Coss Ear2
lakbima.lk
COSS Ear 1

මුළු මහත් මානව සංහතියේ සිතසුව උදෙසා මහා ඥාන සම්ප්‍රදායන් ලොවට දායාද කළ කාල් මාක්ස්, බිතෝවන්, එමෑනුවෙල් කාන්ට්, සහ ඇල්බට් අයින්ස්ටයින් වැනි මහා පුරුෂයන් බිහිකරනු ලැබූ ජර්මනිය ඊට ඉඳුරාම වෙනස් දිශානතියකට යොමුවෙමින් මහා මිනිස් ඝාතනයකට නිර්ලෝභීව සිත කය වෙහෙසූ කුරිරු ආඥාදායක පුත්‍රයා බිහි කළේය.
ඇඩොල්ෆ් හිට්ලර් නම් කාර ආඥා දායකයාගේ චරිතයට සමකළ හැකි චරිතයක් එදා මෙදා තුර මුණ නොගැසුනද අදටත් ලෝ පුරා අඩු වැඩි වශයෙන් අකමැත්තෙන් හෝ කියවන්නට අසන්නට වැඩි නැඹුරුවක් දක්වන කුප්‍රකට චරිතය එය බව පැවැසීම අතිශයෝක්තියක් නොවේ.
ඔස්ට්‍රියානු ජාතික පියෙකුට දාව උපන් හිට්ලර් කෝටියකට ආසන්න ජර්මානු ජාතියට නායකත්වය දෙමින් මුළු ලොවම සලිත කොට රටවල් හැට එකක් බියගන්වා පන් කෝටියක් මිනිස් ජීවිතවල හුස්ම හිරකොට අමු අමුවේ මරා දැම්මේය. කෝටි තුන හතරක් සදාකාලික අබ්බගාතයන් බවට පත් කළේය. රටවල් හැට එකක ගම් නියම්ගම්, හරකා බාන වනසාලමින් සිදුකළ ව්‍යසනයේ අවසාන ප්‍රතිඵලය වූයේ පැතූ චක්‍රවර්ති පදවියේ කිරුළද අහිමිව අවාසනාවන්ත ලෙස හිට්ලර්ට හිට්ලර්ම අහිමිවී යෑමයි.
හිට්ලර් යුදෙව් ජාතිකයන්ට දැඩිව වෛර කළේය. ඔවුන් සමූල ඝාතනයකට මුල පිරුවේය. යුදෙව්වන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරා දැමීම හෝ යුදෙව් වෛද්‍යවරයකු විසින් සිය මවගේ පිළිකා රෝගයට අයිඩෆෝම් ලබා දීම නිසා මව මිය යාම හිට්ලර්ගේ යුදෙව් විරෝධී යුද උන්මාදයට හේතු කාරක වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම මානසිකත්වය ඔහුගේ සාදු ගුණාංග සියල්ල වසා බුර බුරා නැගුනු වෛරයේ හා ක්‍රෝධයේ ගිනි දලු මුළු ලොවම දවා අළු දුවිලි බවට පත්කරන්නට සමත් විය.
බුකන්වෝල්ඩ්, බෙල්සෙන්, අවුෂ්විට්ස්, ලුකාන්වාල්ඩ්, ඩාවෝ යන නම්ගම් ඇසෙන සැනින් ඇඟ කිලි‍පොලා යන ජර්මානු ‍පොළෝතලයේ මිනිස් වධකාගාරය හා ඝාතන කඳවුරු හිට්ලර්ගේ මනස සතපාලූ විනෝදාගාර විය. ඔහු ඒ තුළ ඇවිද යමින් ඉමහත් ආශ්වාදයක් ලැබූ බවද කියැවෙයි.
මුළු ලොවම තැතිගන්වමින් වීර වික්‍රමාන්විත කතාන්තරවලින් වෛවර්ණ වූ රට රාජ්‍යයන් ඩැහැගැනීමේ හිට්ලර්ගේ ලෝක සංචාරය නිරන්තරයෙන් අසහනයකින් හා අනියත බියකින් වෙලී තිබිණි. කැලඹුණ මනසකින් හා ආත්මගත වික්ෂෝභයකින් හිට්ලර් පීඩා වින්ඳ බව දැනගෙන සිටියේ ආචාර්ය ගොබෙල්ස්, හෙයින්රිච් මුලර්, හර්මන් ගොරින් වැනි ආසන්නම හිතමිතුරු නිල මඬුල්ල පමණි.
තම ජීවිතය කොයි මොහොතක හෝ අවසන් වන බව දැන සිටි හිට්ලර් එයින් බේරීමට අවශ්‍ය සියලු ආරක්ෂක විධි විධාන සලසා ගැනීමටද අමතක කළේ නැත. මහා ‍පොළොව යට සුවපහසු මාලිගා තනා ගත්තේය. බර්ලින් හි පිහිටි සුප්‍රසිද්ධ බර්ලින් බංකරය, පුරුශියාවල පිහිටි වුල්ෆ් ලෙයා බංකරය හා බාවෙරියා කඳුකරයේ පිහිටි මනස්කාන්ත බුච්ර්ටෙස් ගාර්ඩ්න් බංකරය කවුරුත් දන්නා හිට්ලර්ගේ බංකර් ත්‍රිත්වයයි.
එහෙත් සිය ජර්මානු වැසියන්ට ද හොර රහසේ ඉතාමත් විසිතුරු සුව පහසුකම් සහිත සුවිසල් බංකරයක් ප්‍රංශයේ ඝන වනාන්තරයක් මැද්දේ පිහිටුවාගෙන තිබූ බවට ඉතාමත් මෑතකදී අනාවරණය කරගනු ලැබුවේ මාර්ක් ඇස්ක්ට් නම් පර්සියානු ඡායාරූප ශිල්පියා  විසිනි. එම වනාන්තරය ‍පොදු මහජනතාවට සපුරා තහනම් ප්‍රදේශයක් වන අතර පර්සියන් ඡායාරූප ශිල්පී මාර්ක් ඇස්ක්ට් එම කඩඉම පැනගැනීමට සමත් වීමද සුවිශේෂත්වයකි.
එම ස්ථානයට ළඟාවීමේදී හමුදාමය උපක්‍රමයන්ට අවනත වීමට මාර්ක් ඇස්ක්ට් හට සිදු විය. නාසි නායකයා විසින් එම බංකරය එංගලන්තයට කඩා වැදීම සඳහා සැලසුම් සකස් කළ ස්ථානය ලෙස ද සැලකේ.
ගල් සවෛල බැඳී පුපුරා හැලෙන බිත්ති පුරා වැඩුණු තණකොළ පඳුරු හා ගස්වැල්වලින් වසාගත් හොල්මන් මන්දිරයක් සේ බිය උපදවන අත්හැර දැමූ ගොඩනැගිල්ලක් මිස වැදගම්මක් සහිත කිසිවක් ඇස්ක්ට්ගේ කැමරා කාචයේ පළමු රූපරාමු තුළ සටහන් වී නැත. එහි තිබූ එක් බියකරු බිංගෙයකින් ඇතුළු වූ ඇස්ක්ට් හට සිය මාධ්‍ය ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව උදා වී ඇති බවට සියුම් සතුටකින් පිරි උද්දාමයක් සිතට ගතට දැනෙන්නට විය.
උමග රාශියක් සහිත අඩි 98 ක් මහ‍පොළොව යට සැතපුම් හයක් පමණ දිග බිංගෙයක් වූ එම බංකරය පිහිටි ස්ථානය අදටත් ලොවට රහසක් ලෙස තබා ගැනීමට ඡායාරූප ශිල්පී මාර්ක් ඇස්ක්ට් ප්‍රංශ හමුදා නිලධාරීන් හමුවේ ‍පොරොන්දු වී ඇත.
වසර හැත්තෑදෙකක් එම ස්ථානය ලොවට වසංකොට තබා ගැනීමට අදටත් ප්‍රංශ රජය උත්සාහ කරනු ලබන්නේ එම බංකරය ප්‍රංශ යුද හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ගේ රහසිගත පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ ඇති සුවිශේෂී වැදගත්කම මතයි.
 
සරත් අමරකෝන් 

මීට වසර තුනකට ඉහත දී, ත්‍රාසයෙන් ඇළළුන ඇනබෙල් චිත්‍රපටයේ එකී ත්‍රාසජනක අත්දැකීම වෙනස් ආකාරයකින් තවත් වරක් විඳගන්නට හොලිවුඩ් සිනමාලෝලීන්ට අවස්ථාව හිමි වී ඇත. ඒ, එහි දෙවැනි කොටස “ඇනබෙල් ක්‍රියේෂන්” නමින් ඉකුත් දා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තිරගත වීමත් සමඟිනි. ඉකුත් මස එකොළොස්වැනි දා සිට ඇමරිකාවේ සිනමාහල්වල දී පැයකුත් විනාඩි හතළිස් නවයක් පුරා විහිදෙන එකී ත්‍රාසජනක අත්දැකීම යළිත් වරක් විඳින්නට එරට රසිකයන්ට අවස්ථාව ලැබි තිබේ.
ඇනබෙල් යනු ඉකුත් 2014 වසරේදී ඇමෙරිකානු අධ්‍යක්ෂවරයකු වන ජෝන් ආර්. ලෙනොට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැරී ඩියම්බර්මන් විසින් රචිත, අමුතුම ආකාරයේ හොලිවුඩ් චිත්‍රපටයකි. තම නූපන් බිලිිඳා වෙනුවෙන් පියා විසින් ගෙන එන බෝනික්කෙකු හා හොල්මනක් අතර ඇතිවන ගනුදෙනුවක් මත විකාශය වන, ගත ලොමුදැහැගැන්වෙන ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම් රැසකින් සමන්විත මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, පීටර් සෆ්රාන් සහ ජේම්ස් වොන් විසිනි. ඇනබෙල්හි ප්‍රධාන නිළියද ඇනබෙල් වොලිස් ය.
ඉකුත් 2014 සැප්තැම්බර් 29 දා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි TCLචීන රඟහ‍ලේදී දර්ශන රූගත වූ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් විය. එහෙත් නිෂ්පාදන වියදම අභිභවන ආදායමක් ලබන්නට එහි 
 
නිෂ්පාදක කණ්ඩායමට හැකියාව ලැබි තිබිණි. උතුරු ඇමෙරිකාව තුළ පමණක් එය ලැබූ ආදායම, ඩොලර් මිලියන 84.3කි. 
එහෙත් ඇනබෙල් සිනමා කෘතියට විචාරකයන්ගෙන් නම් ලැබුණේ එතරම් සුබ ප්‍රතිචාර නොවේ. කිහිපදෙනෙකු පමණක් ඒ දෙස ධනාත්මක විචාරක ඇසක් යොමු කර තිබුණ ද, බොහෝ විචාරකයන්ගේ මතය වූයේ, ඇනබෙල් එතරම් වැදගැම්මකට නැති සිනමා කෘතියක් බවය. හොලිවුඩ් වාර්තාකරුවකු වන ෆ්‍රෑන්ක් ෂෙක් (Frank Scheck) එක් අවස්ථාවක පවසා තිබුණේ, එහි තිරපිටපත හා නිෂ්පාදනය තුළ කිසි වටිනාකමක් දැකිය නොහැකි නමුත්, චිත්‍රපටය ඉදිරිපත් කිරීම අතින් ඉතා උසස් බවයි. ප්‍රේක්ෂක සිතින් කිසිදු දිනෙක ඇනබෙල් අමතක නොවන තරමේ සූක්ෂම ආකාරයෙන් එය ඉදිරිපත් කර ඇති බවයි.
එහෙත් ඇනබෙල් ක්‍රියේෂන් අධ්‍යක්ෂණය කළ, ඩේවිඩ් එෆ්. සැන්ඩ්බර්ග් මෙම චිත්‍රපටයේදී, එහි පළමු කොටසට වඩා සූක්ෂම ආකාරයට එහි දර්ශන ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ඔහු ඇනබෙල් ක්‍රියේෂන් වෙත ප්‍රවේශ වී ඇත්තේ, ඇනබෙල්ට වඩා වෙනස් ආකාරයකට ය. එහිදී ඇනබෙල් බෝනික්කාගේ ඉරියව් පවා වඩා විශ්වසනීයත්වයක් ඇතිවන ආකාරයට සකස් කරන්නට ඔහු සැලකිලිමත් වී ඇත. ගැරී ඩියම්බර්මන්ගේම තිර පිටපතට අනුව ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක වියදමින් ඇනබෙල් ක්‍රියේෂන් නිෂ්පාදනය කර ඇත්තේද, ඇනබෙල් නිෂ්පාදකයන් වන පීටර් සෆ්රාන් හා ජේම්ස් වොන් විසිනි. 
මෙහි ප්‍රචාරණ හා බෙදා හැරීමේ කටයුතු භාරව සිටින වෝනර් බ්‍රදර්ස් සමාගම, ඇනබෙල් බෝනික්කා ඉකුත් දිනෙක දුම්රියක අනවසරයෙන් ගමන් කරවූවා යැයි, තායිවාන දුම්රිය සමාගමක්, එම සමාගමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි. වෝනර් බ්‍රදර්ස් සමාගම තම මුහුණු ‍පොතේ, බෝනික්කා දුම්රියේ ගමන් කරන ඡායාරූපයක් පළ කර තිබෙනු දුටු එම දුම්රිය සමාගම මෙම පැමිණිල්ල කර තිබුණි. තම දුම්රියක ගමන් කරන කිසිවකුගේ හෝ කිසිවක ඡායාරූපයක් ගන්නේ නම්, ඊට පෙර ඒ සඳහා දුම්රිය පාලනාධිකාරයෙන් අවසර ගත යුතු බවත්, එහෙත් වෝනර් බ්‍රදර්ස් සමාගම එම අවසරය ගෙන නැති බවත්, එම දුම්රිය සමාගම පවසයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

කොරියානු කලාපය මේ දිනවල දුම් දමන ගිනි කන්දක් හා සමානය. එහි ඇත්තේ කොයි මොහොතේ පුපුරා යනු ඇත්දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකි. ඊට හේතු වී ඇත්තේ උතුරු කොරියාව සහ ඇමෙරිකාව දිනෙන් දින, ඉතා වේගයෙන් යුද ගැටුමක් කරා ගමන් කරමින් සිටින බවට මතු වෙමින් ඇති සැක සංකාවන්ය. එම කලාපයෙහි උත්සන්න වෙමින් පවතින මෙම යුද උණුසුම මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර කාගේත් අවධානයට ලක් වෙමින් ඇති කාරණාවක් බවට පත්ව තිබේ. මෙම උණුසුම් තත්ත්වය පසුගිය සතියෙහි වඩාත් බිහිසුණු මට්ටමකට අවතීර්ණ වූයේ උතුරු කොරියාව අගෝස්තු 28 වෙනි දින ඇමෙරිකාවේ සමීප සගයෙකු වන ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමත් සමගිනි. 
එදින උතුරු කොරියාව ගුවන් ගත කළ මිසයිලයක් ජපානයේ හොකයිඩෝ දිවයිනට ඉහළින් ඇදී ගොස් පැසිෆික් සාගරයට වැටිණි. මෙයින් බියට පත් වූ ජපානය වහා ආරක්ෂක ස්ථාන වෙත යන ලෙස හොකයිඩෝ වැසියන්ට අනතුරු අඟවා තිබිණි. උතුරු කොරියාව පවසා ඇත්තේ මෙම මිසයිලය වඩාත් පුළුල් මෙහෙයුමක පළමු පියවර පමණක් බවය. එයින් ඔවුන් අඟවන්නේ ඉදිරියේදී තව මොන මොනවා හෝ කිරීමට ඔවුන් අදහස් කරගෙන සිටින බවය. උතුරු කොරියාවට ගිනිකොණ දෙසින් පැසිෆික් සාගරයේ පිහිටි ගුවාම් නම් දිවයින උතුරු කොරියාවේ තවත් ඉලක්කයකි. ඇමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් මෙම ගුවාම් දිවයිනේ පිහිටා තිබේ. ඊළඟ මිසයිලය ගමන් කරනු ඇත්තේ ඒ දිශාවට බවත් උතුරු කොරියාව පවසා තිබිණි. ගුවාම් දිවයින සම්බන්ධයෙන් උතුරු කොරියාව ඇස ගසාගෙන සිටින්නේ සිය රට ආක්‍රමණය කිරීමේ ඇමෙරිකානු මෙහෙයුමකදී ගුවාම්හි පිහිටි ගුවන් හමුදා කඳවුරු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. ගුවාම් දෙසට මිසයිල එල්ල කරනවා නම් ඒවාද ගමන් කරනු ඇත්තේ ජපානයට ඉහළිනි. පසුගියදා එල්ල කෙරුණු මිසයිලය එයට පෙරහුරුවක් බඳු යැයි සැලකිය හැකිය.
ජපානයට ඉහළින් මේ ආකාරයෙන් මිසයිලයක් යැවීමට උතුරු කොරියාව පියවර ගත්තේ ඇමෙරිකාවේ තවත් මිතුරෙකු වන දකුණු කොරියාව තුළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති යුද අභ්‍යාස මාලාවකට විරෝධය දැක්වීම සඳහාය. මෙම යුද අභ්‍යාස ඇමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව පවත්වන්නක් වන අතර උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වයි. ඔවුන් පවසන්නේ මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසවල අරමුණ ඉදිරියේදී උතුරු කොරියාව ආක්‍රමණය කිරීම සඳහා සූදානම් වීම බවයි. නමුත් ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් කියන්නේ ඉදිරියේදී උතුරු කොරියාවෙන් එල්ල විය හැකි තර්ජනයකට මුහුණ දීම සඳහා තමුන් මෙම අභ්‍යාසවල නිරත වන බවයි. ඔවුන්ගේ මෙම තර්කයට පදනම් වන්නේ දැන් කාලයක සිට උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙළක නිරතව සිටීමයි. ඇමෙරිකාවට පවා පහර දිය හැකි දිගු දුර මිසයිල දෙකක් පසුගිය දිනවල උතුරු කොරියාව විසින් අත්හදා බලන ලදී. ඇමෙරිකාවත්, උතුරු කොරියාවත් අතර ගැටුම වඩාත් ගිනියම් කරන්නට හේතු වූ ප්‍රධාන කාරණයක් වූයේ මෙයයි. 
මේ ආකාරයෙන්  න්‍යෂ්ටික ආයුධ නිපදවීමට උතුරු කොරියාව පියවර ගැනීම මහත් ආන්දෝලනයකට ලක් වූ කාරණාවකි. නමුත් උතුරු කොරියාව පවසන්නේ ඇමෙරිකාව දකුණු කොරියාවේත්, ජපානයේත් සහයෝගය ඇතිව තම රට ආක්‍රමණය කිරීමටත්, එහි වත්මන් ඇමෙරිකානු විරෝධී පාලනය වෙනස් කර, ඇමෙරිකානු හිතවාදී පාලනයක් ඇති කර ගැනීමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි. මෙම කුමන්ත්‍රණයට මුහුණ දීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත්විය යුතුය යන්න උතුරු කොරියාවේ විශ්වාසයයි.
උතුරු කොරියාවට මෙම කාරණයේදී චීනයේ සහ රුසියාවේ සහය ලැබෙන ආකාරයක් දැකිය හැකි වෙයි. එයට හේතුව කවදා හෝ දිනෙක උතුරු කොරියාවෙහි ඇමෙරිකානු හිතවාදී පාලනයක් ඇති වුවහොත් එය මෙම කලාපය තුළ ඇමෙරිකාවේ බලපෑම වැඩි කරන්නක් වනු ඇති හෙයිනි. උතුරු කොරියාව, දකුණු කොරියාව, ජපානය යන රටවල් සියල්ල ඇමෙරිකානු මිතුරන් වුවහොත් එය චීනයට සහ රුසියාවට ගැටලු ඇති කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ නිසා උතුරු කොරියාවට ඇමෙරිකා-දකුණු කොරියා-ජපාන පාර්ශ්වයෙන් එල්ල වන අභියෝගවලදී චීනය සහ රුසියාව උතුරු කොරියාවේ සහයට සිටින ආකාරය දැකිය හැකි වෙයි. එය මේ වනවිට ඇමෙරිකානු පාර්ශ්වයට ලොකුම හිසරදයක් බවට පත්ව තිබෙන්නකි. 
ජපානයට ඉහළින් උතුරු කොරියාව මිසයිලයක් එල්ල කිරීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ තවදුරටත් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටුම විසඳාගැනීමට තිබූ කාලය අවසන් වෙමින් යන බවයි. දැන් සති කිහිපයක සිටම ට්‍රම්ප් ඉඟිකරමින් සිටින්නේ උතුරු කොරියාවට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට ඔහු බලා‍පොරොත්තු වන ආකාරයකි. ඇමෙරිකාවට පහර දිය හැකි මිසයිල දෙකක් උතුරු කොරියාව අත්හදා බැලූ අවස්ථාවේ ඔහු කළ ප්‍රකාශය ඊට නිදසුනකි. එහිදී ඔහු ඉඟි කළේ තවදුරටත් උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළහොත් ලෝකය මතෛක් නොදුටු ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරන බවටය. තමුන් ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගුවාන් දිවයින ආසන්නයට මිසයිල එල්ල කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළේ එයින් අනතුරුවය. ජපානයට ඉහළින් මිසයිලයක් යැවීමට ඔවුන් පියවර ගත්තේ මේ ආකාරයෙන් යුද උණුසුම වඩාත් තීව්‍ර වෙමින් තිබූ පසුබිමකය. 
දැන් උද්ගතව ඇති තත්ත්වය තුළ චීනය සහ රුසියාව වැනි පාර්ශ්ව කවර පියවරක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ද කාගේත් අවධානය යොමු වී තිබේ. රුසියාව පසුගිය දිනෙක ඇමෙරිකාවට පවසා තිබුණේ යුදමය පියවරක් ගැනීමෙන් වැළකී සිටින ලෙසටය. එවැනි පියවරක් නිසා ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි ඔවුන් අනතුරු අඟවා තිබිණි. චීනයද දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. නමුත් එකිනෙකාට පරාජය වීමට අකැමැති උතුරු කොරියාවත්, ඇමෙරිකාවත් ගමන් කරමින් සිටින්නේ සාකච්ඡා මේසයෙන් තව තවත් ඉවතට වැටුණු ගමන් මගක බව මේ වනවිට දැකිය හැකි තත්ත්වයයි.
කෙසේ වෙතත්, කොරියානු කලාපය මැදි කරගත් ආතතිය සහ නොසන්සුන්තාව මේ ආකාරයෙන් දිනෙන් දින ඉහළ යමින් ඇති තත්ත්වය තුළ දැන් කවුරුත් බලා සිටින්නේ උතුරු කොරියාවේ 'ජපන් මිසයිලයට' ඇමෙරිකාව ඇතුළු පාර්ශ්වයෙන් කවර ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයිද කියාය. මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වූයේ ඇමෙරිකාව සිය ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කරවීමට පියවර ගෙන ඇති බවයි. ඇමෙරිකානු යානා සමග දකුණු කොරියානු සහ ජපන් ගුවන් යානාද ගමන් කර ඇති බව සඳහන් වෙයි. 
 
නිහාල් පීරිස්

කැබිනට් ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියූ සැණින්, සාමාන්‍යයෙන් අපි ඔවුන් හඳුනා ගන්නේ තමන්ට හිමිවන සියලු වරප්‍රසාද කිසිදු කප්පාදුවකින් තොරව ලබා ගන්නා පිරිසක් ලෙසිනි. එහෙත් ඉකුත් දා ප්‍රංශ පාර්ලිමේන්තුවෙන් අපට අසන්නට ලැබුණේ, ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම්, ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමැතිවරු, සෙනෙට් සභිකයන්, නගරාධිපතිවරු යන අයට තම පවු‍ලේ සාමාජිකයන්, ඥාතීන් සහ හිතමිතුරන් තමා යටතේ සේවයට බඳවා ගැනීමට අවසර දී තිබූ අණපනත් අහෝසි කිරීමකි.
ඒ අනුව මින්පසු, ඔවුන්ගේ පවු‍ලේ හෝ වෙනත් කිසිම ඥාතියෙකුට ඔවුන් යටතේ සේවය කිරීමට තිබූ අවස්ථාව සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණ අතර, මෙහි විශේෂත්වය වන්නේ, මෙම තහනම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද තුන්සිය හැත්තෑ දෙකකින් සම්මත වීමය. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ගේ යෝජනාවක් ලෙසිනි. එය ඔහුගේ ඉකුත් ජනාධිපතිවරණ ‍පොරොන්දු පත්‍රයේ සඳහන් එක් ‍පොරොන්දුවක් විය.
මීට පෙර පැවැති ක්‍රමවේදය අනුව ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ඇමැතිවරයෙකුට තම පවු‍ලේ සාමාජිකයන් පස් දෙනෙකු තමන් යටතේ සේවයට බඳවා ගැනීමට නීතිමය හැකියාවක් පැවැතිණි. මෙහිදී තම සාමාජිකයන් ලෙස හැඳින්වුණේ සිය භාර්යාව, සැමියා, දරුවන්, හෝ ඥාතීන් වශයෙන් සාමාජිකයන් පස්දෙනකුය. සෙනෙට් සභිකයෙකුට එලෙස සේවයට ගත හැකි සාමාජිකයන් වූයේ තිදෙනකුය. එබැවින් ප්‍රංශ බොහෝ මැති ඇමැතිවරු ද, තම පවු‍ලේ සාමාජිකයන් තමා යටතේ සේවයට බඳවා ගත්හ. 
ප්‍රංශ නීතියට අනුව පුද්ගලයෙකු සේවය කළ යුතු උපරිම කාලසීමාව සතියකට පැය තිස්පහකි. පැවැතුණ නීතිය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද එම නීතිය අදාළ විය. ඔවුන්ට ද සාමාන්‍ය සේවකයන්ට මෙන් මාසික වැටුප් පතක් ලැබුණ අතර ඒ සඳහා ප්‍රතිපාදන නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවෙනි. නව ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙම තත්ත්වය මුළුමනින්ම තහනම් කර තිබේ.
එපමණක් නෙවේ, මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙකුට වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක තනතුරක් දැරීම හෝ එහි කොටස්කරුවෙකු වීමත්, උපදේශකයෙකු ලෙස සේවය කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. මන්ත්‍රීවරයෙකුට සහ සෙනෙට් සභිකයෙකුට හිමි මාසික මුදල් ප්‍රතිපාදනවල සම්පූර්ණයෙන් ම විනිවිදභාවයක් තිබිය යුතු බව ද ඉන් කියැවිණි. ඒ අනුව, ඔවුන් මින් ඉදිරියේ දී වියදම් කරන සියලු වියදම් පැහැදිලිව පෙන්විය යුතු සාක්ෂිවලින් යුක්ත විය යුතුය. උදාහරණයක් ලෙස ඔවුන් මිලදී ගන්නා සියලු භාණ්ඩ සඳහා ලදුපත් ඉදිරිපත් කළ යුතු වේ. 
එමෙන්ම මෙම නව ව්‍යවස්ථාවට අනුව, ඔවුන්ට ලැබෙන මුදල් එකම බැංකුවක තැන්පත් කළ යුතු අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක අදාළ ගිණුම් පරීක්ෂාවට භාජනය කළ හැකි ක්‍රමවේදයක් ද සකසා තිබේ. ඒ අනුව මන්ත්‍රී කෙනකුට මාසික ප්‍රතිපාදන වශයෙන් යුරෝ 5373ක්, එනම් ශ්‍රී ලංකා රුපියල් නව ලක්ෂ හැටපන්දහසක් හිමි වේ. සෙනෙට් සභිකයෙකුට ලැබෙන මාසික ප්‍රතිපාදනය යුරෝ 6110කි. එය මෙරට මුදලින් නම්, රුපියල් දස ලක්ෂ අනූනව දහසකි. 
මෙම නව නීති මාලාව උල්ලංඝනය කරන්නෙකු වසර තුනක අවම සිර දඬුවමකට හා යුරෝ 45000ක එනම් මෙරට මුදලින් රුපියල් අසූඑක් ලක්ෂයක දඩයකට ද මෙම ව්‍යවස්ථාව අනුව යටත් වේ.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව පන්සිය හැත්තෑ හතකි. ඇමැතිවරු විසිදෙකකි. තමන්ට හිමි වී තිබූ වරප්‍රසාද කප්පාදු කරන්නට ඡන්දය දුන්නෝ ඔවුහුය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

බි‍්‍රතාන්‍යයේ රෝස කුසුම නමින් මුළු ලෝකයේම ආදරය දිනා ගත් ඩයනා කුමරිය හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන අගෝස්තු 31 වනදාට වසර 20 ක් සපිරේ. ඩයනා කුමරියගේ විසි වන අවමංගල්‍ය සැමරුම් උත්සව අතර හදිසියේ මතු වුණු ඉන්දියානු තරුණියක් නිසා ඩයනා වෙත එල්ල වී තිබූ මාධ්‍ය ඇස මෙම ඉන්දියානු තරුණිය වෙත එල්ල වී තිබේ.
ඇය නමින් ‘අවන්ති රෙඩඩි’ වන අතර මේ වනවිට ඇගේ වයස අවුරුදු 28කි. ඩයනා කුමරියගේ දියණිය ඇය බව ඩයනා කුමරිය විසින්ම පවසා ඇත්තේ 1992 වසරේ දිනක ය. 1992 වසරේ අවන්තිගේ වයස අවුරුදු 4කි. එම වසරේ දිනක ඩයනා කුමරිය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබිණි. එහිදී ඇය පිළිගැනීම සඳහා ඉන්දියානු සංස්කෘතික අංග රැුසක් එක්කර සංස්කෘතික ප‍්‍රසංගයක් පවත්වා තිබිණි. එහි එක් නර්තන කණ්ඩායමක පුංචි අවන්ති නර්තනයේ යෙදුණාය. වයස අවුරුදු හතරක් වූ මෙම දැරිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටිමින් අගනා නර්තනයක නිරත වී තිබිණි. ඩයනා කුමරිය මුළු නර්තනය අවසන් වනතෙක්ම බලා සිට තිබුණේ අවන්ති දෙසය. ඉන්පසු නර්තනය අවසානයේ ඇය ඇතුළු නර්තන කණ්ඩායම පිටිය මැද බිම වාඩි වී පිළිගැනීමේ කතාවට ඇහුම්කන් දෙමින් සිටියහ.
ඒ අතර පිටිය මැදට පැමිණි ඩයනා කුමරිය පුංචි අවන්ති ඔසවාගෙන නැවතත් වේදිකාව වෙත ගොස් ඇය සිය උකුළ මත හිඳුවා ගෙන තිබිණි. ඉන්පසු සිදු වූ කතාබහ අවන්තිගේ වචනවලින්ම මෙසේය. ‘‘මට හොඳටම දාඩිය දාලා තිබුණේ. ඒත් ඇය මගේ කම්මුල් දෙකම සිප ගත්තා. ඇය ළගින් රෝස මල් සුවඳක් ආවා. මට ඒක කවදාවත්ම අමතක වෙන්නෙ නැහැ. මගේ මුහුණේ තිබුණු දහඩිය ඇය ඇගේ ලේන්සුවෙන්ම පිස දැම්මා. ඊට පස්සෙ ඇය මගෙන් නම ඇහුවා. මම නම කිව්වා. වයසත් පාසලත් පන්තියත් ඇහුවා. මම ඒවත් කිව්වා. ඊට පස්සෙ ඇය මට කිව්වා ‘ඔයා හරිම හුරතල් හරිම ලස්සන පුංචි ගැහැනු ළමයෙක්’ කියලා. මට ආඩම්බර හිතුණා. මම හරිම ලස්සනට නැටුවා කියලත් ඇය කිව්වා. මුළු උත්සවයම අවසන් වෙනකන් ඇය මාව ඔඩොක්කුවෙ තබාගෙන හිටියා. පැය දෙකක් විතර ගියාට පස්සෙ උත්සවය අවසන් වෙන්න ජාතික ගීය කියද්දී අපි නැගිට්ටා. ඒ වෙලාවෙත් ඇය මගෙ උරහිසින් අල්ලගෙන හිටියෙ. උත්සවය ඉවර වුණාට පස්සෙ ඇය මගේ උසට දණගහලා මෙහෙම කිව්වා. ‘මට ඔයාව දාලා යන්න හිතෙන්නෙ නැහැ. ඒත් දැන් මම යන්න  ඕනෙනේ. මට ඉන්නෙ පුතාලා දෙන්නෙක්. ඒත් අද ඉඳලා ඉන්දියාවෙ මට දුවෙක් ඉන්නවා කියලා මම හිතේ තියාගෙන ඉන්නම්කො’  එහෙම කියලා ඇය මාව නැවතත් සිප ගත්තා’’
මේ වනවිට නර්තන ශිල්පිණියක සහ නර්තන ගුරුවරියක වන අවන්තිට ඩයනා කුමරිය ගැන ඇත්තේ ගෞරවය මුසු ආදරයකි. ඩයනා කුමරිය තමන් සිය ඔඩොක්කුව මත තබාගෙන සිටින ආකාරය දැක්වෙන ඡුායාරූප කීපයක්ම ඇය සිය නිවස පුරාත්, නර්තන පුහුණු ශාලාව පුුරාත් ප‍්‍රදර්ශනයට තබා තිබේ. එපමණක්ද නොව ඇය කුඩා කාලයේ නර්තනයට එතරම් කැමැත්තක් නොතිබුණු බව පවසන අවන්ති, ඩයනා කුමරිය තමන්ට ලස්සනට නටන්න පුළුවන් කී දිනයෙන් පසු නර්තනයට තිබූ අකමැත්ත ඉවත දමා ඉතාම ආශාවෙන් නර්තන පුහුණුව ආරම්භ කළ බවත් පවසන්නීය. එදා ඩයනා කුමරිය හමු නොවන්නට අවන්ති යනු අද නර්තන ගුරුවරියක නොව සාමාන්‍ය ඉන්දියානු කාන්තාවක පමණක් බවද නර්තන ගුරුවරියක බවට පත් වන්නට හේතු වූයේ ඩයනා කුමරිය සිය නර්තනය ලස්සනයි කීම බවද ඇය පවසන්නේ ඉතාම හැගීම්බරවය.
ඩයනා කුමරියගේ විසි වන අවමංගල්‍ය සැමරුම වෙනුවෙන් ඇය අවසන් වශයෙන් මෙසේ පැවැසුවාය. ‘‘මම ඇගේ උකුළෙ ඉද්දී මම දැනගෙන හිටියෙ නැහැ මම ඉන්නෙ මුළු ලෝකෙම ආදරය දිනා ගත් කාන්තාව ළග කියලා. ඒ ගැන මම දැන ගත්තෙ මම ඇගේ උකුළෙ වාඩි වෙලා ඉන්න ආකාරය ටීවී එකේ ගියාට පස්සෙයි. ඒ වගේම මම ඉන්න පිංතූර ඉන්දියානු මාධ්‍යවලයි, ඉංග‍්‍රීසියෙන් කතා කරන අය ඉන්න රටවල්වල පත්තර සහ සගරාවලයි ගියාට පස්සෙ තමයි මම ඇය ගැන හරියටම දැන ගත්තෙ. ඊට පස්සෙ මට  ඕනෙ වුණා තව එක වතාවක් හරි ඇයව මුණ ගැහෙන්න. මම හිතා ගත්තා කවදාහරි දවසක මම බි‍්‍රතාන්‍යයට ගිහින් ඇයව හමුවෙනවා කියලා. 1997 අවුරුද්දේ දෙසැම්බර් මාසෙ මාව බි‍්‍රතාන්‍යයට එක්ක යන්න මගේ දෙමාපියන් පොරොන්දු වෙලයි හිටියෙ. ඒත් ඊට මාස හතරකට කලින් 1997 අගෝස්තු මාසෙ ඇය මුළු ලෝකෙන්ම සමුගත්තා. එතකොට මට වයස අවුරුදු නවයයි. ඇය නැතිවුණු බව දැන ගත්තු වෙලාවෙ මගෙ හීන ඔක්කොම බිඳිලා ගියා වගේ මට දැණුනා. මම කෑ ගසමින් ඇ`ඩුවා. 2016 අවුරුද්දෙ විලියම් කුමරු සහ කේට් කුමරිය ඉන්දියාවට ආපු වෙලාවෙ මට ඔවුන් හමු වෙන්න වුවමනා වුණත් ඒක පුළුවන් වුණේ නැහැ. ඒ මගේ වැඩිමහල් දියණිය වයස අවුරුද්දෙදී මිය ගිහින් අවසන් කටයුතු කරමින් සිටි නිසා. 
කොහොම වුණත් 1997 අගෝස්තු 31 වනදා ඉඳලා හැම අවුරුද්දකම අගෝස්තු 31 වනදා මම ඩයනා කුමරිය වෙනුවෙන් පූජාවක් පවත්වලා දෙවියන් වඳිනවා.’’ ඇය කියන්නීය.
 
දුලංජලී මුතුවාඩිගේ

ලෝකයේ ජනමාධ්‍ය තුළ මේ කාලයේ නිතර ඇසීමට දැකීමට ලැබෙන මාතෘකාවක් වන්නේ යුද ගැටුම් පිළිබඳ කාරණාවයි. ලොව බොහෝ කලාපවල  උණුසුම් යුද තත්ත්වයන් උඩු දුවමින් ඇති අතර කොයි මොහොතක හෝ න්‍යෂ්ටික යුද්ධයක්, තුන්වැනි ලෝක යුද්ධයක් පැන නගිනු ඇතැයි යන බියමුසු හැඟීම් බොහෝ දෙනෙකු තුළ හොල්මන් කරනු දැකිය හැකි වෙයි.

යුද්ධය වර්තමාන ලෝකයේ මිනිසාට ඇති ප්‍රධාන තර්ජනයක් බවට පත්වෙමින් තිබියදී අවි ආයුධ නිෂ්පාදනයද ඒ හා බැඳී වේගයෙන් ඉදිරියට යමින් ඇති බව රහසක් නොවේ. නිදසුනක් ලෙස මේ වන විට විශාල වශයෙන් අවධානය දිනාගනිමින් ඇති ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ගැටුමට පසුබිම් වූයේද උතුරු කොරියාව අත්හදා බලමින් සිටින න්‍යෂ්ටික මිසයිල පිළිබඳ කාරණාවකි.

පැරණි සහ සම්ප්‍රදායික මාදිලියේ අවි ආයුධ පමණක් නොව වඩාත් නවීණ සහ ඉතා සූක්ෂ්ම ආකාරයේ අවි ආයුධ ද මේ වන විට දැවැන්ත පරිමාණයෙන් නිෂ්පාදනය වෙමින් තිබේ. ආයුධ කර්මාන්තය අද මිලියන, බිලියන ගණනින් ලාභ උපදවන කර්මාන්තයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. මේ නිසාම යුද්ධය යනු අද වෙළෙඳ ව්‍යාපාරයක් වශයෙන්ද වර්ධනය වෙමින් ඇති ක්‍ෂේත්‍රයක් ලෙස සැලකිය හැක්කකි.

මෙම පසුබිම තුළ මේ දිනවල අවි ආයුධ සම්බන්ධයෙන් වැදගත්, අලුත් සංවාදයක් කරළියට පැමිණෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. මෙම සංවාදයට කේන්ද්‍ර වන්නේ මාරක රොබෝ අවි හෙවත් මිනිසාගේ සෘජු පාලනයකින් තොරව  ක්‍රියාත්මක වීමේ හැකියාව ඇති මිනීමරු,  ස්වයංපාලක (autonomous) අවි ආයුධනිෂ්පාදනයයි. මෙම සංවාදයේදී කලකට ඉහත ‘ටර්මිනේටර්’, ‘රොබෝකොප්’ වැනි හොලිවුඩ් චිත්‍රපටවල දක්නට ලැබුණු බිහිසුණු රොබෝවරුන් වැනි ආයුධ නිතර නිදර්ශන ලෙස ඉදිරිපත් වන ආකාරයද දැකිය හැකි වෙයි.

මේ වනවිට ආයුධ කර්මාන්තය තුළ පවතින දැඩි තරගකාරීත්වය තුළ ඉදිරියේදී මෙවැනි බිහිසුණු රොබෝ ආයුධ නිෂ්පාදනය සඳහාද විශාල තරගයක් වර්ධනය වනු ඇති බව පෙන්වා දෙනු ලැබේ. වහා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මට්ටමින් පියවරක් නොගතහොත් අනාගතයේ මිනිස් සංහතිය බිහිසුණු ඉරණමකට ගොදුරු විය හැකිය යන්න මෙම රොබෝ ආයුධවලට විරුද්ධ විශේෂඥයෝ නිතර පෙන්වා දෙමින් සිටිති. මේ අය අතර සිටින බොහෝ දෙනා කෘත්‍රිම බුද්ධි (artificial intelligence) සහ රොබෝ තාක්ෂණ  (robotics) ක්‍ෂේත්‍රයේ කටයුතු කරන පුරෝගාමීන් වීමද මෙහිදී කැපී පෙනෙන කාරණයකි. ඒ අතර ස්ටීවන් හෝකින් වැනි කීර්තිමත් විද්‍යාඥයෝද, ඉලෝන් මස්ක් වැනි මෙම ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ව්‍යවසායකයෝද  සිටිති. ඩේ‍රා්න තාක්ෂණය, ස්වයංපාලක යුද ටැංකි, ස්වයංපාලක යුද නැව්, සබ්මැරීන සහ ස්වයංපාලක ගිනි අවි ආදිය සම්බන්ධයෙන්ද මෙහිදී විශාල අවධානයක් යොමු වෙයි.

මෙවැනි අවි ආයුධ බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ දියුණු පරිගණක තාක්ෂණයක් උපයෝගී කරගනිමිනි. එමෙන්ම මිනිසුන් එකිනෙකා අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්නා සේම ඉදිරියේදී මෙම රොබෝවරුන්ද අන්තර්ජාලය මගින් එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට සමත් වනු ඇති බව මේ වනවිට රහසක් නොවේ. මෙය හඳුන්වනු ලබන්නේ ‘’වස්තූන් අතර අන්තර්ජාලය’’ (හෙවත් Internet of Things) ) යනුවෙනි.  මෙම රොබෝ ආයුධවල ඇතුළත් පද්ධතිවලට  යම් යම් බලපෑම් ඇති කිරීමට හැකර්වරුන් වැනි පාර්ශ්වවලට ඇති හැකියාවත්, ඒ ආකාරයෙන් ‘ත්‍රස්තවාදීන්’ වැනි කණ්ඩායම් මේවා ‘හැක් කිරීමෙන්’ ඇති විය හැකි විනාශයනුත් මේ පිළිබඳ ඇතිව තිබෙන සංවාදය තුළ කතාබහට ලක්වන ජනප්‍රිය කාරණා බවට පත්ව තිබේ. මේ මගින් මෙම රොබෝ ආයුධ, ඒවායින් අපේක්ෂා නොකළ ආකාරයේ අරමුණු වෙනුවෙන්ද යොදා ගැනීමට ඇති හැකියාව බැහැර කළ හැක්කක් නොවේ.  මේ වනවිට අන්තර්ජාලය හරහා පරිගණකවලට රහසේ ඇතුළු වීම (hacking) මගින් විවිධ විනාශකාරී සහ අහිතකර ක්‍රියාවන්හි නිරත වීමත්, ඒ හා බැඳුණු සයිබර් අපරාධ වැනි කටයුතුත් ඉහළ යමින් ඇති පසුබිමක රොබෝ ආයුධ නිසා මිනිස් සමාජයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකිය යන්න සැබැවින්ම සුළුකොට තැකිය නොහැකි කාරණයකි. ලෝකය තුළ මහා පරිමාණයෙන් ත්‍රස්තවාදය සහ යුද ගැටුම් හිස ඔසවමින් ඇති වාතාවරණයක් යටතේ මේ පිළිබඳ කිසියම් පියවරක් ගත හැකි දැයි සොයා බැලීම  වැදගත් වෙයි. රටවල් 26කට අයත් විද්වතුන්, විශේෂඥයන් සහ ව්‍යවසායකයන්  116 දෙනෙකු විසින් මේ සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කරන ලද විවෘත ලිපියකින් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, නිපදවීම තහනම් කරනු ලැබ ඇති අවි ආයුධ ලැයිස්තුවට මෙම ස්වයංපාලක අවිද ඇතුළත් කරන ලෙසයි. දැනට මෙම ලැයිස්තුවට රසායනික  අවි, ඇතැම් ‍ලේසර් අවි ආදිය ඇතුළත් කර තිබේ.

විද්වතුන් මෙම රොබෝ අවි නිෂ්පාදනය හඳුන්වන්නේ යුද තාක්ෂණයේ තුන් වැනි විප්ලවය යනුවෙනි. (පළමු සහ දෙවැනි විප්ලව ලෙස සලකන්නේ වෙඩි බෙහෙත් සහ න්‍යෂ්ටික ආයුධ සොයා ගැනීමයි.) රොබෝ ආයුධ නිෂ්පාදනය නිසා යුද්ධයකට එළැඹීම සඳහා වන බිය සහ පැකිලීම අඩු වනු ඇති බවටද මෙම විශේෂඥයෝ තර්ක කරති. ඊට එක් හේතුවක් වන්නේ මෙම රොබෝවරුන් යුද බිමට යැවීම හේතුවෙන් සෙබළුන් මිය යාම අඩු වීමයි. එසේම මෙම නවීණ ස්වයංපාලක අවි නිසා යුද්ධවල වේගය විශාල ලෙස වැඩි වනු ඇති බවත්,  ඒවායේ පරිමාණය බෙහෙවින් පුළුල් වනු ඇති බවත්, මිනිසාට ග්‍රහණය කරගත නොහැකි අලුත් මානයකට එය ලංවනු ඇති බවත් පෙන්වා දෙනු ලැබේ.

මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමට මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එකඟතාවක් ඇති ව තිබේ. මීට අදාළ සාකච්ඡාවක් පසුගිය සඳුදා (21) දින පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොවැම්බර් මාසය තෙක් කල් දමා ඇති බවද වාර්තා වෙයි. යුද අවි නිෂ්පාදනය දැවැන්ත ව්‍යාපාරයක් කර ගත් සමාගම් ඇතුළු පාර්ශ්ව මෙවැනි යෝජනාවකට කවර ආකාරයෙන් ප්‍රතික්‍රියා දක්වනු ඇත්ද යන්න තවමත් පැහැදිලිව කිව හැකි නොවේ.

නිහාල් පීරිස්

Page 6 of 9

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1201

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1062

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1657

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3178

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4029

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4160

Please publish modules in offcanvas position.