lakbima.lk

ලෝකයේ ජනගහණය අධිකතම කුඩා දූපත

 

‘සැන්ටා කෲස් ඩි අයිසොලේට්’ දූපත වනාහි කොලොම්බියාවට ආසන්න මුහුදුවෙරළේ පිහිටා ඇති කුඩා දූපතකි. මෙය සැන් බර්නාඩ් දූපත් සමූහය සමඟ පිහිටා ඇත. සැන්ටා කෲස් ප්‍රථම වරට ජනාවාස වී ඇත්තේ මීට වර්ෂ 150 කට පෙරාතුව ය.

විශාලත්වයෙන් පාපන්දු පිටියක් තරම් වන සැන්ටා කෲස් දූපත කොරල් පරයක් මත පිහිටියා වූ ද පසු කාලීනව මිනිසුන් විසින් එම විසල් කොරල් පරය මත නිවාස තනා ගත් කුඩා රාජ්‍යයකි. මෙහි ගංඟා ඇළ දොල කිසිවක් නැත.

දැනට ජීවත් වන ජන ගහණය පුද්ගලයන් 500ක් පමණ වේ. ඔවුන් සතු ‍නිවාස ප්‍රමාණය 150කි. මෙහි මුළු ජනගහණයෙන් 60% ක් වන්නේ කුඩා ළමුන් ය. එමෙන් ම 2017 වර්ෂයේ උපන් ළමුන් සංඛ්‍යාව 7ක් වන අතර කිසිවෙක් මිය ගොස් නැත.

සැන්ටා කෲස් හි ජීවිතය ඉතා කටුක ය. එනම් පවතින පිරිසිදු  ජලය ඉතා අවම තත්වයේ පැවතීමයි. ගිම්හාන ඝෘතුවේ දී ජලය සපයනුයේ කුඩා නැව් මඟිනි. එමෙන් ම මුලු දූපත වෙත විදුලිය සැපයෙන්නේ එක් ජෙනරේටරයකින් හා සූර්ය පැනල දෙකකිනි. මෙහි ප්‍රධාන මාර්ග 4 කි. අතුරු පාරවල් 10 කි. දූපත තුළ කිසිදු ආකාරයේ වාහනයක් නැත. ඔවුන් සතු  ප්‍රධාන ගමනාගමන මාධ්‍යය වන්නේ ඩිංගි බෝට්ටු මඟින් සිදු කරන ප්‍රවාහන යයි.

මුලු දූපතටම ඇත්තේ එක් පාසලක් පමණී. එහි ගුරුවරු 20 ක් සිටින අතර ළමුන් 170 ක් මාරුවෙන් මාරුවට උගනියි. ඒ ඉඩකඩ රහිත වීම හේතු කරගෙන ය.ප්‍රධාන ජීවිකාව මාලු ඇල්ලීමයි. එය බොහෝ විට සිදු කරනුයේ හාර්පූනය යොදා ගනිමින් එල්ලයට මාලු ඉලක්ක කර ගනිමිනි. ‍හාර්පූනය මඟින් පොකිරිස්සන් ,ඉස්සන් හා කකුලුවන් අල්ලා ගන්නා අතර  කැස්බෑවන් හමු වූ විට ඔවුන් හෝටල් වෙත ලබා දී ආහාර ද්‍රව්‍ය ඒ වෙනුවට හිලව් කරගනියි.

මසුන් ඇල්ලීමට අමතරව  මිනිසුන් සිය ජීවිකාව සිදු කරන්නේ සංචාරක කර්මාන්තයෙනි. දූපත තුළ ජන ජීවිතය නැරඹීමට වර්ෂයකට පැමිණෙන සංචාරකයන් ගණන දහස් ගණනකි. ඔවුන් හට විවේක ගැනීමට කිසිදු පහසුකමක් නොවුණත් බොහෝ වශයෙන්  පිරිස් එහි පැමිණෙති.  මෙම දූපත පිරිසිදුව තබා ගැනීම සඳහා තරුණයින් ඇතුළු ළමා පිරිස් වෙහෙසෙයි. බොහෝ දුෂ්කරතා මැද ඔවුන් ගෙවන ජීවිතය සරල හා සුන්දර බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

 

 

 

 

    

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.