Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලොව ළාබාලම රාජ්‍ය නායකයා ඔස්ට්‍රියාවෙන්

ලොව ළාබාලතම රාජ්‍ය නායකයා බවට පත්වීමට ඔස්ට්‍රියාවේ සෙබස්ටියන් කර්ස් (Sebastian Kurz) සමත්ව සිටියි. ඔක්තෝබර් 15 වෙනි දින එරට පැවැති හදිසි මහ මැතිවරණයකින් ජය ගැනීමට ඔහුගේ  නව මහජන පක්ෂය සමත්ව ඇති අතර ඒ අනුව ඉදිරියේදී ඔහු එරට චාන්සලර්වරයා ලෙස පත්වනු ඇත. මේ වනවිට කර්ස්ගේ වයස අවුරුදු 31ක් පමණි. කර්ස් මෙම වාර්තාව පිහිටුවන තෙක් එහි හිමිකරුවා ලෙස සිටියේ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ය. 
1984 වසරේ උපන් කිම්ගේ වයස මේ වනවිට අවුරුදු 33කි. කිම් ජොන් උන්ට පසු ළාබාලම රාජ්‍ය නායකයා ලෙස සැලකුණේ ප්‍රංශයේ ජනාධිපති ලෙස මෑතදී පත් වූ එමානුවෙල් මැක්රොන්ය. මැක්රොන්  1977 වසරේ උපන් අයෙකි. සෙබස්ටියන් කර්ස්ගේ උපන් දිනය ලෙස සඳහන් වන්නේ 1986 අගෝස්තු 26ය.
මේ වනතෙක් ඔස්ට්‍රියාව පාලනය කරන ලද්දේ කර්ස්ගේද පක්ෂය වන නව මහජන පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂ දෙක එක්ව පිහිටුවා ගත් සන්ධානයක් විසිනි. අගමැති ධුරයට සමාන පදවියක් වන චාන්සලර් ධුරයේ කටයුතු කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වූ ක්‍රිස්ටියන් කර්න්ය. සෙබස්ටියන් කර්ස් එකල විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔස්ට්‍රියාවේ ළාබාලතම විදේශ අමාත්‍යවරයාද වූ ඔහු 2013 වසරේ එම පදවියට පත්වන විට වයස අවුරුදු 27කි.
කෙසේ හෝ වේවා පසුගිය මැයි මාසයේ නව මහජන පක්ෂයේ නායකයා වූ රෙන්හෝල්ඩ් මිටර්‍ලේනර් එම ධුරයෙන් ඉවත් වූ අතර කර්ස්ට පක්ෂයේ නායක ධුරයද හිමි විය. ඔස්ට්‍රියාව පාලනය කළ ඉහත කී ප්‍රධාන පක්ෂ දෙකට කිසියම් තර්ජනයක් එල්ල කරමින් තවත් පක්ෂයක් ඒ වනවිට ජනප්‍රිය වෙමින් තිබිණි. ඒ, වඩාත් දක්ෂිණාංශික, ජාතිකවාදී පක්ෂයක් ලෙස සැලකුණු නිදහස් පක්ෂයයි. ඒ වනවිට සිදු කර තිබූ ජනමත සමීක්ෂණ අනුව පෙනී ගියේ මෙම  නිදහස් පක්ෂයේ ජනප්‍රියත්වය වේගයෙන් වර්ධනය වෙමින් තිබූ අයුරු සහ ඉදිරියේදී ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වනු ඇති බවයි. 
නිදහස් පක්ෂයේ මෙම ජනප්‍රියත්වයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ විදේශයන්හි සිට ඔස්ට්‍රියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ට එරෙහිව ඔවුන් ගෙන ගිය ව්‍යාපාරයයි. යුද උණුසුම පැතිරුණු මැද පෙරදිග කලාපයේ සිට මෙන්ම ආර්ථික අර්බුද පැවැති නැගෙනහිර යුරෝපයේ රටවල සිටද තොග ගණනින් සංක්‍රමණිකයින් බටහිර යුරෝපය වෙත පැමිණීම පසුගිය කාලයේ එම යුරෝපීය රටවල් රැසකට බරපතළ ගැටලු ඇති කළ කාරණයක් වූ බව රහසක් නොවේ. 
මෙම සංක්‍රමණිකයින් අතර සැඟවී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල සාමාජිකයින්ද මෙම රටවලට ඇතුල් වීම ආරක්ෂාව පිළිබඳ තර්ජනයක්ද මතු කළේය. එමෙන්ම සංස්කෘතීන් අතර ගැටුම් නිසාද යම් ආතතියක් මෙම රටවල්  තුළ වර්ධනය වන්නට විය. මේ නිසා මෙම සංක්‍රමණිකයින්ට විරුද්ධ මතවාදයක් යුරෝපයේ සෙසු බොහෝ රටවල මෙන්ම ඔස්ට්‍රියාවේද නැග එන්නට පටන් ගත්තේය. මුස්ලිම් විරෝධයක්ද ඒ අතර පැලපදියම් වෙමින් තිබූ බව රහසක් නොවේ. සමාජය තුළ පැතිරෙමින් තිබූ මෙම මානසිකත්වය නිසා සංක්‍රමණික විරෝධී සටන්පාඨ මත කටයුතු මෙහෙයවමින් සිටි නිදහස් පක්ෂය වෙත විශාල පිරිසක් ආකර්ෂණය වූ බැව් පෙනිණි. 
කෙසේ වෙතත් ඉහත කී ලෙස සෙබස්ටියන් කර්ස් මහජන පක්ෂයේ නායකත්වයට පත් වීමත් සමග ඔහු කළේ නිදහස් පක්ෂයේ මතවාදවලට, සටන් පාඨවලට බොහෝ දුරට සමාන සටන්පාඨ සහ මතවාද තම පක්ෂයටද අවශෝෂණය කර ගැනීමයි. ඒ මගින් නිදහස් පක්ෂය වෙත ආකර්ෂණය වෙමින් සිටි ඡන්දදායකයින්ගෙන් යම් පිරිසක් තම පක්ෂය වෙත ඇද ගැනීමට ඔහු සමත් වූ ආකාරයක් දැකිය හැකි විය. අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ලෙස සැලකුණු නිදහස් පක්ෂයේ අදහස්වල යම් අන්තවාදී බවක් පෙනුණු නිසා ඒ සමග සියයට සියයක්ම අනුගත වීමට අසීරු වූ ඡන්දදායකයින් ඊට වඩා තරමක්  මධ්‍යස්ථ පක්ෂයක් ලෙස පෙනුණු කර්ස්ගේ පක්ෂය වෙත ආකර්ෂණය වූ බව සිතිය හැකිය. (කර්ස්ගේ පක්ෂය බොහෝ දුරට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස සැලකෙන්නකි.)
මේ අතර කර්ස් තවත් පියවරක් ගත්තේය. එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග පැවැති සන්ධානයෙන් ඉවත් වීමයි. ඒ නිසා සන්ධාන ආණ්ඩුව අවසන් වීමෙන් නැවත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු විය. තව ටික කලක් ගත වනවිට කලින් කී නිදහස් පක්ෂයේ ජනප්‍රියත්වය තවත් වැඩි වුවහොත් ඇති විය හැකි අභියෝගය ගැන කර්ස් කල්පනා කළා විය හැකිය. ඔහු සන්ධානයෙන් ඉවත් වී හදිසි මැතිවරණයක් සඳහා පසුබිම සකස්කර ගත්තේ ඒ නිසා වීමටද පිළිවන.
කෙසේ හෝ වේවා ඔහුගේ උපාය මාර්ග සාර්ථක වූ බව මේ වනවිට සනාථ වෙමින් තිබේ. දැනට නිකුත්ව ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඔහුගේ නව මහජන පක්ෂය සියයට 32කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ගනු  ඇති බවට අනාවැකි පළවෙයි. ඒ අතර  දවෛනි ස්ථානය සඳහා දැඩි තරගයක් පවතින බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ කලින් මහජන පක්ෂය  සමග සන්ධානගතව සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඉහත කී නිදහස් පක්ෂය අතර ය. 
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද සියයට 27ක්ද, නිදහස් පක්ෂය සියයට 26ක්ද ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටින මහජන පක්ෂයේ නායක සෙබස්ටියන් කර්ස් ට චාන්සලර් ධුරය හිමි කරගැනීමට අවස්ථාව උදා වී තිබේ.
කෙසේ වෙතත් මහජන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි කරගැනීමට නොහැකි වනු ඇති  නිසා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නැවතත්  තවත් පක්ෂයක් සමග සන්ධානගත වීමට සිදුවෙයි. නමුත් තමුන් මෙවර එසේ සන්ධානගත වන්නේ කා සමගද යන්න මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට මහජන පක්ෂය පැත්තෙන් ප්‍රකාශයට පත්ව තිබුණේ නැත.
 
නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.