Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජීවිතය සොයා මරණයේ බිමට ගිය සැබෑ වීරයෙකුගේ කතාව

වයස විසිදෙකේදී තමා උපන් බ්‍රිතාන්‍යය හැරගිය ජැක් හොම්ස් ගැන කතා කරමින් ඔහුගේ මව කියන්නේ “රට හැරලා යනකොට එයා පුංචි ළමයෙක්” යනුවෙනි. ඒ වනවිට ජීවිතය සොයමින් සිටින වයසේ පසුවූ තම පුත්‍රයා ඇයට පෙනුණේ එලෙසිනි. ජීවිතය සොයා ජැක් ගියේ මරණය දස අත විහිදුණු සිරියාවේ යුද බිමටය. ඒ එහි සිටින කැරලිකරුවන් සමග එක්ව අයි.එස්. හමුදාවට විරුද්ධව සටන් වැදීමටය. මෑතකදී අයි.එස්.ගරිල්ලන්ගෙන් මුදාගත් රක්කා නගරයේ බිම්බෝම්බ නිෂ්්ක්‍රිය කිරීමේ යෙදී සිටියදී ඒ වනවිට වයස විසිහතරක් වූ ජැක් බෝම්බයකට හසුව මියගියේය.
ජැක් හොම්ස් කුර්දි ගරිල්ලන්ට එක්වූයේ 2015 වසරේදීය. බ්‍රිතාන්‍යයේ බෝන්මවුත්හි උපත ලැබූ ජැක් පාසල් අධ්‍යාපනයෙන් පසු යුද බිමට යනතුරු තම රැකියාව ලෙස තෝරාගත්තේ පරිගණක ක්‍රියාකරුවෙකු වීමය. නීත්‍යනුකූල හමුදාවක් සමග එක්ව යුද බිමට නොගියද නොදන්නා රටක දුක්විඳින ජනතාවක් මුදාගැනීමට ස්ව කැමැත්තෙන් ගිය තම පුත්‍රයා තම ඇසින් පෙනෙන ආකාරයට සැබෑ වීරයෙකු බව ඔහුගේ මව වන ඇන්ජි බ්ලැනින් කියන්නීය.
“සිරියාවේදී  ඔහු කළ දේ ජැක් කළේ හරිම ආසාවෙන්. නොනිල වශයෙන් හෝ සොල්දාදුවෙකු වෙන්න ලැබිම ගැන ඔහු තුළ තිබුණේ පුදුමාකාර සතුටක්. ඔහු විශාල ධෛර්යයක් හිතට අරගෙන වැඩ කළා. කරමින් හිටපු රැකියාව දාලා විදේශගත වෙනකොට ඔහු හිටියෙ අතරමංවෙලා වගෙයි. ජීවිතය ප්‍රයෝජනවත් විදිහට ගෙවන්නේ කොහොමද කියලා නොතේරෙන බව ජැක් මා එක්ක කියලා තිබුණා. නමුත් සිරියාවට ගිය එයාට තමා ආස කරපු දේ තමා හොයපු දේ ලැබුණා වගෙයි කියන කතාවලින් මට දැනුණෙ.”
පුතාගෙ මරණය ගැන ආරංචිය ලැබෙනවිට ඇය ඔහු පියවි ඇසින් නොදැක වසරකට වැඩි කලක් ගතව තිබුණි. කෙසේ වුවද අන්තර්ජාලය හරහා ඔහු සමග ගනුදෙනු කරමින් සිටී ඇයට ජැක් කියා තිබුණේ තමා හැකි ඉක්මනින් ඇය දැකගන්නට පැමිණෙන බවය. ඒ දිනය වරින්වර කල්ගියේ සිරියාවේ තම රාජකාරිය අවසන් කර එන්නට, විශේෂයෙන් රක්කා නගරය ත්‍රස්ත ග්‍රහණයෙන් මිදෙන අයුරු දකින්නට ඔහු තුළ තිබූ කැමැත්ත නිසාය. රක්කා අයි.එස්. ග්‍රහණයෙන් මිදෙන ඓතිහාසික මොහොතෙහි සාක්ෂිකරුවෙකු වන්නට ඔහු තුළ දැඩි වුවමනාවක් තිබුණි. ඉඩ ලැබුණොත් ළඟ එන නත්තලට නිවස බලා එන්නට ඔහු තීරණය කොට සිටියේය. ඔහු නැතිව ගත කරන කාලය කෙතරම් දුෂ්කර වුවද ඔහුගේ තීරණයට හා සිරියාවේ ගතවන ජීවිතයට සියයට සියයක්ම සහයෝගය පළකරමින් අම්මා ඔහු වෙත රැඳුණාය.
සිරියාවෙන් නැවත පැමිණි දිනයක දේශපාලනය හෝ පුද්ගලික ආරක්ෂක සේවයක් පිහිටුවා ගැනීම ඔහුගේ අදහස විය. ඒ වනවිටත් අතිශයින් තරුණ වියේ පසුවුවද මේ දෙකටම සුදුසුකම් යුද බිම තුළ බොහෝ දෑ ඇසූදුටු ඔහු වෙත තිබුණි. සිරියාවේදී ජැක් සමග මිතුරුවූ සිරියානු ජාතික කැරලිකරුවකුවූ ඔස්කාන් ඔස්ඩිල් කියන්නේ සගයින් අතර ජනප්‍රියවූ තම මිතුරා කුර්දි සන්නද්ධ අංශවල පවා ගරුබුහුමනට පාත්‍රවූ බවය.
“හැමෝම ජැක් ගැන දැනගෙන හිටියා. වැඩි කාලයක් නොගිහින් එයාට හොඳින් කුර්දි භාෂාව කතා කරන්නත් පුළුවන් වුණා.පස්සෙ කාලෙක ජැක්ට කොයිතරම් හොඳට කුර්දි භාෂාව කතා කරන්න පුළුවන් වුණාද කිව්වොත් කට්ටිය විහිළුවට කිව්වෙ ඔහු මගේ කුර්දි භාෂා පරිවර්තක කියලයි.යුද බිමේ දිගටම රැඳෙන්න මට උනන්දුවක් ඇතිවුණෙත් ජැක් නිසයි.” ඔස්ඩිල් කියයි.
කුර්දි සටන්කරුවන් ජැක්ටදී තිබූ ආරූඪ නාමයෙහි අරුත විප්ලවය යන්නයි. පරිගණකය හුරු ජැක්ගේ දෑතට තුවක්කුව හුරුව තිබුණේ නැත. කිසිදු ආකාරයක යුද පුහුණුවක් නොලැබ සිරියාවට ගියද අයි.එස්. සමග සටනට ස්වේච්ඡාවෙන් ගිය විදේශිකයින් අතර වැඩිම කාලයක් රැඳුණු අතළොස්සට ජැක්ද අයිතිය. 2015 වසරේ සිට වරින්වර තුන්වරක් සිරියාවේ යුද බිමට ගිය ජැක් තුන්වන වතාවේ වසරකටත් වැඩි කලක් එක දිගට එහි රැඳුණේය. සිරියාවට සහ එහි සිටින ජනතාවට ආදරය කළ ඔහු තමාට ඉලක්කයක් තිබිම ගැනද පසුවුණේ දැඩි සතුටකිනි. ටෙල් හැමිස්, මන් බිජ්, ටබ්කා සහ රක්කා වැනි සිරියාවේ නගර බේරාගත් යුද පෙරමුණුවල ඔහු ඉදිරියෙන්ම විය. නීත්‍යනුකූල අවසරයකින් තොරව විදේශ රටක යුද පෙරමුණක සිටීම තම රටට පැමිණි අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට හේතුවක් බව දැන සිටි ඔහු තම රටේ නීතිය ඊට වෙනස් ආකාරයකට කටයුතු කළයුතු බව විශ්වාස කළේය.
රක්කා බේරා ගැනීමේ සටනේදී තමා මෙන්ම ස්වේච්ඡාවෙන් යුද බිමට ආ විදෙස් භටයින් තිදෙනෙක් සමග එක්ව ඔහු ස්නයිපර් වෙඩික්කාර කණ්ඩායමක් ලෙස කටයුතු කළේය. 223 වයි.පී.ජී. ස්නයිපර් යුනිට් ලෙස හැඳින්වුණු එහි සිටි අනෙක් තිදෙනා ඇමෙරිකාව, ස්පාඤ්ඤය හා ජර්මනියෙන් පැමිණි අයයි. රක්කා බේරා ගැනීමේ සටන දරුණු අතට හැරෙනවිට මේ පිරිස අනූනමයෙන් බේරුණු අවස්ථා කිහිපයක් විය. අයි.එස්.වරුන්ගේ මෝටර් රථ බෝම්බවලින් ගැලවුණු ආකාරය හා ජිහාද් ගරිල්ලන්ගේ වෙඩි ප්‍රහාරවලින් ගැලවුණු ආකාරය ඔහු මුහුණු ‍පොත හරහා විස්තර කළේ හොලිවුඩ් චිත්‍රපටයක බිහිසුණු ජවනිකා පෙලක් දිගහරින්නාක් මෙනි. පසුගියදා ඔහු මියගිය බවට ආරංචිය ලැබෙන්නට පෙර ගෙවීගිය ඉරිදා දිනයේ ජැක් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් රක්කා නගරයේ පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගණයට ගොස් ගත් වීඩියෝවක් මුහුණු ‍පොතට එක්කොට තිබුණි.තමාට මීටර් කිහිපයක් ඈතින් පිහිටි මෙම ක්‍රීඩාංගණය සති කිහිපයක් තිස්සේ ඇසගැසුණු බවද, අවසානයේ ඒ වෙත වැටුණු වීදිය දිගේ ඇවිදවිත් එතුළට ඇතුළුවන විට දැණෙන හැඟීම අමුතුම එකක් බවද ඔහු එහිදී කියයි.
මේ කාලය වනවිට කුර්දි හමුදාව සමග එක්ව අයි.එස්.ත්‍රස්තයින් සමග සටන් කරන කඩවසම් හා තරුණ බ්‍රිතාන්‍ය ජාතිකයා සිරියාවේ මාධ්‍යවල ඇස ගැටී තිබුණු අතර ඒ හේතුවෙන් සම්මුඛ සාකච්ඡා කිහිපයක් ලබාදෙන්නටද ඔහුට සිදුවිය. කුර්දි රූපවාහිනී නාලිකාවලට ඔහු ව්‍යක්ත කුර්දි බසින්ම සම්මුඛ සාකච්ඡා ලබාදුන්නේය.මාධ්‍යවල පෙනී සිටින මේ බ්‍රිතාන්‍ය ජාතික තරුණයා සිරියාව බේරා ගැනීමේ සටනට දක්වන කැපවීම එහිදී දැක්වීම හේතුවෙන් සිරියාව බේරාගැනීමේ සටනට කුර්දි ගරිල්ලන්ගේ දායකත්වයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබිම මේ සම්මුඛ සාකච්ඡා නිසා ලැබුණු අමතර වාසියකි.
ලන්ඩනයේ සිටින ජැක්ගේ මිතුරෙක් කියන්නේ යුද බිමට නව යොවුන් තරුණයකු ලෙස ගිය මිතුරා වැඩිහිටියෙකු ලෙස නැවත පැමිණි බවය.
“ඔහුට තමාගේ ජීවිත අරමුණ මෙහිදී හමුවුණා.” ඇලන් සාහින් නම් මෙම මිතුරා කියයි. ජැක්ගේ මරණය ඔහු දන්නා හැමෝම තුළ ඇතිකළේ කම්පාවක්.රක්කා බේරා ගත්තා විතරයි.ඔහු ජීවතුන් අතර හිටියානම් තව හුඟක් වැඩ කරාවි.” ඇලන් වැඩිදුරටත් කියයි. සිරියාවට යාමෙන් වළකින ලෙස මේ එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට අනතුරු අඟවා තිබේ.ඔහු මියගිය දිනයට පසුදින කුර්දි ජනතා මධ්‍යස්ථානයට එක්වූ සගයින් ජැක් වෙත තම ගෞරවය පුද කළ අතර එහිදී කතා කළ එක් මිතුරෙකු මෙසේ කියයි.
“බ්‍රිතාන්‍යයේ ඉන්න මේ වයසෙ තරුණයින්ගෙන් ඇහුවොත්  කිසිම අත්දැකීමක් නැතිව සිරියාව වගේ යුද්දෙ දරුණුවට තියෙන රටකට යන්න කැමතිද කියලා. මොළේ හොඳ නැද්ද කියලා අහයි.නමුත් ඔහු ගිහින් ජනතාව වෙනුවෙන් කැප වුණා. අනතුර දැක දැක කටයුතු කරපු ඔහු සැබෑ වීරයෙක්. හැමෝම ඔහුට ගරු කළ යුතුයි. ඔහු අගය කළ යුතුයි.”   
 
නිශානි දිසානායක 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.