Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇන්ටාක්ටිකාවත් කොළ පැහැ වන ලකුණු

ඇන්ටාක්ටිකාව යැයි කි සැණින් අපට සිහි වන්නේ සුදු  පැහැ අයිස් හා හිම පිරි පරිසරයකි. එහි අයිස් දියවී ගස් වැවේනට යනවා යැයි කිවහොත් ඔබට සිතෙන්නේ කුමක්ද? ඒ කුමක් වුවත් මේ කීමට යන්නේ එය එසේ සිදුවීම දැනටමත් ඇරඹි හමාර බවයි.
ගෝලීය උණුසුම ඉහළ යෑමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ඇන්ටාක්ටිකාවේ පෙඳ හා පාසි වර්ධනය වෙමින් ඇතැයි පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර ඇත. සාමාන්‍යයෙන් මේ පෙඳවල වර්ධනය ලෙස වාර්තා වන්නේ වසරකට මිලි මීටරයක් තරම් කුඩා ප්‍රමාණයකි. එහෙත් දැන් එය වසරකට මිලි මීටර් 3ක තරම් වේගයකින් වැඩෙන බව වාර්තා වේ.
මේ අධ්‍යයනයේ මූලිකත්වය ගෙන ඇති එක්සත් රාජධානියේ එක්ස්ටර් සරසවියේ මැතිව් ඇමෙස්බරි පවසන්නේ ඇන්ටාක්ටිකාවේ  මෙකී  ස්ථාන වඩාත් කොළ පැහැයෙන් දිස්වීම ඇරඹී ඇති බවයි.
මෙතරම් ඈත සීත ධ්‍රැව පවා මෙවන් විපරිතයකට ලක්වීමෙන් පෙනී යන්නේ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේශගුණික බලපෑම්වලින් බේරිය හැකි කිසිදු තැනක් ලෝකයේ නොමැති බව නොවේද? අනෙක් අතට පැළෑටි යනු අති දුර්ලභ ජීවියක් වන ඇන්ටාක්ටිකාවේ සිදුවන සංසිද්ධිය, විද්‍යාඥයන්ට විවිධ වෙනස්වීම් යටතේ ජීවය හටගන්නා අයුරු පිළිබඳ අධ්‍යයනය කිරීමට  කදිම අවස්ථාවක්ද වේ.
මේ අධ්‍යයනය අනුව ඇන්ටාක්ටිකාව හරිත ශාකවලින්  වැසී යමින් පවතින බවක් ගම්‍ය නොවුණත් අනාගතයේ එසේ නොවනු ඇතැයි කීමටද හැකියාවක්  නැත. අයිස් දියව යාම මෙන්ම සාමාන්‍ය තත්ත්වයෙන් බැහැරව හරිතමය ජීවයන් වර්ධනය විමත් ලොව සෑම පාරිසරික අංශයකම සිදුවන දූෂණයේ හෙවත් වැරදි භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය  නව භූවිද්‍යාත්මක අවධියකට යොමු කෙරෙමින් පවතී.
'හරිත' යන වදන කොතැන යෙදුණත් අපට හැඟෙන්නේ සොබා දහමටත් මිනිසාටත් හිතකාමී බවකි. මිනිසා විසින් වනසන ලද පරිසරය යළි පියවි තත්ත්යට ගෙන ඒමේ හා තවදුරටත් ඊට හානි නොවන සේ ක්‍රියා කිරීමේ අරමුණින් කෙරෙන කටයුතු සඳහා හරිත යන විශේෂණ පදය යෙදෙන බව පෙනේ. එහෙත් ඇන්ටාක්ටිකාව හරිත පැහැ ගැනීම නම් එවන් කරුණක් නොවන බව තේරුම් ගත යුතුය. එය තවත් දේශගුණික  විපර්යාස රැසක ආරම්භය වනු ඇත.

 ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.