lakbima.lk

චීනය හා ඇමෙරිකාව අතර පුරවැසි අරගලයක්

“ආර්ථික අපරාධ” සිදුකර ඇති බව කියමින් චීනය තම රටේ සිටින ඇමෙරිකානු පුරවැසියන් තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කොට තිබේ. වංචාවන් සම්බන්ධයෙන් සැකකරන චීන ජාතික ව්‍යාපාරිකයෙකුගේ බිරිය වන සැන්ඩ්‍රා හැන් සහ දරුවන් දෙදෙනා වන වික්ටර් ලියු හා සින්තියා ලියු ට මෙසේ රටින් පිටවීම තහනම් කර තිබෙන අතර තමා සිදුකරන්නේ සම්පූර්ණයෙන් නීතියට අනුකූල ක්‍රියාවක් බව චීනය පවසයි. මේ අතර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ තමා වික්ටර් හා සින්තියා සමග සමීපව කටයුතු කරන බව හා ඔවුන්ට අවශ්‍ය කුමක් හෝ කරදීමට නොපැකිලෙන බවය. ඔවුන්ගේ පියා වන ලියු චැන්ග් මින්ග් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මූල්‍යමය වංචාවක් සඳහා අත්අඩංගුවට ගැනීමට චීනයට අවශ්‍යව සිටින අයෙකි. මේ තිදෙනා සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය දිනපතා එම අමාත්‍යාංශ වබේ අඩවියේ දක්වා නැතිවීමද සැලකිය යුතුය.

ඇමෙරිකාව මෙන්ම චීනයද මේ තිදෙනා තම රටවල පුරවැසියන් බව කියා සිටිති. චීන විදේශ අමාත්‍යාංශය කියන්නේ මේ තිදෙනාද ආර්ථික අපරාධ සඳහා හවුල්වී ඇති බවකි. මෙහිදී චීන සම්භවයක් ඇතිනම් ද්විත්ව පුරවැසියන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට තම රට නොපැකිලෙන බව චීනය පෙන්වා දී තිබේ. 2016 වසරේද මීට සමාන සිදුවීමක් වාර්තාවුයේ බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක් සතු හොංකොං ‍පොත් වෙළෙන්දෙකු වන ලී බො සම්බන්ධයෙනි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ චීන විදේශ ඇමැතිවරයා කියා සිටියේ සියල්ලට පෙර ඔහු චීන පුරවැසියෙකු බවය. මේ අවස්ථාවේ ඔහුගේ ව්‍යාපාරික සගයා වන චීනයේ උපත ලැබු ස්වීඩන ජාතික ගුයි මින්හායි ද අත්අඩංගුවට ගනු ලැබු අතර මේ දෙදෙනාටම එල්ල වූ චෝදනාව වුයේ චීන රජය විවේචනය කරන ‍පොත් නිෂ්පාදනය කිරීමය.

චීනය ද්විත්ව පුරවැසිභාවය පිළිනොගත්තද තම චීන පුරවැසිභාවය තබාගෙන විදෙස් පුරවැසිභාවය ලබාගන්නා චීන ජාතිකයෝ විරල නැත. ඔවුහු මෙසේ චීන විදෙස් ගමන් බලපත් මෙන්ම හැඳුනුම්පත්ද තබාගැනීමට හේතුව අවහිර යකින් තොරව ඕනෑම අවස්ථාවක රටට ඇතුළුවීමට ලැබිම හා එරටින් ලබාදෙන සහන ලබා ගැනීමේ අවස්ථාව හිමිවීමය. හොංකොං විදෙස් ගමන් බලපත් හිමියන්ට ද්විත්ව පුරවැසිභාවය තබාගැනීමට නීතියෙන් ඉඩ ඇති අතර චීනයේදි එවැනි හොංකොං වැසියන් චීන නීතියට අනුව සලකන්නේ චීන පුරවැසියන් ලෙසිනි.

ඉහත සිදුවීම සලකා බලනවිට චීනයේ උපත ලැබූ වෙනත් රටක පුරවැසි භාවය හිමි අය සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකිවුවද මෙම දරුවන් දෙදෙනා ඇමෙරිකාවේ උපත ලැබුවන්ය. ඔවුන් තිදෙනාම චීනයට ඇතුළුවී ඇත්තේ ඇමෙරිකාවේ විදෙස් ගමන් බලපත්වලිනි. දහනව හැවිරිදි වික්ටර් හා විසිහත් හැවිරිදි සින්තියා තම මව සමග චීනයට පැමිණ ඇත්තේ තම සීයාව බැලීමටය. ඉන් දින කිහිපයකට පසු චීනයේ උපත ලැබුවෙකු වන ඔවුන්ගේ මව චීන ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට මාමා කෙනෙකු සමග රැඳී සිටින වික්ටර් සහ සින්තියා කිහිපවතාවක්ම නැවත ඇමෙරිකාවට යාමට උත්සාහ කළද ඔවුන්ට ඊට අවස්ථාව ලැබි නැත. පියා ‍පොලීසියට භාරවනතුරු තමන් දෙදෙනාට චීන බලධාරීන් රටින් පිටවයාමට නොදෙන නමුත් 2012වසරේ සිට පියා තමන් සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන බව ඔවුන් කියති.වංචා දූෂණ සම්බන්ධයෙන් චීන යට වඩාත්ම අවශ්‍යව සිටින පුද්ගලයන් සියලුදෙනා අතරට එක්ව සිටින ඔවුන්ගේ පියා චීනයෙන් පැනගොස් ඇත්තේ 2007වසරේදීය. තම රටේ හා චීනයේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ව මෙසේ ඇමෙරිකාවට පැමිණීමට නොදී රඳවා ගැනීමට ඉඩ ඇති බැවින් නැවත චීනයට යාමේදී ප්‍රවේසම් වන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට පෙර අනතුරු අඟවා සිටියේය.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.