Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආසියාවේ ඇට්ලන්ටාව: වියට්නාමය

වියට්නාමයේ බහුල වශයෙන් සහල් නිපදවන මැකොන්ග් ඩෙල්ටාව (Mekong Delta) වැනි වෙරළබඩ ප්‍රදේශ ඉහළ යන මුහුදු මට්ටම නිසා තර්ජනයට ලක්ව තිබේ. එම රටත් සයුරත් වෙන් කරමින් නැගී සිටින එකම දෙය වනුයේ ශාක පමණි. එනිසාම මෙහි අනාගතය තරමක ප්‍රශ්නාර්ථයකින් යුක්තය. 
 
වියට්නාමය තිබෙන්නේ අවදානමේය. මුහුදු මට්ටම ඉහළ යාම මේ වෙරළ ආශ්‍රිත රටට දැඩි තර්ජනයක් වී ඇත. දකුණු වියට්නාමයේ මැකොන්ග් ඩෙල්ටාව ජාතියේ සහල් නිෂ්පාදනයේ හදවත බඳුය. වසර දහස් ගණනකට පෙර මුහුදු පත්‍ලේ සැඟවී ගත් අතීත ග්‍රීසියේ කතාවල සඳහන් ඇට්ලන්ටාවට සිදු වූ දෙය තවත් වසර සියයකට අඩු කාලයකදී මැකොන්ග් ඩෙල්ටාවේ වැඩි ප්‍රදේශයකට සිදුවිය හැක.
 
වසර 2100 වන විට හෝචි මින් (Ho chi Minh) නගරය ඇතුළු විශාල ප්‍රදේශයක් වන මහ සයුර විසින් ගිල දමනු ඇතැයි ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංශය අනාවැකි පළකරයි. මැකොන්ග් ඩෙල්ටාවට ඉහළින් පිහිටි හොයි ආන් (Hoi An) හි තත්ත්වය වඩා සතුටුදායකය. නමුත් එම ප්‍රදේශයටද මෙම තත්ත්වය උදා නොවේවියැයි කිව නොහැකිය. එම නගරය තුබොන් ගංගාව (Thu Bon River) දකුණු චීන මුහුද හමුවන ස්ථානයේ පිහිටා ඇත. මෝසම් ජල ගැලීම් සිදුවන කාලයට එහි වැසියන් පුරුදු වී ඇත්තේ තම ගෘහ භාණ්ඩ මහත් පරිශ්‍රමයකින් යුතුව ඉහළ මාලයන් කරා ඇද ගැනීමය.
 
වියට්නාමයට එතරම් සුබදායී කාලගුණික අනාවැකි හා එරට පවතින සීමිත සම්පත් ප්‍රමාණය හේතුවෙන් මේ ප්‍රශ්නය සඳහා වියට්නාමය සතුව ඇති විකල්පයන් ප්‍රමාණය අල්පය. 2015 දී එරට පරිසර අමාත්‍ය න්ගුයෙන් මින් ක්වැන්ග් (Nguyen Minh Quang) මාධ්‍යයට පැවසුවේ මෙම අර්බුදයට ඇති හොඳම විසඳුම වැඩි වශයෙන් කඩොලාන ශාක සිටුවීම බවයි.
 
කඩොලාන ශාක වෘක්ෂ (ශාකමය) ලෝකයේ දේශගුණික සුපිරි වීරයෝ බඳුය. වෙරළ තීරයන් දිගේ ගොහොරු බිම්වල, ලවණ ජලයේ වැඩෙන මෙම ශාක තුනී කඳන් හා අකුල් සහිතය. අඳුරේ කිඳා බැසි මකුළු අඬු වැනි කෘශ මුල් ලවණ ජලය පෙරණයක් ලෙස ක්‍රියා කරයි. කඩොලාන ශාක ස්වාභාවික කුණාටුවලට බාධකයක් ලෙසින්ද ක්‍රියා කරන අතර ලවණ ජලය කෘෂිකාර්මික බිම්වලට කාන්දු වීම වැළැක්වීමද සිදු කරයි. මේ සියල්ලටම වඩා කඩොලාන වායුගෝලීය රික්ත ශෝධකයකි. එය වායුගෝලයේ වැඩිපුර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඇද ගැනීමෙන් රික්ත ශෝධකයක් ලෙස ක්‍රියා කරයි. 
 
කඩොලාන පරිසර පද්ධතිවල ගබඩා වී ඇති ඓන්ද්‍රීය කාබන් ප්‍රමාණය අනෙක් වනාන්තර පද්ධතිවලට වඩා තුන් හතර ගුණයකින් විශාල බව ඕස්ට්‍රේලියාවේ චාල්ස් ඩාවින් විශ්වවිද්‍යාලය හා ජාත්‍යන්තර වන පර්යේෂණ මධ්‍යස්ථානය සමග පර්යේෂණ සිදු කරන පර්යේෂක සිජිට් සැස්මිටෝ (Sigit Sasmto) තහවුරු කරයි.
 
කෙසේ වුවත් 1940 ගණන්වලින් පසු වියට්නාමයට එහි කඩොලාන වනාන්තරවලින් භාගයකට වඩා අහිමි විය. ඒ වැඩි වශයෙන්ම නාගරික සංවර්ධනය හා ජලජීවී වගාවන් වෙනුවෙනි. 
 
හොයි ආන් හි 'අනාගතය සඳහා කඩොලාන' (Mangroves for the Future-MFF) නමින් පිහිටුවා ගත් කණ්ඩායමක් එම ප්‍රදේශයේ කඩොලාන සංරක්ෂණය සඳහා පියවර ගනිමින් සිටී. ඔවුන් හොයි ආන් ප්‍රදේශය මුහුදින් වෙන් කරනු ලබන කඩොලාන වනාන්තර රැක ගැනීමේ පියවරක් ලෙස හොයි ආන් පාරිසරික ගමනස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කරයි.
 
මිනිසුන් කාලගුණික විපර්යාසයන් ගැන බොහෝ කතා වෙනවා. නමුත් (පරිසර) තර්ජනය එතරම් පැහැදිලි නැහැ. හුයෙන් ට්‍රෑන් ගෝ (Huyen Tran Ngo) පවසයි. ඇය කැම් තැන්හ් (Cam Thanh) කාන්තා එකමුතුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකාවයි.
 
මේ කඩොලාන වියට්නාමයේ මුහුදු මට්ටම ඉහළ යාමේ අර්බුදය සඳහා ඇති විසඳුමද යන්න කෙසේ වෙතත් ඊට ඇති පිළිතුරෙහි කොටසක් බවට පැහැදිලිය.
 
තනූජා යටවතුර 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.