Coss Ear2
lakbima.lk
COSS Ear 1

දූෂණ චෝදනා මත සෞදි කුමාරවරුන් රැසක් අත්අඩංගුවට

ලෝකයේ බොහෝ රටවල මේ කාලයේ දූෂණ වංචාවලට එරෙහි විවිධාකාරයේ මෙහෙයුම්, විරෝධතා, උද්ඝෝෂණ. විමර්ශන, නඩු විභාග ආදිය කරලියට එමින් ඇති අයුරු දැකිය හැකි වෙයි. නිදසුන් ලෙස, පසුගිය දිනවල පාකිස්තානය, දකුණු කොරියාව, බ්‍රසීලය ආදී රටවල රාජ්‍ය නායකයන් පවා මෙවැනි දූෂණ චෝදනා නිසා බලයෙන් පහ කෙරුණු ආකාරය මෙන්ම අධිකරණ හමුවට රැගෙන ගිය ආකාරය පෙන්වා දිය හැක.

දූෂණ වංචාවලට එරෙහිව පැතිර යන මෙම සිදුවීම් දාමයේ තවත් විශේෂ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ මැද පෙරදිග කලාපයේ බලවත්ම සහ ධනවත්ම රාජ්‍යයක් වන සෞදි අරාබියෙනි. මෙම සිදුවීමෙහි  ඇති වඩාත් කැපී පෙනෙන සුවිශේෂත්වය වන්නේ සෞදි රජ පවුල හා සම්බන්ධ කුමාරවරුන් බොහෝ දෙනකුද මෙම දූෂණ විරෝධී මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගනු ලැබිමයි.  කුමාරවරුන් මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්වීම සාමාන්‍යයෙන් මෙවැනි රටවල දක්නට නොලැබෙන අතිශය දුර්ලභ සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ විට මෙම රාජකීයයන් සැලකෙන්නේ නීතියට ඉහළින් සිටිනවුන් වශයෙනි. නමුත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වී තිබේ. රජ කුමාරවරුන් රැසක් මෙන්ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද, දේශපාලන ක්‍ෂේත්‍රයේ බලවත් පුද්ගලයන් කිහිප දෙනකුද මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සෙනසුරාදා ඉතා හදිසියේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම් නිසා සෞදිය තුළ මෙන්ම මැද පෙරදිග කලාපය තුළද විශාල කම්පනයක්, නොසන්සුන්තාවක් ඇති වී තිබෙන ආකාරයක් දැකිය හැකි වෙයි. 200කට අධික පිරිසක් මේ ආකාරයෙන් රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.  එමෙන්ම බැංකු ගිණුම් 1700ක පමණ ගනුදෙනුද  අත්හිටුවා ඇතැයි මාධ්‍ය අනාවරණය කර තිබිණ. තවත් අපූරු කාරණයක් වන්නේ මෙසේ අත්අඩංගුවට ගත් ඉහළ පෙළේ බොහෝ දෙනකු මේ වනවිට රඳවා ඇත්තේ  තරු පහේ හෝටලයක් වන රිට්ස්-කාල්ටන් හෝටලය තුළ වීමයි. එහිදී හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් බොහෝ දෙනෙකු ඉවත් කර වෙනත් හෝටල් වෙත ගෙන යන ලද බවද පැවැසිණි.  කෙසේ හෝ වේවා, තරු පහේ හෝටලයක රඳවා තබා තිබුණද මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීම සැලකෙන්නේ මෑත සෞදි ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක සහ විශේෂම සිද්ධියක් වශයෙනි.

සෞදියේ මෙම දූෂණ විරෝධී මෙහෙයුම පිටුපස සිටින ප්‍රධාන චරිතය ලෙස සැලකෙන්නේ එරට මීළඟ රජු ලෙස පත්වීමට වරම් ලබා සිටින 32 හැවිරිදි මොහොමඩ් බින් සල්මාන් කුමරුය. ඔහු සෞදියේ වත්මන් පාලකයා වන සල්මාන් රජුගේ පුත්‍රයායි. මේ වනවිට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන සල්මාන් රජු සිය පුත්‍රයා එරට කිරුළ හිමි කුමාරයා ලෙස නිල වශයෙන් නම් කළේ පසුගිය ජුනි මාසයේය. ඒ වනවිටත් රාජ්‍ය පාලනයේ බොහෝ කටයුතුවලට මොහොමඩ් කුමරු සම්බන්ධව සිටි බව ප්‍රසිද්ධ කාරණයක් වූ අතර ඉහත කී ලෙස නිල වශයෙන් පත්වීමෙන් පසු ඔහු වඩාත් වේගයෙන් රට තුළ විවිධ ප්‍රතිසංස්කරණ සඳහා පියවර ගන්නා ආකාරයක් දක්නට ලැබිණි. ආර්ථිකය තුළ මෙන්ම දේශපාලන, සංස්කෘතික  අංශවලද විවිධ වෙනස්කම් ඇති කිරීමට ඔහු පසුබට නොවන ආකාරයක් දැකිය හැකි වෙයි. සෞදියේ ඉදිරි සැලසුම් ඇතුළත් ''2030 දැක්ම'' (ඪඵඪධද 2030) නැමැති වැඩපිළිවෙළද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සකස් කෙරුණක් ලෙස සැලකේ. (මෙම සටහන ලියමින් සිටින අතර ලැබුණු අලුත්ම ආරංචියකින් කියැවුණේ සල්මාන් රජු ඉතා ඉක්මනින්ම සිය පුත්‍රයාට රජකම පවරා විශ්‍රාම ගැනීමට සූදානම් වන බවයි.)
දූෂණ වංචාවලට එරෙහිව ගන්නා ලද ඉහත කී පියවරද ආකාර කිහිපයකින් අර්ථ දැක්විය හැක්කකි. එක අතකින් එය මොහොමඩ් කුමරුගේ ඉදිරි ආර්ථික සැලසුම් හා බැඳුණක් ලෙසද  පෙන්වා දිය හැකිය.  මේ වනවිට සෞදි අරාබියේ ආර්ථිකය බොහෝ දුරට තෙල් ආදායම් මත රඳා පවතින්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් පසුගිය කාලයේ තෙල් මිල අඩු වීමත් සමග ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් නිසා වුවමනාවට වඩා තෙල් ආදායම් මත රඳා පැවැතීමේ ඇති අනතුරුදායක තත්ත්වය ගැන තෙල් ආර්ථිකයන් සහිත බොහෝ රටවලට හොඳින් අවබෝධ වන්නට විය. සෞදි අරාබියද මේ පිලිබඳ විශේෂ අවධානය යොමු කළ රටකි. ඒ අනුව මොහොමඩ් කුමරු සැලසුම් කරන්නේ ඉදිරියේදී එරට ආර්ථිකය තෙල් මත රඳා පැවැතීමෙන් මුදාගෙන එය වඩාත් විවිධාංගීකරණයකට ලක් කිරීමට සහ වඩාත් විවෘත ආර්ථිකයක් බවට පත් කිරීමටය. එහිදී විදෙස් ආයෝජන ආදිය වැඩි වැඩියෙන් රට තුළට ආකර්ෂණය කර ගැනීම වැනි කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුවෙයි. ආර්ථිකය වඩාත් විනිවිදභාවයෙන් යුතුව හැසිරවීම, වංචා දූෂණ ආදියට ඇති ඉඩකඩ අවම කිරීම ආදිය මෙහිදී විශේෂයෙන් අවශ්‍ය වන බව රහසක් නොවේ. එය ආර්ථික සහ මූල්‍ය කටයුතුවල වඩාත් සුමට සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් සඳහා අතිශයින්ම වැදගත් වන්නකි. පසුගිය සතියේ සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීම්ද මෙම කාරණය හා බැඳී තිබෙන්නක් ලෙස සැලකිය හැක්කකි. මේ අතර සෞදි බලධාරීන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත්ව තිබූ තවත් කාරණයක් වූයේ පසුගිය කාලය තුළ දූෂණ වංචා සහ අවභාවිතය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 100 කට අධික පාඩුවක් එරට ආර්ථිකයට සිදුව ඇති බවයි.

ආර්ථිකයට අමතරව තවත් ක්‍ෂේත්‍ර බොහොමයක ඉතා ශීඝ්‍ර ප්‍රතිසංස්කරණ කිරීමට කිරුළ හිමි මොහොමඩ් කුමරු කටයුතු කරමින් සිටින ආකාරයද දැකිය හැකි වෙයි. මතෛක් කලක් කාන්තාවන්ට රිය පැදවීම තහනම් වූ සෞදි අරාබියේ එම බාධාවන්ද ඉවත් කිරීමට පසුගියදා පියවර ගැනිණි. මෙය එක අතකින් කාන්තා නිදහස පිළිිබඳ ඉතා වැදගත් පියවරක් වන අතර තවත් අතකින් වැදගත් ආර්ථික පියවරක්ද වෙයි. මන්ද යත් මේ හරහා එරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වන කාන්තා පාර්ශ්වයද වඩාත් නිදහස් ලෙස ආර්ථික කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.
ඒ අතර  ඉහත කී දූෂණ විරෝධී මෙහෙයුම හරහා මොහොමඩ් කුමරු ඔහුගේ ප්‍රතිවාදීන්ගේ බලය මර්ධනය කරමින් තමුන්ගේ ආධිපත්‍යය වඩාත් තහවුරු කරගැනීමක් සිදු කරන බවද බැහැර කළ හැකි කාරණයක් නොවේ. සල්මාන් රජුගෙන් පසු රජකම සඳහා මෙහොමඩ් කුමරු නිර්දේශ කළ අවස්ථාවේ එය කේන්ද්‍ර කරගෙනද රජ පවුල තුළ යම් බෙදීමක් ඇති වූ බව මෙහිදී සැලකිල්ලට ලක්විය යුත්තකි. (රජකම සඳහා මුලින් නිර්දේශ කර සිටියේ සල්මන් රජුගේ සහෝදරයෙකුගේ පුතෙකු වූ මොහොමඩ් බින් නායෙෆ්ය.) මෙම පසුබිම අනුව ඉහත කී  දූෂණ විරෝධී මෙහෙයුම රජ පවුල තුළ මොහොමඩ් කුමරුගේ  ප්‍රතිවාදීන් අඩපණ කර ඔහුගේ අණසක තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසද සැලකිය හැක්කකි.

ඒ අතර මේ වනවිට සෞදි අරාබිය මැද පෙරදිග කලාපය තුළ කිසියම් තීරණාත්මක  බල අරගලයක නිරතව සිටින රාජ්‍යයක් බවද මෙහිදී අවධානයට ලක්විය යුත්තකි. කලාපයේ දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් සෞදිය සහ ඉරානය අතර ඇත්තේ දැවැන්ත තරගයකි. මෙය එක්තරා දුරකට ඉස්ලාම් ආගමේ සුන්නි සහ ෂියා නිකායන් අතර අරගලයක් ලෙසද සැලකිය හැක්කකි. මොහොමඩ් කුමරු සෞදිය තුළ සිය අණසක පැතිරවීමත් සමග ඉරානයට එරෙහි මෙහෙයුම්ද වඩාත් දැඩි කර ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඉරානය සමග ආර්ථික සබඳතා තර කරගනිමින් සිටි කටාර් රාජ්‍යයට එරෙහිව පසුගිය කාලයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සහ සම්බාධක පැනවීමට ගත් පියවරද ඊට නිදසුනකි. ඉරානයේ සහය ලබන බව පැවසෙන හිස්බුල්ලා සංවිධානය යම් බලයක් හිමි කරගෙන සිටින ලෙබනනයට එරෙහිවද දැන් සෞදිය කිසියම් මෙහෙයුමක් වේගවත් කර ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. පසුගියදා සිදු වූ ලෙබනන අගමැති සාද් හරීරිගේ ඉල්ලා අස්වීමද සෞදියේ වුවමනාව මත සිදුවූවක් ලෙස සැලකේ.

කලාපීය වශයෙන් සෞදිය ගෙන යන මෙම බල  ව්‍යාපෘතිය පවා සාර්ථක කර ගන්නට නම් රට තුළ මොහොමඩ් කුමරුට ශක්තිමත් පදනමක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. දූෂණ චෝදනා හරහා, තමුන් වටා සිටින, තමුන්ට තර්ජනයක් විය හැකි පිරිස යම් පීඩනයකට හසු කර ගැනීම එහිදීද උපාය මාර්ගික වශයෙන් ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නක් ලෙස සැලකිය හැක්කකි. එමෙන්ම මොහොමඩ් කුමරුට ඉරාන විරෝධී ඇමෙරිකාව ඇතුළු  පාර්ශ්වයෙන් ලොකු සහයෝගයක් පළවන බවද මෙහිදී  තවත් වැදගත් සාධකයක් ලෙස සිහිපත් කළ යුතු වෙයි.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.