lakbima.lk

කියුරියොසිටි සිට අභ්‍යවකාශයේ කඳු තරණය කරයි

මොටෝරියක ප්‍රමාණයෙන් යුතුවූ කියුරියොසිටි රෝවර් යන්ත්‍රය ගැන ලොව අවධානය යොමු වන්නට පටන් ගත්තේ මීට හත් අට වසරක පමණ සිටය. නාසා ආයතනයේ අඟහරු ගවේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසක් ලෙස සැලකුණු Curiosity රෝවරය අභ්‍යවකාශයට පිවිසුණේ 2011 නොවැම්බර් 26 වැනිදාය. එය අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්සේ තවත් නව මාසයක ඇවෑමෙන්, නොඑසේ නම් 2012 අගෝස්තුවේ හයවැනිදාය. JPL, බෝයිං හා ලොක්හීඩ් චාර්ටින් සමාගම්වල ඒකාබද්ධ නිෂ්පාදනයක් වන Curiosity මේ වන විට අඟහරු මතුපිට දින 2373 ක් පමණ ගත කර තිබෙන බව පැවැසෙයි.

මේ ජනවාරියේ යළිත් Curiosity රෝවරය ගැන කතාබහක් ඉපදුණේ මේ සූර වීර යානයේ අලුත්ම ක්‍රියාකාරකම සමගිනි. නාසා ආයතනය තොරතුරු දක්වා ඇති අන්දමට එය අත ගසා ඇති අලුත්ම කාරිය නම් අඟහරු ග්‍රහයා මත පිහිටි කිලෝමීටර පහක පමණ උසකින් යුතුවූ Mount Sharp ලෙස හඳුනාගත් කන්ද තරණය කිරීම ඇරඹීමයි.

අඟහරු ග්‍රහයා මත එහා මෙහා යාම මේ රෝවර් යන්ත්‍රයට වුව ඒ හැටි පහසු කටයුත්තක් වූයේ නැත. කිහිප වරක්ම එහි රෝදවලටද හානි සිදුවී තිබුණ බවක් පැවැසුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් මේ යන්ත්‍රයේ ඇක්සලෝමීටරයවලට හා ජයිරොස්කෝප්වලට පින් සිදුවන්නට ඒ හානිවලින් සිදුවුණු අයහපත දරා ගන්නට පුළුවන්කමක් ලැබි තිබේ. විද්‍යාඥයන් පවසන්නේ මේ උපකරණවල ක්‍රියාකාරිත්වය හේතුවෙන්, උපකාරයෙන් ග්‍රහයා මත ඇති ගුරුත්වය හඳුනා ගන්නට යානයට ඉඩකඩ ලැබි ඇති බවය.  

2012 වර්ෂයේ අඟහරු ග්‍රහයා මත ගොඩබට කියුරියොසිටි ස්මාර්ට් ජංගම දුරකථනයක දකින්නට ලැබෙන ආකාරයෙන් ඇක්සලරොමීටර හා ජයිරොස්කෝප්වලින් සන්නද්ධ කර තිබිම විශේෂත්වයකි. මේ සංවේදී උපාංග තුළින් පෘථිවියේ සිටම බොහෝ තොරතුරු රෝවර් යානයෙන් ලබා ගන්නටත්, එයට මෙහි සිට යම් යම් දත්ත ලබා දෙන්නටත් උපකාරී වෙයි.

අනෙක් අතට Curiosity සතු ඇක්සලරොමීටරවලින් අමතර වාසියක්ද අත්වී තිබේ. එනම් ඒවා ගුරුත්වමාන  ලෙසද යොදා ගන්නට හැකිවීමයි. එතුළින් අඟහරු භූගෝලය පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගන්නට ඉඩ ලැබෙයි. කියුරියොසිටි යානය සිය ගමන නවත්වා සිටින කාලය අතරතුරු වුවද මේ උපාංග ක්‍රියාත්මකය. අඟහරු මත සිදුවන ඉතාම සියුම් මට්ටමේ අව ගුරුත්ව වෙනස්කම් හඳුනා ගන්නට එය සමත්ය. මේ උපාංග භාවිත කරමින් හත්සියයක් පමණ මිණුම් ප්‍රමාණයක් අධ්‍යයනය කරන්නට විද්‍යාඥයන්ට ඉඩ ලැබේ. එතුළින් මේ අඟහරු කඳු - දැවැන්තයා ගේ සැඟවුණු රහස් රාශියක් හෙළිදරව් කරගන්නට ඉඩ ලැබේ යැයි අපේක්ෂිතය.

මවුන්ට් ෂාප් හෙවත් මහා මවුන්ට් කන්ද අසාමාන්‍ය පිහිටීමකින් යුතු එකකි. එය පිහිටා ඇත්තේ ආවාටයක් තුළයි. අඟහරු ග්‍රහයා මත පිහිටි, හඳුනාගත් ආවාටවලින් එකක් වූ ගේල් ආවාටයෙහි එය පිහිටා තිබේ. ආවාටයක් තුළ කඳු වැටියක් නිර්මාණය වූයේ කෙසේද යන්න අදටත් නිශ්චිත පිළිතුරක් නොමැති ප්‍රශ්නයක්ව තිබේ.

ඇතැමකු අනුමාන කරන්නේ වසර දස ලක්ෂ ගණනක් මුළුල්‍ලේ එක්රැස්වූ ආසාදිතවල ප්‍රතිඵලයක් වශයෙන් එය නිර්මාණය වන්නට ඇති බවය. මේ තර්කය සත්‍යයක් වේ නම් මවුන්ට් ෂාප් ඉතා ශක්තිමත් පදනමකින් යුත් කන්දක් විය හැකි බව විද්‍යාඥයන්ගේ අනුමාන කිරීමයි. එය නිර්මාණය වී ඇති අන්දම, ඝනත්වය හා ගුරුත්වය යනාදී කාරණා රෝවර් යානයේ පිහිටෙන් හඳුනා ගන්නට ලැබේ යැයි ඔවුහු අපේක්ෂා කරති.

1970 පමණ ඈතකදී නාසා ආයතනය මගින් හඳුනා ගන්නට ලැබුණු Mount Sharp  නිල වශයෙන් එනමින් හඳුන්වන්නට නාසා ආයතනය කටයුතු කළේ ඇමෙරිකානු භූ විද්‍යාඥයකු වූ රොබර් වී. ෂාප් වෙනුවෙන් කෙරෙන උපහාරයක් වශයෙනි. වසර බිලියන 3.3-3.8 දක්වා පැරණි වන්නේ යැයි සැලකෙන ගේල් ආවාටය මත තවමත් විසඳා ගත නොහැකි ලෙස තේජාන්විතව නැගී සිටින මවුන්ට් ෂාප් මුදුන කිලෝමීටර 5.5ක උසකින් යුතුය. පෘථිවිය මත පිහිටි උස් මුදුන ගැන කල්පනා කර බලද්දී ඊට වඩා වැඩි උසකින් යුතු එවරස්ට් කන්ද (8.8 k.m.)  හා කිලිමන්ජාරෝව (5.9 k.m.) අපට සිහිවෙයි.

නාසා පර්යේෂණ ර්ධභදබ ඉඩචපන වෙත හැරෙන්නේ ඒ අවට එනම් ගේල් ආවාටයේ සිදුකරන ලද පර්යේෂණ ගණනාවක් අවසානයේදීය. හයිඩ්‍රජන් අනු පරීක්ෂා මගින් විද්‍යාඥයන් තහවුරු කර ගත්තේ අතීතයේදී එහි ජලය තිබෙන්නට ඇති බවය. එමෙන්ම ඉතා කුඩා ජීවයක්  එහි පවතින්නට ඉඩකඩ තිබුණු බවත් ඔවුහු අනුමාන කළෝය. මේ ආවාටයෙහි වූ දිය සිඳී ගියේ කෙසේදැයි අනාවරණය කරගන්නට උත්සාහ දරන NASA විද්‍යාඥයෝ Mount Sharp කන්දේ අලුත් ස්ථර අධ්‍යයනය තුළින් ඒ ගැන යම් ඉඟියක් ලබාගන්නට හැකි වෙතැයි කල්පනා කරති.

කියුරියොසිටි ව්‍යාපෘතියේ විද්‍යාඥ අශ්වින් වාසවාදා මේ කාරිය පිළිබඳව පසුවන්නේ බලා‍පොරොත්තු සහගතවය. මවුන්ට් ෂාප් තවමත් ඉඟි නොලද ප්‍රහේලිකාවක් වගෙයි. ඒ ගැන දැන ගන්න, හෙළිදරව් කරගන්න තියෙන කාරණා බොහොමයි. අපි විශ්වාස කරනවා මේ අපූරු ප්‍රහේලිකාව පුරවා ගැනීමේ මුල් පියවරක් විදිහට Curiosity  අපට මූලික ඉඟි කිහිපයක් හරි හොයා දෙන්නට සමත් වෙයි කියලා.

පාලිත ජයකොඩි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.