lakbima.lk

ඩයිනසෝරයන් ගැන තවත් අලුත් මතයක්

ඩයිනසෝරයින් සැලකෙන්නේ මීට වසර මිලියන ගණනකට පෙර මහ ‍පොළොවෙන් වඳ වී ගිය දැවැන්ත සත්ව කොට්ඨාසයක් ලෙසිනි. මෙසොසොයික(Mesozoic) යුගය ලෙස හැඳින්වෙන කාලයේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය දැරූ ඔවුන් පෘථිවිතලයෙන් අතුගා දමන්නට හේතු වූයේ මෙයට වසර මිලියන 60කට පමණ ඉහත මහ ‍පොළොවෙහි ගැටුණු විශාල ආකාශ වස්තුවක් (උල්කාවක්) නිසා හටගත් අතුරු ප්‍රතිඵල බව පිළිිගත් මතයයි. ඩයිනසෝරයින් මේ ආකාරයෙන් වඳ වී යාමට හේතුව ගැන බොහෝ දෙනකු දැන සිටියත් මේ දැවැන්තයින්  වසර මිලියන ගණනක් තිස්සේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය හිමිකරගෙන සිටින්නට සමත් වූ හේතු ගැන නිශ්චිත අවබෝධයක් තිබුණේ නැත. දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති.
ඔවුන් ඉදිරිපත් කර ඇති මතයට අනුව ඩයිනසෝරයින් මේ ආකාරයෙන් මහ ‍පොළොවේ ප්‍රධාන සත්ව කොට්ඨාසය බවට පත්වීමට බලපා ඇත්තේ වසර මිලියන 200කට පමණ පෙර සිදු වූ ඉතා ප්‍රබල ගිනි කඳු පිපිරීම් මාලාවකි. ලෝකය පුරාම ඉතා පුළුල් ආකාරයෙන් පැතිර ගොස් ඇති බව පෙනෙන මෙම ගිනි කඳු පිපිරීම් නිසා වායුගෝලයට අති විශාල වශයෙන් මුදාහැරුණු කාබන් ඩයොක්ඩයිඩ් වැනි වායුන්ගෙන් හටගත් අහිතකර බලපෑම්වල හේතුවෙන් එම යුගයේ වාසය කළ වෙනත් සත්ව කොට්ඨාසවලට ජීවත් වීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බව මෙම පර්යේෂකයින්ගේ අදහසයි. 
මෙම සිදුවීම් මාලාව සිදුව ඇතැයි ඔවුන් පෙන්වා දෙන්නේ මෙයට වසර මිලියන 200කට පමණ පෙරය. ඒ කාලයේ ඩයිනසෝරයින්ද මහ ‍පොළොවේ ජීවත් වූ නමුත් ඔවුන් කිසියම් ආකාරයකින් මෙම තත්ත්වය තුළ ජීවිතය රැකගන්නට සමත්ව ඇත. ඒ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පර්යේෂකයින් තුළද පවතින්නේ අවිනිශ්චිත බවකි. කෙසේ වෙතත් ඒ කාලයේ සිටි අනෙකුත් සත්ව විශේෂ මහා පරිමාණයෙන් වඳ කර දැමීමට ඉහත කී ගිනිකඳු පිපිරීම්වලට හැකිව තිබෙන අතර ඩයිනසෝරයින්ට තරගයක් දිය හැකි වෙනත් කිසිදු තරගකාරයෙකු ඉන්පසු නොසිටින්නට ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ නිසා ඩයිනසෝරයින්ට ජීවත් වීමට තිබූ ඉඩ ප්‍රමාණය වැඩිවීමද, ආහාර සඳහා තරගයක් නොමැතිවීමද ආදී සාධක හේතුවෙන් ඔවුන් මහ ‍පොළොවේ රජවරුන් බවට පත්වන්නට ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.
වසර මිලියන 200කට පෙර ඉහත කී ආකාරයේ ගිනි කඳු පිපිරීම් මාලාවක් සිදු වූ බව සනාථ කිරීමට ලෝරන්ස් පර්සිවෙල් ප්‍රමුඛ මෙම පර්යේෂක කණ්ඩායම යොදා ගන්නේ ඒ කාලයට අයත් බව පිළිගැනෙන පාෂාණ තට්ටුවල තැන්පත්ව ඇති මූලද්‍රව්‍යයකි. ලෝකය පුරා විවිධ ස්ථානවලින් ගත් එවැනි පාෂාණ ස්ථර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඒවායෙහි විශාල වශයෙන් රසදිය තැන්පත්ව තිබෙන බවයි. රසදිය සැලකෙන්නේ ගිනි කඳු පුපුරා යාමේදී ඉහළට විහිදෙන වායු ධාරාවන් සමග මුසුව නික්මෙන ද්‍රව්‍යයක් වශයෙනි. මෙම රසදිය වායුගෝලයට එක්ව ලොව පුරා විහිදීයන අතර පසුව  කමෛන් කමෛන්  නැවත පෘථිවිය මත පතිතව එහි තැන්පත් වෙයි. විද්‍යාඥයින් කණ්ඩායමට ඒ කාලයට අයත් පාෂාණ ස්ථරවල තිබි හමු වූයේ මෙසේ තැන්පත් වූ රසදිය ලෙස සැලකෙයි. රසදියට අමතරව මෙම පාෂාණ ස්ථරවල විශාල වශයෙන් ලාවා තැන්පත්ව තිබෙනු ද දැකගන්නට ඔවුනට හැකි වී තිබේ. මෙම සාධක දෙකම පෙන්වා දෙන්නේ එම කාලයෙහි මහා පරිමාණයෙන් ගිනි කඳු පුපුරා යාමක් සිදුව ඇති බවය යන්න විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.
මෙම ගිනි කඳු පුපුරා යාම් ඇතැම් අවස්ථාවල එක දිගට දශක ගණනක් පුරා සිදුවන්නට ඇති බවත් සෑම වසර 100ත්, 1000ත් අතර කාලයකට වරක්ම එවැනි පුපුරා යාම් සිදුවන්නට ඇති බවත් ඔවුහු සඳහන් කරති. ඒ කාලයේ ලෝකයේ මහාද්වීප වෙන් වෙන්ව නොපැවැති අතර පැවැතියේ එකම ගොඩබිමක් වශයෙනි. එම ගොඩබිම හඳුන්වන්නේ පැන්ජියාව (Pangea) යනුවෙනි. මෙම පැන්ජියාව බිඳී ගොස් මහාද්වීප වෙන්වීම ආරම්භ වූයේදඉහත කී ආකාරයෙන් කාලයක් තිස්සේ සිදු වූ ගිනිකඳු පුපුරා යාම්වල බලපෑම හේතුවෙන්ය යන්නද පෙන්වා දෙනු ලැබේ.
කෙසේ හෝ වේවා මෙම සිදුවීම් මාලාවෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විශාල සත්්ව කොට්ඨාස පෘථිවියෙන් වඳ වෙමින් යද්දී ඩයිනසෝරයින් පමණක් කුමන ආකාරයකින් හෝ නොනැසී සිටින්නට සමත්ව ඇති බවත්, පසුව ‍පොළෝ තලයේ ආධිපත්‍යය හිමිකර ගන්නට ඇති බවත් මෙම පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කරන මතයයි. එයින් පසු, මීට වසර මිලියන 60 කට පෙර උල්කාවක් පෘථිවියෙහි ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් මත ඔවුන් වඳ වී යනතෙක්ම මහ ‍පොළොවේ රජ කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. කලින් කී ලෙස ගිනි කඳු පුපුරා යද්දී අනෙක් සතුන්ට මෙන් ඩයිනසෝරයින්ට තර්ජනයක් ඇති නොවූයේ මන්ද යන්න සොයා ගැනීම විද්‍යාඥයින්ගේ මීළඟ පියවර වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව කියැවේ.
 
කිත්සිරි මල්වත්ත 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.