Coss Ear2
lakbima.lk
COSS Ear 1

ළාබාලම රාජ්‍ය නායකයෝ

නායකයෙක් වන්නට නම් බොහෝ ජීවිත අත්දැකීම් තිබිය යුතුය. රටක නායකයෙක් පිළිබඳ සැලකීමේදී මෙය අනිවාර්යය. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්වීමේදී වයස සලකා බැලෙන්නේ මේ නිසාය. අප රටේ වුවද ජනපති ධුරය සඳහා තරුණ වියෙහි පුද්ගලයකු ඉදිරිපත් වන්නේ කලාතුරකින් වන අතර යම් හෙයකින් ඉදිරිපත් වුවද ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්නට බොහෝ දෙනෙකු තුළ එතරම් කැමැත්තක් නැත. නමුත් සෑම විටම එසේ වන්නේද නැත. තරුණයෝද ලෝකයේ රාජ්‍ය නායකයන් බවට පත්වෙති. වර්තමානයේද එවැන්නෝ සිටිති. වර්තමාන ප්‍රංශ ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්‍රෝන් එවැන්නෙකි. ඔහු තිස්නව වැනි වියේදී ජනපති පදවියට පත් විය. ඔහුගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ රාජ්‍ය නායකයන් පිළිබඳ ලෝකයේ කතාබහට ලක් වන්නට පටන් ගත් බවක් පෙනුණි. තරුණ රාජ්‍ය නායකයන් සිටින්නේ ඔහු පමණක්ම දැයි ඇතැමෙක් අසන්නට වූහ. මේ එයට පිළිතුරක් වන්නට පුළුවන. 
 
ජිග්මේ ඛිෙසාර් නාම්ග්යෙල්වන්ග් චුක්
 
1980 පෙබරවාරි 21 උපන් දැනට 37 වන වියෙහි පසුවන ජිග්මේ, භූතානයේ රජුය. වජ්‍රායන බෞද්ධයකු වූ ඔහු එහි රාජ්‍යත්වයට පත්වන්නේ සිය පිය රජු වූ ජිග්මේ සිංග් යේවන්ග් චුක්ගේ ඇවෑමෙන් පසුවය. සිය ද්විතීක අධ්‍යාපනය භූතානයේදී හැදෑරීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේදී, එක්සත් රාජධානියේදී උසස් අධ්‍යාපනය හැදෑරුවේය. ඔහු එහිදී විදේශ සේවය, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සිය දැනුම දියුණු කරගත්තේය. එමෙන්ම ඉන්දියාවේ ලාල්බහදුර් ශාස්ත්‍රී ජාතික පරිපාලන ඇකඩමියේදී පරිපාලනය පිළිබඳ පාඨමාලාවක්ද සම්පූර්ණ කොට තිබේ. 
 
තමිම්බින් හමාඩ් අල් ථානි
 
ඔහු කටාර්හී එමීර්වරයා වේ. එමීර් යනු කටාරයේ රාජ්‍ය නායකයාය. 1980 ජුනි 5 වැනිදා උපන් ඔහු දැනට 37 වැනි වියෙහි පසුවෙයි. ඔහු මෙයට පෙර සිටි එමීර් වරයා වූ හමාඩ් බින් ඛලීෆා අල්ථානිගේ සිව්වැනි දරුවාය. සිය පියාගේ ඇවෑමෙන් අනතුරුව ඔහු මෙම තනතුරට සුදුසුකම් ලද්දේය. 
 
කිම් ජොන් උන්
 
කිම් ජොන් උන් යනු උතුරු කොරියාවේ උත්තරීතර නායකයා වේ. විකිපීඩියාව ඔහුගේ උපන්දින දෙකක් ගැන සඳහන් කරයි. ඉන් එකක් 1984 ජනවාරි 8 වැනිදා වන අතර අනෙක 1984 ජූලි 5 වැනිදාය. කෙසේ වුවත් ඔහු දැනට 33 වැනි වියෙහි පසුවෙයි. උතුරු කොරියාව යනු ලෝකයේ වැසුණු රටක් බැවින් ඔහු පිළිබඳ දැනගන්නට ලැබෙන තොරතුරු ස්වල්ප වන අතර ඒවාද කෙතරම් දුරකට නිවැරදි දැයි කිව නොහැකිය. සිය පියා වූ කිම් ජොන්ග් ඉල්ගේ අවමංගල්‍යය දා ඔහු උතුරු කොරියාවේ රාජ්‍ය නායකත්වයට පත්විය.
 
වැනෙස්සා ඩි ඇම්බ්‍රාසියෝ 
 
වැනෙස්සා යනු ඉතාලි අර්ධද්වීපයේ පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ සැන්මැරීනෝ ජනරජයේ රාජ්‍ය නායිකාව වේ. එහි රාජ්‍ය නායිකාව හඳුන්වනු ලබන්නේ ‘කැප්ටන් රීජන්ට්’ යන නමිනි. 1988 අප්‍රේල් 26 වැනිදා උපන් ඇය දැනට 29 වැනි වියෙහි පසු වන්නීය. ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ඇය සැන්මැරීනෝවේ මතෛක් පත් වූ, ළබාලතම රාජ්‍යනායිකාව වේ.
 
නිරංජන් චාමින්ද

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.