lakbima.lk

 
ජනප්‍රිය ටෙලි නාට්‍යයක ජනාධිපති චරිතයක් රඟ පෑ පමණින් නළුවෙකුට,  වෙනත් කිසිදු දේශපාලන සුදුසුකමක් හෝ පළපුරුද්දක් හෝ නැතිව, රටක සැබෑ ජනාධිපති බවට පත් වීමට හැකි වුවහොත් එය  අපූරු සහ අසාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකිය හැක්කකි. 
 
එවැන්නක් සැබෑ ලෝකයේ සිදු විය නොහැක්කක් ලෙස ද බොහෝ දෙනෙකු සලකන්නට පිළිවන. නමුත් මෙවැනි අසාමාන්‍ය සිදුවීමක් පසුගිය දිනෙක සත්‍ය වශයෙන් ම සිදු විය. ඒ නැගෙනහිර යුරෝපයේ රටක් වන යුක්රේනයේ ය.
 
වට දෙකකින් යුතුව පැවැත්වුණු යුක්රේනයේ ජනාධිපතිවරණය පසුගිය මාර්තු 31 සහ අප්‍රේල් 21 යන දිනවල පැවැති අතර එම වට දෙකෙන්ම  විශිෂ්ට ලෙස ජය ලබා එරට ජනාධිපතිවරයා ලෙස පත් වූයේ ව්ලොදිමිර් සෙලෙන්ස්කි නැමැති ජනප්‍රිය  නළුවෙකි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනතුරුම සෙලෙන්ස්කි කිසිදු දේශපාලන පළපුරුද්දක් තිබූ පුද්ගලයකු නොවීය. 
 
ඔහුට තිබූ එකම සුදුසුකම ලෙස පෙනුණේ  ඒ වනවිට යුක්රේනයේ ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ 'ජනතා සේවකයා' (ඉඥපමචදබ ධට බඩඥ ඥධනතඥ) නැමැති ටෙලි නාට්‍යයේ ජනාධිපති චරිතයක් රඟපාමින් සිටීමයි. ඒ ටෙලි නාට්‍යයේ ජනාධිපතිවරයා ද ඉතා අහම්බෙන් මෙන් ජනාධිපති ධුරයට පත්වන ගුරුවරයෙකි. මෙම ගුරුවරයාගේ විශේෂත්වය
වන්නේ  ඔහු යුක්රේනයේ දූෂිත දේශපාලන සංස්කෘතිය නිර්දය ලෙස විවේචනයට ලක් කරන කෙනෙකු වීමයි. 
 
වරක් ඔහු මේ ආකාරයෙන් කරන විවේචනයක් ඔහුගේ ගෝලයකු විසින් වීඩියෝගත කරනු ලැබ අන්තර්ජාලයට එක් කෙරේ. මෙම වීඩියෝව ඉතා ඉක්මනින් මහත් ජනප්‍රියත්වයක් හිමි කරගන්නා අතර ඒ ඔස්සේ ගුරුවරයා ද ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙයි. 
 
ඔහු කෙතරම් ජනප්‍රියත්වයට පත්වන්නේ ද යත් අවසානයේ එරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව එයින් ද ජය ලබා යුක්රේනයේ ජනාධිපති ධුරයට පත් වෙයි. 
 
මේ ආකාරයෙන් ටෙලි නාට්‍යයේ හොලොබොරොද්කෝ නැමැති ගුරුවරයා කිසිවෙකුත් නොසිතූ ලෙස එරට ජනාධිපති ධුරයට පත් වූ අන්දමට ම එම චරිතය රඟපෑ සෙලෙන්ස්කිට ද කිසිවෙකුත් නොසිතූ පරිදි යුක්රේනයේ ජනාධිපති වීමට හැකි වීම අපූරුම සිදුවීමක් විය. ඔහු රඟ පෑ හොලොබොරොද්කෝ නැමැති චරිතය යුක්රේන ජනතාව අතර එතරම්ම ජනප්‍රිය වූයේ ඔහු එරට ප්‍රධාන ධාරාවේ, සම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ වංචා  දූෂණ ඇතුළු ජනතා විරෝධී, සමාජ විරෝධී නොපනත්කම්වලට එරෙහිව නිර්භයව, අවංකව කටයුතු කරන චරිතයක් වීම නිසා ය. හොලොබොරොද්කෝ ටෙලිනාට්‍යය තුළ ජනාධිපති පදවියට පත් වූ පසු  එරට දූෂිත දේශපාලනඥයින් සහ ඔවුන්ට හිතවත් මාෆියා කල්ලි ඔහුට විරුද්ධව සටනට අවතීර්ණ වන බව සඳහන් වන අතර හොලොබොරොද්කෝ මේ සියලු පාර්ශ්වවලට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගල කරන්නෙකු බවට පත් වෙයි. 
 
සිය ජනප්‍රියම ටෙලි නාට්‍යයේ, ජනප්‍රියම වීරයා සැබෑ ලෝකයේ ද ජනාධිපති වුවහොත් ඔහු යුක්රේනය පිරිසිදු කරනු ඇතැයි බොහෝ ඡන්දදායකයින් කල්පනා කළාක් මෙනි. ව්ලොදිමීර් සෙලෙන්ස්කිට එරෙහිව එරට දේශපාලන ක්‍ෂේත්‍රයේ පතාක යෝධයින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියදීත් ඒ සියලු දෙනා පරදවා ජය ගන්නට ඔහුට හැකි වූයේ ජනතාවගේ මෙම ආකල්පය නිසා බව පෙනේ. ඔහු සමග තරග කළ එක් අපේක්ෂකයෙකු වූයේ යුක්රේනයේ හිටපු ජනාධිපති  පෙටේ‍රා ‍පොරොෂෙන්කෝය. 
 
තවත් අපේක්ෂිකාවක වූ යුලියා ටිමොෂෙන්කෝ දෙවතාවක්ම එරට අගමැති ධුරය හෙබ වූ කෙනෙකි. නමුත් ඔවුහු දෙදෙනාම ටෙලි නාට්‍ය නළුවාට පරාජය වූහ. සෙලෙන්ස්කි මේ ආකාරයෙන් ජයග්‍රහණය හිමි කර ගැනීම බොහෝ දේශපාලන  නිරීක්ෂකයින් සැලකුවේ යුක්රේනයේ සම්ප්‍රදායික දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ පිළිබඳව ජනතාව තුළ ඒ වනවිට කැකෑරෙමින් පැවැති කෝපය, පිළිකුල, විරෝධය පිළිබිඹු කළ අවස්ථාවක් ලෙසිනි. 
 
ඒ වනවිට යුක්රේනය පාලනය කළ ‍පොරොෂෙන්කෝගේ රජයට එරෙහිව ද විශාල වශයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබිණි. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ දී සෙලෙන්ස්කිගේ ප්‍රධානම සටන් පාඨයක් වූයේ යුක්රේන දේශපාලනයට අරක් ගත් වංචා දූෂණ අතුගා දමන්නට කටයුතු කරන බවයි. 
 
කෙසේ හෝ වේවා, කිසිවෙකුත් බලා‍පොරොත්තු නොවූ ආකාරයෙන් සෙලෙන්ස්කි එරට ජනාධිපති ධුරයට පත් වීම සමහරුන් තුළ තැති ගැන්මක්, තිගැස්මක් ඇති කළ කාරණයක් ද විය. යුක්රේනය තුළ අද වනවිට පවතින්නේ ඉතාම ව්‍යාකූල, සංකීර්ණ වාතාවරණයකි. මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ සෙලෙන්ස්කි වැනි, කිසිදු දේශපාලන පළපුරුද්දක් නැති, ටෙලි නාට්‍ය නළුවෙකු ජනාධිපති පදවියට පත් වීමෙන් රට තවදුරටත් අවුල් වනු ඇත් ද යන සැකය මෙම පාර්ශ්ව තුළ ඇති වූ බව පෙනිණි. 
 
එක අතකින් රටේ ආර්ථිකය තිබෙන්නේ එතරම් යහපත් තත්ත්වයක නොවේ. ජනතාවගෙන් බොහෝ දෙනෙකු ජීවත් වන්නේ විවිධ අගහිඟකම් මධ්‍යයේ ය. එමෙන්ම රටේ නැගෙනහිර කොටස්වල බෙදුම්වාදී කැරලිකරුවන්ද අරගල කරමින් සිටින අතර මෙම බෙදුම්වාදීන් වෑයම් කරමින් සිටින්නේ එම ප්‍රදේශ යුක්රේනයෙන් නිදහස් කර ගැනීමට ය. මෙම කැරලිකරුවන්ට රුසියාවේ සහය ලැබෙන බව ද පැවැසේ. 
 
දශක කිහිපයකට පෙර සෝවියට් සංගමයේ සාමාජික රටක් ලෙස පැවැති යුක්රේනය මෑතක සිට බටහිර කඳවුර වෙත වඩා සමීප වෙමින් සිටින බවක් දැකිය හැකි විය. 
 
මේ ගැන රුසියාව සිටින්නේ එතරම් ප්‍රසාදයකින් නොවේ.  මෙම පසුබිම තුළ යුක්රේනයේ කොටසක් වූ ක්‍රිමියාව ආක්‍රමණය කර එය රුසියාවට ඈඳා ගැනීමට ද 2014 වසරේ රුසියාව පියවර ගත්තේය. ඉදිරියේදී ද තවත් ප්‍රදේශ, විශේෂයෙන් රුසියානු බස කතා කරන ජනයා වාසය කරන ප්‍රදේශ යුක්රේනයෙන් වෙන් කර ගැනීම රුසියාවේ 
අදහස බවක් පෙනේ. 
 
සෙලෙන්ස්කි ට භාර වී ඇත්තේ මෙවැනි සංකීර්ණ අර්බුද රැසකට මැදි වූ රටකි. පසුගිය 20 වෙනි දින ඔහු සිය ධුරයේ දිව්රුම් දුන් අතර දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මෙම අපූරු, සුවිශේෂී ජනාධිපතිවරයා සිය ඉදිරි කටයුතු කවරාකාරයෙන් මෙහෙයවනු ඇත්ද යන්න පිළිබඳවය.
 
මුල් කාලයේ සෙලෙන්ස්කි රඟපෑමට එක්ව ඇත්තේ විකට නළුවෙකු වශයෙන් බව සඳහන් වේ. ඒ නවසිය අනූව දශකයේ ය.
පසුව ඔහු රූපවාහිනි සහ සිනමා නිර්මාණ රැසක විවිධ චරිත නිරූපණය කරමින් ජනප්‍රියත්වයට පත් වූ අතර 2015 වසරේ පටන් විකාශය වූ 'ජනතා සේවකයා' ඔහු රඟපෑ ජනප්‍රියම ටෙලි නාට්‍යය විය. රංගනයට එක් වීමට පෙර සෙලෙන්ස්කි නීතිය හදාරා ඇති බව ද සඳහන් වේ
 
ඔහුගේ පියා පරිගණක ක්‍ෂේත්‍රයේ මහාචාර්යවරයකු වන අතර මව ඉංජිනේරුවරියකි. 2003 වසරේ සෙලෙන්ස්කි ඔලීනා කියැෂ්කෝ සමග විවාහ විය. මේ වනවිට ඔහු දෙදරු පියෙකි.
 
 කිත්සිරි මල්වත්ත
  1. ප්ලාස්ටික් බඳුනක ජීවත් වන නයිජීරියානු යුවතිය
  2. භූතානයේ දොස්තර අගමැති
  3. පෞද්ගලික ආරක්ෂිකාවගේ ආරක්ෂාව තායිලන්ත රජු යටතට
  4. ඇමෙරිකාවට ආදායම් බදු ගෙවන බ්‍රිතාන්‍යයේ අලුත් කුමාරයා
  5. වසර මිලියන පන්සීයක් පැරණි ග්‍රේට් කැනියන් නිම්නය
  6. බෘෘනායි රාජ්‍යයේ සමලිංගිකයන්ට අලුත් නීතියක්
  7. ලොව බරින් වැඩිම දැරිය ආලියා සලීම්
  8. සුඩානයේ යුද්ධය වෙනුවෙන් පාප්වහන්සේගේ වැඳ වැටීම
  9. අවුරුදු 65,000කට පසු මානව වර්ගයාට අලුත් නෑයෙක්
  10. ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්
  11. බ්‍රෙක්සිට් නිසා මේ තවත් අමාරුවේ
  12. රජ පවු‍ලේ අයෙක් පළමු වරට කියුබාවට
  13. කථානායකට රට භාරදී ජනපති ගෙදර යයි
  14. වියපත් පුද්ගලයන් ජපානයෙන් වැඩිපුර වාර්තාවන්නේ ඇයි?
  15. ඉන්දියාවේ ගැමි කතුනගේ දුක කියා ඔස්කාර් සම්මානය දිනාගත් චිත්‍රපටය
  16. රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි
  17. ලෝකයේ දූෂිතම නගර 20න් 18ක්ම දකුණු ආසියාවේ
  18. අල්කයිඩාවේ මීළඟ නායකයා ඔසාමා බින් ලාඩ්න්ගේ පුත් හම්සාද?
  19. “අයිනු”වන්ට රජයේ පිළිගැනීම ලැබේ
  20. කාල් මාක්ස්ගේ සොහොන්කොතට සති දෙකක් තුළ ප්‍රහාර දෙකක්
  21. 2020 ඔලිම්පික් පදක්කම් කසළ ගොඩකින්
  22. රුසියාව අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීමේ සූදානමක
  23. කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි
  24. වකුගඩුවක් දන් දී පුංචි සමනළියකගේ දිවි බේරාගත් ගුරුවරිය
  25. චීනය තුළ ජපනුන් හැදු මරණයේ දොරටුව

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.