lakbima.lk

එවරස්ට් ජයගත් පළමු පිළිකා රෝගියා

ලොව උසම ස්ථානය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන තරණය කිරීම ත්‍රාසජනක අත්දැකීම් හඹා යන බොහෝ දෙනාගේ  ලොකුම ජීවිත අරමුණක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. දිනපතාම පාහේ විශාල පිරිසක් මෙම අපූරු කඳු ශිඛරය තරණය කිරීම සඳහා එක් වෙති. මේ ආකාරයෙන් එවරස්ට් තරණයට එක් වූ ඉතා විශේෂ පුද්ගලයෙකු ගැන පසුගිය සතියේ ජනමාධ්‍ය හරහා දැනගන්නට ලැබිණි. ඔහු මේ වනවිට පිළිකා රෝගයට ගොදුරුව සිටින ඉයන් ටූතිල් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයාය. එවරස්ට් කඳු මුදුන ජයගත් පළමු පිළිකා රෝගියා ලෙස ඉතිහාසයට එක් වන ටූ තිල් සම්බන්ධ තවත් විශේෂ කාරණයක් වන්නේ ඔහුට තවත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ මාස කිහිපයක් පමණක් බව මේ වනවිට වෛද්‍යවරුන් පවසා තිබිමයි. ඔහුට මේ වනවිට වයස අවුරුදු 47කි.
මුහුදු මට්ටමේ සිට මීටර 8,800ක් හෙවත් අඩි 29,000ක් ඉහළින් පිහිටි එවරස්ට් කඳු මුදුනට ටූතිල් ළඟා වූයේ ජුනි මස 5 වැනිදාය.
ඉයන් ටූතිල් බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගයට ගොදුරු වී සිටින්නෙකි. ඔහුගේ රෝගය මුල් වරට හඳුනාගෙන ඇත්තේ 2015 වසරේය. වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු එම අවස්ථාවෙහි ඔහු සුවය ලබා ඇති බව ප්‍රකාශයට පත්ව තිබේ. නමුත් අවාසනාවකට මෙන් නැවතත් 2016 වසරේදී පිළිකාව යළිත් වතාවක් පැතිරෙන්නට පටන් ගෙන ඇති බව සොයාගෙන ඇත.
ටූතිල්ගේ කුඩා කාලයේ සිටම ඔහුගේ සිත අරක්ගත් ලොකුම සිහිනයක්ව තිබි ඇත්තේ කවදා හෝ දවසක එවරස්ට් කඳු මුදුනට ළඟා වීමයි. තමාට තවත් ජීවත් වීමට ඇත්තේ මාස කිහිපයක් බව වෛද්‍යවරුන් පැවැසූ විට ඔහු තීරණය කර ඇත්තේ ළමා වියේ පටන් වූ සිහිනය මේ අවසන් මොහොතේ හෝ කෙසේ හෝ ඉටු කරගන්නවාය යන්නයි. එවරස්ට් කඳු ශිඛරය වෙත නැගීමේ ගමන ඔහු පටන් ගෙන ඇත්තේ ඒ අනුවය.
එවරස්ට් ශිඛරය කරා යන ගමන අති දුෂ්කර ගමනකි. පිළි කා රෝගයෙන් පීඩා විඳින අතර එවැනි  ගමනක්  සාර්ථක කර ගැනීම විස්මය ජනක ජයග්‍රහණයක් මෙන්ම මිනිසෙකුගේ අධිෂ්ඨාන ශක්තියේ මහිමය කියා පාන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම දුෂ්කර ගමන තුළ කිහිප අවස්ථාවකම බරපතළ බාධකවලට මුහුණ දෙන්නට තමාට සිදු වූ බවද ඉයන් ටූතිල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. එක් අවස්ථාවක ඔහුගේ කූඩාරම සුළඟට ගසාගෙන ගොස් ඇති අතර එහිදී ඔහුගේ සියලු උපකරණ ආදිය පවා ඔහුට අහිමි වී ඇති බව සඳහන් වෙයි. නමුත් අධිෂ්ඨානය අත් නොහැරි ටූතිල් යළිත් පහළට බැස ගොස් කූඩාරමක් සහ උපකරණ නැවත ලබාගෙන දෙවැනි වරටත් කන්ද නැගීමට පටන්ගෙන ඇත. 'මම කෙසේ හෝ මේ ගමන යනවා කියන එක ගැන මගේ හිතේ කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා මම දෙවැනි වතාවටත් ආපහු උඩට නගින්න පටන් ගත්තා'. තවත් අවස්ථාවක හිරු රශ්මියේ දැඩි බව හේතුවෙන් ඔහු තාවකාලිකව අන්ධභාවයට පවා පත්ව තිබේ.
එවරස්ට් කඳු මුදුනේදී තමා ලැබූ අත්දැකීම ගැන ඔහු විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි:
''මට මිනිත්තු දෙකක් තුනක් පමණ තනිවම එහි ගත කරන්න ඉඩලැබුණා. ඒ මොහොතේ මම ඒ සියල්ල විඳ ගත්තා. මට මගේ මව ගැනත් සිහියට නැගුණා. ඇය මීට වසර තුනකට පෙර ජීවිතයෙන් සමුගත්තා.
''කඳු මුදුනේදී වුවත් මට ඵදැක ගන්නට ලැබුණේ මීටර් 40 ක තරම් දුර ප්‍රමාණයක් පමණයි. ඒත් මම එයින් විශාල ආස්වාදයක් විඳ ගත්තා. මම සම්පූර්ණ එවරස්ට් අත්දැකීමක් ලැබූ බව කියන්න පිළිවන්.
''පිළිකා රෝගයෙන් පීඩා විඳින කෙනෙකු මේ වගේ ගමනක් නොයා යුතු බව විශ්වාස කරන බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා මට වගකීමක් තිබුණා කිසි උපද්‍රවයක් නැතුව නැවත පහළට ළඟා වෙන්න.
විශාල කුණාටුවක් ළඟ එන බව කඳු මුදුනේදී දැනගන්නට ලැබුණු බවත්, ඒ නිසා වැඩි වෙලාවක් එහි රැඳී සිටින්නට හැකියාවක් නොලැබුණු බවත් ටූතිල් ප්‍රකාශ කර තිබිණි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින්නන් වෙනුවෙන් පවත්වාගෙන යන අරමුදලකට මුදල් රැස් කර දීමද ඉයන් ටූතිල්ගේ එක් අරමුණකි. එවරස්ට් ගමනද ඔහු ඒ වෙනුවෙන් යොදාගත් එක් අවස්ථාවක් විය. මෙහිදී ඔහුට ඇමෙරිකානු ඩොලර් 40,000කට ආසන්න මුදලක් විවිධ දායකයින්ගෙන් එකතු කරගන්නට හැකි වී ඇත. එයින් කොටසක් එවරස්ට් ගමන සඳහා වැය වී ඇතත් ඉතිරි කොටස ඉහත කී අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ටූතිල් පියවර ගෙන ඇත.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.