකි දරුණු තත්ත්වයන් පිළිබඳ දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.

පසුදින දහවල් රාජකීය ඉන්දියා ගුවන් හමුදාවට අයත් යානාවක් පී. සී. මෙනන්, ඉන්දීය හමුදාවේ කර්නල් සෑම් මනික්ෂෝ හා තවත් ගුවන් හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රැගෙන ශ්‍රී නගර් වෙත පියාසර කෙරිණි. ඒ කාශ්මීර මහරාජාගේ ඉල්ලීමක් අනුවය. (මේ කණ්ඩායමේ සිටි කර්නල් මනික් ෂෝ අන් කවරෙක් නොව කාශ්මීරය වෙනුවෙන් ඉන්දීයාවත් පාකිස්තානයත් දෙවැනි වතාවට යුද වැදුණු අවස්ථාවේ ඉන්දීය හමුදා විජයග්‍රහණය කරා මෙහෙයවූ ඉන්දීය හමුදා ප්‍රධානියාය.)

කාශ්මීරයේ මහරාජා සිය රාජ්‍යය ඉන්දියාවට අනුයුක්ත කිරීමට කැමැත්ත පළ කරන තෙක් ඉන්දීය හමුදා කාශ්මීරය වෙත නොයැවිය යුතු බවට මවුන්ට්බැටන් අවධාරණය කර තිබුණි. එපමණක් නොව කාශ්මීරයේ මුස්ලිම් බහුතරයේ කැමැත්ත නොමැතිව කාශ්මීර ප්‍රශ්නයට විසඳුමක් දිය නොහැකි බවද ඔහු විශ්වාස කළේය.

ශ්‍රී නගර් වෙත ගොස් ඉන්දීය කැබිනෙට්ටුවේ කොන්දේසි මහරාජාට ඉදිරිපත් කිරීමත් රටේ යුද වාතාවරණය අධ්‍යයනය කිරීමත් ඔවුන්ගේ ගමනෙහි අරමුණ විය. ඔවුන් රැගත් ගුවන් යානය නික්ම ගිය විගස ආණ්ඩුකාරවරයා කාශ්මීරයට භට හමුදා යැවීම සඳහා ඓතිහාසික ගුවන් මෙහෙයුමක් සංවිධානය කළේය.

ඔක්තෝබර් 26 වැනිදා මධ්‍යම රාත්‍රියට මඳකට පෙර ඉන්දියාවේ මිලියන 10.5ක් වූ සරණාගතයින් අතරට තවත් එක් සරණාගතයකු එක් විණි. එනම් කාශ්මීරයේ මහරාජා හරි සිං ය. මෙනන් ගේ උපදෙස් පරිදි ශ්‍රී නගර් අතහැර ඔහු ජම්මු වෙත ගියේ ආධාර සැපයෙන්නේ නම් ඕනෑම කොන්දේසියකට එකඟ වන බවට ඉන්දීය රජයට දැනුම් දෙමිනි.
මේ වන විට පතාන් ගෝත්‍රිකයො ශ්‍රී නගර් සිට සැතපුම් 33 ක් ඈතින් සිටියහ. කාශ්මීරයට ඉන්දීය හමුදා ගොඩබැස්සවීම සඳහා තිබූ එකම ගුවන් තොටු‍පොළද ඔවුන් අතට පත් වීමට හොඳටම ඉඩකඩ තිබිණි.

පසුදා අලුයම එළැඹෙද්දී, හමුදා භට පිරිස් ගුවනින් ශ්‍රී නගර් වෙත ප්‍රවාහනය කිරීම සඳහා සියලු කටයුතු යොදා තිබිණි. මේ අතරවාරයේ මෙනන් ඉන්දීය රජයේ කොන්දේසි ඇතුළත් ලිපියකට මහරාජාගේ අත්සන රැගෙන යළි දිල්ලිය බලා පියාසර කර තිබුණි.

“අන්තිමේදී අර නරියා ගිවිසුමට අත්සන් කළා. දැන් ඉතින් කාශ්මීරය අපේ” බ්‍රිතාන්‍ය නියෝජ්‍ය කොමසාරිස් ඇලෙක්සැන්ඩර් සයිමන් සමග මෙනන් සිය සතුට පළ කරමින් එසේ කියා තිබුණි.

එදින අලුයම ශ්‍රී නගර් ගුවන්තොටු‍පොළ වෙත 329 වන සික් බළකාය හා යුද අවි හා උපකරණ ටොන් 8ක්ද, ගොඩබාන ලදී. මෙය ඉන්දියාව විසින් කාශ්මීරය වෙත නොකඩවා වගුරුවන ලද යුද සෙබළුන් හා උපකරණ ධාරාවේ ආරම්භක කොටස පමණක් විය.

එහෙත් පුදුමයට මෙන් කාශ්මීරයේ ප්‍රථම ඉන්දියානු ජයග්‍රහණයට හේතු වී තිබුණේ, ඉන්දියානු හමුදාවේ යුද කෞශල්‍යය හෝ අධිෂ්ඨාන ශක්තිය හෝ උපාය ශීලිත්වය නොව, ප්‍රැන්සිස්කානු නිකායට අයත් පූජකවරියන් 14 දෙනෙකු විසූ මඩමකි. ශ්‍රී නගර්වලින් සැතපුම් 30ක් ඈතින් පිහිටා තිබූ බෙරාමුල්ලාහි මඩමට කඩා වැදුණු පතාන් දාමරිකයෝ එහි සිටි යුරෝපීය කන්‍යා සොයුරියන්   දූෂණය කොට එහි පිත්තල දොරගුළු දක්වා සියල්ල කොල්ලකද්දී, ඉන්දියානු භටයන්ට කාශ්මීර තැනිතලාව යටත් කර ගත හැකි විය.

මෙයින් අඩ සියවසකට පසුත් කාශ්මීරය ඉන්දියාව හා පාකිස්තානය අතර සමගියට ඉවත් කළ නෙහැකි බාධාව ලෙස පවතී. 

(ධනපාල ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද ‘මැදියම් රැයේ විමුක්තිය’ නම් කෘතිය ඇසුරෙනි)

 උදානි විජයසුන්දර

Page 1 of 20

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.