Coss Ear2
lakbima.lk
COSS Ear 1

හැම පින්තූරයක්ම ඇත්ත නෙමෙයි සියයට හතළිහක් බොරුලූ

සත්‍ය සහ ව්‍යාජ ඡායාරූපයක් එකිනෙකින් වෙන් කර හඳුනා ගත නොහැකි මට්ටමකට වර්තමානයේ පත්ව තිබෙන්නේ ඡායාරූප වෙනස් කළ හැකි විවිධ මෘදුකාංග පරිගණක ක්ෂේත‍්‍රය තුළ අලූතින් නිර්මාණය වීමත් සමගිනි. නමුත් මෙවැනි මෘදුකාංග හෝ පරිගණක පවා නොතිබුණු යුගයක පවා ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානයේ විවිධ මාධ්‍යවල පළ වෙන්නා වූ අප සත්‍ය ඡුායාරූප ලෙස හඳුන්වන ඡායාරූපවලින් සියයට 40ක් පමණ ව්‍යාජ ඡුායාරූප වන බව බීබීසී සේවය වාර්තා කර තිබේ. ඔවුන් මේ බව පවසන්නේ වසර කීපයක් පුරා මාධ්‍යවල පළ වූ ඡුායාරූප පරීක්ෂා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මේ බව පැහැදිලි කිරීම සඳහා ඔවුන් පළමු (1) ඡායාරූපය උදාහරණ ලෙස පෙන්වා දී තිබේ. 
මෙහි සටහන්ව ඇත්තේ පුද්ගලයන් දෙදෙනකුගේ රුවකි. ඔවුන්ගේ ඉදිරියෙන් ගොඩනැගිල්ලක වීදුරු ආවරණයක් ඇති අතර ඔවුන් දෙදෙනාගේ පිළිබිඹුව එම වීදුරුවෙන් දැක ගත හැකිය. පර්යේෂකයන් පවසන්නේ මෙම ඡුායාරූපය ව්‍යාජ ලෙස සැකසූවක් බවයි. එය පෙන්වා දීම සඳහා ඔවුන් ඡායාරූපයේ සිටින පුද්ගලයන් වෙත එල්ල වී ඇති ආලෝක ප‍්‍රමාණය ගෙන හැර දක්වයි. ආලෝකය එල්ල වී ඇත්තේ මොවුන් දෙදෙනාගේ පිටුපසිනි. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ පිටුපසින් ආලෝක ප‍්‍රභවයක් එල්ල වූ විට එහි සිටින පුද්ගලයන්ගේ කන් දෙක රතු පැහැ විය යුතු ය. නමුත් මෙම ඡුායාරූපයේ සිටින දෙදෙනාගේ කන් එසේ රතු පැහැ ගැන්වී නැත. අනිත් වැදගත්ම කාරණය වන්නේ ඔවුන් දෙදෙනා සිටින ස්ථානයට සහ වීදුරු ආවරණයට අංශක 90ක කෝණයකින් ලබා ගෙන ඇති මෙම ඡුායාරූපයේ වීදුරුවේ පිළිබිඹුවත් ඔවුන් සත්‍ය ලෙසම හිටගෙන සිටින ස්ථානයත් පොළොවට සමාන්තර විය යුතු බවයි. නමුත් ඔවුන්ගේ පාදවල සිට වීදුරුවේ පිළිබිඹුවේ පාද දක්වා සරල රේඛාවක් ඇඳි විට එම රේඛා පොළොවට සමාන්තර වන්නේ නැත. 
සත්‍ය ඡායාරූපයක් හඳුනාගත හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන්ගේ ඇස් ය. දෙදෙනෙකු හෝ කීප දෙනෙකුගේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේ කැමරාවේ ෆ්ලෑෂරයෙන් නිකුත් වන ආලෝකය ඔවුන්ගේ ඇස්වල කළු බෝලය මත සටහන් වීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. සමහර අවස්ථාවල එය ඇස් මත රතු පැහැයෙන් සටහන් වනු ඔබ දැක ඇතිවාට සැක නැත. එසේ සටහන් වීමේ දී සෑම පුද්ගලයෙකුගේම ඇස් මත සටහන් වන ආලෝකයේ තීව‍්‍රතාව, ප‍්‍රමාණය, දීප්තිය ආදිය සමාන විය යුතුය. නමුත් ඡුායාරූපයේ සිටින සෑම කෙනෙකුගේම ඇස් මත මෙම ආලෝකය සටහන් වී නැත්නම් හෝ විවිධ තීව‍්‍රතාවලින් සටහන් වී ඇත් නම් එය ද ව්‍යාජ ඡායාරූපයක් ලෙස සැලකිය හැකිය.
මෙහි දක්වා ඇති දෙවන ඡායාරූපය ද ව්‍යාජ ලෙස සැකසූවක් බව පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් එසේ පැවැසීමට හේතුව එම ඡායාරූපයේ සිටින පුද්ගලයා අත දරා සිටින ආයුධයේ දිග සහ බරට අනුව ඔහුගේ ශරීරය මේ තරම් සැහැල්ලූ ආකාරයෙන් තිබිය නොහැකි බවයි. එබැවින් පළමුව පුද්ගලයා ඡායාරූප ගත කර පසුව ආයුධය ඡායාරූපගත කර ඉන්පසු එම ඡුායාරූප දෙකෙහි නෙගටිව් එක මත එක තබා මෙය නිර්මාණය කරන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.
වර්තමානයේ මෙවැනි නිර්මාණ සඳහා මෘදුකාංග තිබුණද අතීතයේ භාවිත කර තිබුණේ කැමරා උපක‍්‍රමයි. හිටපු ඇමෙරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් නිරූපණය වන මෙහි දැක්වෙන පළමු ඡායාරූපය ප‍්‍රතිනිර්මාණය කරමින් දෙවන සහ තුන්වන ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කර ඇති ආකාරය සලකා බලන්න. එහිදී මුහුණේ ඉරියව් සමාන වන අතර සිරුරේ ඉරියව් පමණක් වෙනස් වී තිබේ. මෙම ඡායාරූප සකස් කර තිබුණේ 1862 වසරේ දීය. එනම් පරිගණකය පවා නිර්මාණය කර නොමැති කාලයකය. මෙම නිර්මාණ සඳහා යොදා ගෙන තිබුණේ නෙගටිව් සහ කැමරා උපක‍්‍රමයි. පරිගණක නොමැති යුගයක මේ තරම් තාත්වික ආකාරයෙන් ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කළ හැකිව තිබුණේ නම් වර්තමානය වනවිට අප දකින තාත්වික ඡායාරූපවලින් කොපමණ ප‍්‍රමාණයක් ව්‍යාජ ඡායාරූප දැයි හඳුනා ගැනීමට නොහැකි වීම පුදුමයක් වන්නේ නැත.
 
දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.