lakbima.lk

රැකියා තුන්දහසක් අහිමි කරමින් ලොව ලොකුම ගුවන් යානය කඩාවැටෙයි

වෙළෙඳ ලෝකයේ ඇත්තේ නොනිවෙන තරගයකිි. එය මහපොළව මත නොව ගුවනටද විහිදෙන්නෙකි. සමාගම් ගණනාවක් ලෝකයේ ඉස්තරම්ම කාර් විකුණන ආයතනය වීමට ලොකු සටනක යෙදී සිටිද්දී අහසේ ආධිපත්‍යය තමන් සතුකර ගැනීමට ලෝකයේ ප‍්‍රබලතම බහුජාතික සමාගම් දෙකක් එකිනෙකාගේ බෙලි කපා ගනිමින් සිටින බව කිසිවෙකුට රහසක් විය නොහැක. මේ දෙගොල්ලා නම් අන් කවරකුවත් නොව ගුවන් යානා නිපදවන ලොව ප‍්‍රබලතම සමාගම් දෙක වූ බෝඉන්ග් හා එයාර් බස්ය.

බෝඉන්ග් සමාගම ඇමෙරිකාවේදී පටන් ගැනුණේ 1916 වැනි ඈත කාලයේදීය. ඇමෙරිකාව අහසේ රජ වීම ගැන උරණව සිටි ප‍්‍රංශය, මහා බි‍්‍රතාන්‍ය හා ජර්මනිය එකතු වී 1967 ජූලි මාසයේ එයාර් බස් සමාගම පටන් ගන්නා ලදී.
මුල සිටන්ම එයාර් බස් සමාගමේ ඉලක්කය වූයේ ඒ වන විට බෝඉන්ග් සමාගම විසින් නිපදවා අහසේ රජ කරමින් සිටි එන්ජින් හතරේ බෝඉන්ග් 747 ගුවන් යානය පරාජය කිරීමයි. වසර දෙකක් පමණ රහසිගතව කරන පරීක්‍ෂණවල ප‍්‍රතිඵල අනුව 1969දී එයාර් බස් සමාගම A300 නමින් ආසන 300කින් සමන්විත නවීන පන්නයේ ගුවන් යානයක් නිපදවීය.

මෙම නවීන යානා වර්ගයේ පාලන මැදිරිය පාලන යන්ත‍්‍රයද ප‍්‍රංශයේ නිපදවන ලද අතර ගුවන් යානයේ මගීන් ගමන් ගන්නා මැද කොටස ජර්මනියේත් යානයේ අත්තටු බි‍්‍රතාන්‍යයේ සමාගම්වලිනුත් නිපදවන ලදී.

1970 සැප්තැම්බර් 3 දා එයාර් බස් සමාගම තමන්ගේ මංගල ගුවන් යානය වූ A300 ප‍්‍රංශයේ  එයාර් ෆ‍්‍රාන්ස් ගුවන් සමාගමට අලෙවි කරන ලදී. මෙම ගුවන් යානය බෝඉන්ග් 747ට වඩා පළල් හා තෙල් ධාරිතාවය අඩු ගුවන් යානයක් වූ නිසා ජර්මනියේ ලූෆ්තන්සාද, දකුණු අප‍්‍රිකාවේ  දකුණු අපි‍්‍රකානු ගුවන් සේවය, තායි ගුවන් සේවය වැනි ලොව ඉහළ පෙළේ ගුවන් සමාගම්වලින් එයට වැඩියෙන් ඉල්ලූම් ලැබෙන්නට විය.

නමුත් තමන්ගේ රටේ නිපදවන බෝඉන්ග් 747 යානය පරාජය කිරීමට යුරෝපීය රටවල් ඉදිරිපත් වීම ගැන තරහා වූ ඇමෙරිකන් ගුවන් සමාගම් A300 යානාව මිලට ගැනීම තරයේ ප‍්‍රතික්‍ෂේප කළෝය.

මෙම අසාධාරණ තහනම පිටිපස සිටින්නේ ඇමෙරිකානු රජය බව වටහා ගත් එයාර් බස් සමාගම ඇමෙරිකාවේ ප‍්‍රබල ගුවන් සමාගමක් වූ ඊස්ටන් එයාර්ලයින් සමාගමට A300 යානා හතරක් හය මසක් පාවිච්චි කිරීමට නොමිලයේ බාර දුනි.  ”ඔයාලා හය මාසයක් අපේ ගුවන් යානා හතර පාවිච්චි කරලා ලාභ ලබන්න.

මගීන් බෝඉන්ග් 747 ට වැඩිය අපේ A300 ට කැමති වෙන බව අපිට ෂුවර්. එහෙම වුණේ නැතිනම් හය මාසෙකට පස්සේ ගුවන් යානා හතර අපිට ආපහු භාර දෙන්න. අපට ඩොලරයක්වත් ගෙවන්න එපා. එයාර් බස් සමාගම ඊස්ටන් එයාර් ලයින් සමාගමට කීය. ඔවුන් ද තමන්ට නිකන්ම ලැබුණු තෑග්ග සතුටින් භාරගෙන A300 යානාය ඇමෙරිකන් අහසේ ධාවනය කරන්නට වූහ.

A300 නවීනතම යානය ඇමෙරිකාවේ ගුවන් මගීන් අතර කොතරම් ජනප‍්‍රිය වූවා ද කියනවා නම් හය මාසය අවසානයේදී ඊස්ටන් එයාර් ලයින් සමාගම තමන්ට ණයට ලැබුණු යානා හතරට අයත් මුළු මුදලම ගෙව්වා පමණක් නොව තවත් ගුවන් යානා 23ක්  එයාර් බස් සමාගමෙන් ඇණවුම් කළේය.

අවුරුදු හයක දැවැන්ත ප‍්‍රයත්නයකින් පසු යුරෝපීය එයාර් බස් සමාගම ඇමෙරිකාව අල්ලා ගත්තේ එසේය. මේ සිදුවීම ඇමෙරිකාවේ බෝඉන්ග් සමාගමට දරා ගත නොහැකි පහරක් විය. ඔවුන් එයාර් බස් 300 ගුවන් යානය පැරදවිය හැකි ජෙට් යානයක් නිපදවීමට වහ වහා රහසේ කටයුතු කළෝය.

එහි ප‍්‍රතිඵලය වූයේ බෝඉන්ග් සමාගම 1981 දී බෝඉන්ග් 747 ජෙට් යානය නිපදවා නැවත අහසේ බලය අල්ලා ගැනීමයි.

එයාර් බස් සමාගමත් මේ ද්වන්ධ යුද්ධය අතහැරියේ නැත. ඔවුන් තනි කොරිඩෝරයේ A320 යානය ඉක්මනට නිපදවා 747 යානය පරාජය කළෝය. මේ වන විට ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති සිවිල් ගුවන් යානය  A320 යානයයි. පාලක මැදිරිය තනිකරම ඩිජිටල් තාක්‍ෂණයෙන් යුතුව නිපදවා ඇති A320 ගුවන් යානා 14700ක් අද ලොව පුරා අහසේ සැරිසරමින් එයාර් බස් සමාගමට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දෙමින් සිටිති.

බෝඉන්ග් සමාගමේ ලොකුම දායකයන්ව සිටි ඇමෙරිකාවේ නෝර්ත් වෙස්ට් ගුවන් සමාගම බෝඉන්ග් ගුවන් යානා අතහැර A320 යානා 101ක් එකවර ඇණවුම් කිරීම බෝඉන්ග් සමාගමට ගෙදරට ඇවිත් ගහලා ගියා වැනි බරපතළ අවමානයක් විය.

එයාර් බස් සමාගමේ ගුවන් යානා තව තවත් ජනප‍්‍රිය වන්නට පටන් ගත් විට 1991දී ඔවුන් A340 ද 1992 දී A330 ගුවන් යානා ද ලොවට හඳුන්වා දුන්නේය. අපගේ ශී‍්‍ර ලංකා ගුවන් සේවයේ ධජය යටතේද A320 සහ A330 යානා 27ක් ලොව පුරා පියාසර කරයි.

වසර 2000 වන විට එයාර් බස් සමාගම පැරදවීම සඳහා ලොව විශාලතම ගුවන් යානයක් නිපදවීමට බෝඉන්ග් සමාගම සැලසුම් කරන බව ආරංචි වුණ එයාර් බස් සමාගම එයාර් බස් 380 දැවැන්ත ගුවන් යානය එළිදැක්වීමට කටයුතු කළේය.

අවුරුදු හයක් තිස්සේ සැලසුම් කොට ඩොලර් බිලියන 12ක වියදමින් නිෂ්පාදනය කළ ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වූ එයාර් බස් 380 යානය 2007 ඔක් 25 දා තම මංගල ගුවන් ගමන සිංගප්පූරුවේ සිට සිඞ්නි නුවර දක්වා පියඹා යන ලදී. ඉතාමත් දර්ශනීය ්380 ගුවන් යානය      අහසට නගිද්දී හා බහිනවා දකින්නට සිංගප්පූරුවේ හා සිඞ්නි නුවර ලක්‍ෂ දෙකක ජනතාව ප‍්‍රීති ඝෝෂා නඟමින් උඩ බලාගෙන අත වැනුවෝය.

තට්ටු දෙකකින් සමන්විත මගීන් 600කට ගමන් කළ හැකි A380 යානය අඩි 238ක් දිග හා අඩි 80ක් උසය. පළල අඩි 260 කි. මගීන් 544කට ඉතා සුඛෝපභෝගීව ගමන් කළ හැකි මෙම යානයට එක වරක් තෙල් ටැංකිය පුරවාගැනීමෙන් හැ. 8480ක් ගමන් කළ හැකිය.

2018 අග වන විට මිලියන 120ක් ගුවන් මගීන් මෙම ගුවන් යානයෙන් අහසට නැග තිබේ.

්380 මුලින්ම නිෂ්පාදනය කරන ලද 2007 වකවානුවේ මා සේවය කළේ ඉංජිනේරු උපදේශකවරයකු ලෙස එ් ගුවන් යානයේ අත්තටු නිපද වූ බි‍්‍රතාන්‍යයේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් නැමැති ප‍්‍රසිද්ධ ගුවන් සමාගමේය. එම දිනවල එම සමාගම ඇතුළු උපාංග සපයන සියලූම සමාගම්වල සේවකයන් සිටියේ ඉතාමත් උද්යෝගයෙනි.

සාමාන්‍යයෙන් අලූත්ම ගුවන් යානයක නිෂ්පාදනය අවුරුදු 25ක් පමණ දිගට පැවැත්වෙන නිසා ගුවන් යානා උපාංග හා අමතර කොටස් නිපදවන ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් වැනි සමාගම් ද A380 ට එංජින් සැපයූ රෝල්ස් රොයිස් සමාගමේ   ද අනාගතය අවුරුදු 50කට පමණ    රැකෙන බවට සැවොම තුළ තද බල විශ්වාසයක් පැවතුණි.

A380 ගුවන් යානය පළමුවන පංතියේ හා ව්‍යාපාරික මගීන්ට අතිශයින් සුඛෝපභෝගී ගුවන් යානයයි. A380 යානය අනිකුත් යානාවලට වඩා පළල නිසා එහි ආසන පළල හා සනීපදායකය. මධුවිත පානය කරන මගීන් සඳහා බාර් දෙකක් එහි තිබේ.

නමුත් අවුරුදු 10ක් තිස්සේ ඩොලර් බිලියන 15ක් වැය කරමින් පර්යේෂණ පවත්වා අවුරුදු 5ක් තිස්සේ නිෂ්පාදනය කරන ලද A380 යානයේ මිල ඩොලර් මිලියන 445ක් විය. ඩොලරයක්    රු. 180ට ගණන් බැලූවොත් එය රුපියල් මිලියන 80100ක්. පමණ වෙයි. එනිසා මේ අධික වියදම දරන්න පුළුවන් තරමේ ධනවත්ම ගුවන් සේවාවන් වූයේ අරාබි ගුවන් සේවාවන්ය.

A380 ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වූ නිසාත් එහි ඇති අධි පහසුකම් නිසාත් අරාබි ගුවන් සේවා ලහි ලහියේ A380 මිලදී ගැනීමට ඉදිරිපත් විය. එමිරේට්ස් ගුවන් සේවය එකවරම ගුවන් යානා 50ක් ඇණවුම් කළ අතර කටාර් ගුවන් සේවය යානා 10ක් ඇණවුම් කළේය.

  A380 ගුවන් යානය ඉතා පළල් නිසා එය ගොඩ බැස්වීම සඳහා පැරිසියේ,  ඕස්ටේ‍්‍රලියාවේ හා අරාබිකරයේ සමහර ගුවන් තොටුපළවල් අධික වියදමකින් පළල් කරන ලදී. මීට වසරකට පමණ පෙර ශී‍්‍ර ලංකාවේ කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය ඩොලර් මිලියන 37ක් වියදමින් අලූත් කරන ලද්දේ එමිරේට්ස් හා කටාර් ගුවන් සේවයට අයත් A380 යානයට ශී‍්‍ර ලංකාවේ ගොඩ බැස්සීමට ඉඩ ලබා දීම සඳහායි. 

නමුත් බෝඉන්ග් සමාගමත් ලෙහෙසියෙන් සටන අතහැරියේ නැත. A380 යානය එළි දක්වා වසර 4කට පසු ඔවුන් බෝඉන්ග් 787 ඞී‍්‍රම්ලයිනර් නැමැති නවතම සුඛෝපභෝගී ජෙට් ගුවන් යානය ලොවට හඳුන්වා දුනි.

එයාර් බස් සමාගමේ ලොක්කෝ බෝඉන්ග් සමාගමේ අලූත්ම ගුවන්යානයට සමච්චල් කළෝය. ”අයියෝ ඞී‍්‍රම්ලයිනර් ප්ලේන් එකට අපි භය වෙන්නේ මොකටද? ඒක අඩි 206ක් දිගයි. අපේ යානා එක අඩි 238යි. ඒක පළල අඩි 197යි. අපේ A380  අඩි 261 පළලයි. එයාලට ගෙනියන්න පුළුවන් මගීන් 290යි. අපිට 555ක් ගෙනියතෑකි.ඒ නිසා එයාලට බැහැ අපිව පරද්දන්න. ඊළඟ අවුරුදු පනහ අහසේ රජ වෙලා ඉන්නේ අපේ A380 යානා එක තමයි.” ඔවුන් මාධ්‍යයට ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළෝය.

නමුත් පසුගිය පෙබ. 14 වැලන්ටයින් දවසේ එයාර් බස්    සමාගමේ කළමනාකාර ටොම් එන්ඩ‍්‍රස් හදිස්සියේ ජනමාධ්‍ය හමුවක් කැඳවීය. බෝඉන්ග් සමාගමට හොඳ පාඩමක් ඉගැන්වීම සඳහා එයාර් බස් ආයතනය තවත් අලූත් ගුවන් යානයක් නිපදවන්නට තීරණය කොට ඇතැයි අනුමාන කළ ලෝක ජනමාධ්‍යකරුවන් 500ක් පමණ වහාම එයාර් බස් මූලස්ථානයට රැස් වූහ.

නමුත් ජනමාධ්‍යකරුවන්ට දැන ගන්නට ලැබුණේ කිසිවකු බලාපොරොත්තු නොවූ පුවතකි. ”ලෝකයේ ලොකුම මගී ගුවන් යානය වන අපේ A380 යානය නිෂ්පාදනය කිරීම නවත්තන්නට අපි කනගාටුවෙන් තීරණය කළා. දැනට ගුවන් සමාගම් කිහිපයක් අපෙන් ඇණවුම් කරලා තියෙන A380 යානා 25ක් 2021 වන විට නිෂ්පාදනය කරලා අයිතිකරුවන්ට භාර දුන්නට පස්සේ තවදුරටත් A380 යානා නිපදවන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.”
මේ අනපේක්‍ෂිත පුවත ලොව ඉතා ධනවත් ව්‍යාපාරිකයන්, නළු නිළියන්, රාජ්‍ය නායකයින් බලවත් විමතියටත් කනගාටුවටත් පත් වූ කරුණක් විය.

A380 යානයට හදිසියේම මරණ දණ්ඩනය හිමි වූයේ ඇයි? ලොව ආර්ථික විශේෂඥයන් කියන අන්දමට A380 ගුවන් යානය මිලදී ගැනීම සඳහා ඉල්ලූම්කරුවන් අඩු වීම එයට ප‍්‍රධාන හේතුවයි.

2007දී A380 ගුවන් යානාවේ නිෂ්පාදන කටයුතු ඇරඹුණේ වසර 20ක් ඇතුළත යානා 1200ක් පමණ විකුණා ගත හැකිවේය යන බලාපොරොත්තුවෙනි. නමුත් බලවත් හේතු කිහිපයක් නිසා A380 යානය සඳහා සමාගම බලාපොරොත්තු වූ තරමෙන් භාගයක් නිපදවීමටවත් ඉල්ලූම් ලැබුණේ නැත.

එසේම ධාවන පථ ප‍්‍රමාණවත් තරම් විශාල නොවන නිසා A380 යානය බොහෝ රටවල ගුවන් තොටුපළවලට ගොඩ බැස්සවීමට බැරිය. A380 ගුවන් යානයට ඉඩ සැලසීම සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළු ලොව රටවල් 12ක් පමණ තම ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් තමන්ගේ ප‍්‍රධාන ගුවන් තොටුපළේ ධාවන පථ පුළුල් කර ගත් නමුත් එමිරේට්ස්, කටාර් වැනි ගුවන් සමාගම් ගමන් ගන්නා රටවල් 50ක් පමණ තමන්ගේ වියදමින් ධාවන පථය විශාල කර ගැනීම ප‍්‍රතික්‍ෂේප කළේය.A380 යානා නිෂ්පාදනය පටන් ගත්දා සිට අද දක්වා විකිණී ඇත්තේ 344 වැනි ඉතා සුළු ගණනකින්.

එසේම පසුගිය    වසර දෙක තුළ A380 යානා මිලදී ගැනීමට එකම ඇණවුමක්වත් ගුවන් සේවා සමාගම්වලින් ලැබුණේ නැත. නමුත් එයට වසර පහකට පසු ඉපදුන බෝඉන්ග් ඞී‍්‍රම් ලයිනර් යානා 444ක් ලොව පුරා ගුවන් සේවා 12ක් විසින් දැනටමත් මිලදීගෙන ඇත.

ඔබට ඉතා දර්ශනීය හා සැමට ප‍්‍රයෝජනවත් වන වටිනා භාණ්ඩයක් නිපදවිය හැකිය. සමහර විට එය මේ ශත වර්ෂයේ විස්මිතම නිර්මාණයද විය හැකිය. එයට රුපියල් මිලියන ගණනක වෙළඳ ප‍්‍රචාරයක්ද ඔබ ලබා දෙනු ඇත. එහෙත් පාරිභෝගිකයා  ඔබගේ භාණ්ඩයට ඇලූම්කොට එය මිලදී නොගන්නේ නම් ඔබගේ නිපැයුමට අත්වන්නේත් ලෝකයේ විශාලතම මගී යානය ්380 ට අත් වූ අවාසනාවන්ත ඉරණම බව නොකියා බැරිය.

ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.