lakbima.lk

ඊජිප්තුවේ පාසල්වලින් සුප්‍රකට ඩිස්නි චරිත ඉවතට

ළමා ලොව හා කවදත් බැඳුණු මිකී මවුස් හා ඩොනල්ඩ් ඩක් වැනි සුප්‍රකට ඩිස්නි කාටුන් චරිත පාසල්වල ප්‍රාථමික පන්තිවල බිත්තිවලින් ඉවත්කිරීමට ඊජි ප්තුවේ බලධාරීන් සූදානම් වන අතර මෙහි මුල් පියවර ලෙස එරට අගනුවර වන කයිරෝවට උතුරින් පිහිටි පාසලක ලබන වාරයේ සිට මෙම කාටුන් චරිත ඉවත් කරන බව කියවෙයි. ඒ වෙනුවට එරට යුද වීරයන්ගේ චරිත ප්‍රාථමික පන්තිවල බිත්ති සැරසිය යුතු බව බලධාරීන්ගේ අදහසයි. ඒ හේතුවෙන් දරුවන් මිකී මවුස්ලා හා ඩොනල්ඩ් ඩක්ලා වෙනුවට මේ චරිත තම පරමාදර්ශය කරගන්නා බවට හැඟීමක් බලධාරීන් තුළ වෙයි.

මීට අමතරව ඇමෙරිකාවේ නිෂ්පාදිත ඉහත චරිතවලට වඩා දේශීය වීරයන් ළමා සිත් තුළ තැන්පත්කරවීම ගැන රටට ඔවුන් තුළ ඇති ආදරය කුඩා කල සිට ඇතිකළ හැකි බව ඔවුහු පවසති. මෙය ඉහත සඳහන් පාසල අයිති ප්‍රදේශයේ ආණ්ඩුකාරයා හරහා ක්‍රියාවට නැංවීම ආරම්භ කොට ඇති අතර පසුව රට පුරාම ප්‍රචලිත කරවීමට නියමිතය. මෙම තීරණය ක්‍රියාවට නැංවීමෙහිලා හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ වත්මන් ජනපතිවරයා විශේෂයෙන් කටයුතු කරන බව වාර්තාවෙයි. පාසල්වල පමණක් නොව සියලු ‍පොදු ස්ථානවලදී යුද වීරයන් ඉස්මතු කොට ඔවුන්ට නිසි ගෞරවය ලබාදිය යුතු බව ජනපති ෆටා අල් සිසි කියයි. සිනායි ප්‍රදේශයේ ඉස්ලාමීය අන්තවාදීන් අතින් මියගිය හමුදා සෙබළුන් දේශය වෙනුවෙන් දිවිපිදූවන් ලෙස රජයේ මාධ්‍යවලින් නිරතුරු හඳුන්වනු ලබන අතර ඔවුන්ගේ පවුල් රජයේ විශේෂ උත්සවවලදී බුහුමනට පාත්‍ර වෙයි.

කෙසේවුවද රජයේ මෙම තීරණය සමාජ මාධ්‍ය හරහා බහුතරයකගේ විවේචනයට ලක්ව ඇති අතර ඔවුන් කියන්නේ කාටුන් චරිත ඉවත්කිරීම ගැන කල්පනා කරන්නට පෙර රජය කල යුත්තේ පන්ති කාමරවල ඉඩ පහසුකම් ඇතිකිරීම හා පැරණි ඉගැන්වීමේ ක්‍රම වෙනුවට නූතන ඉගැන්වීමේ ක්‍රම ආරම්භ කිරීම බවය. අදහස් ප්‍රකාශ කළ එක් අයෙක් කියා ඇත්තේ තමා පාසල් යන්නටත් පෙරම කියවන්නට ඉගෙනගත්තේ මිකී සඟරාවෙන් බව හා තමා තවමත් ආශාවෙන් එය කියවන බවය. මෙම තීරණය තදින්ම විවේචනය කරන මාධ්‍යවේදියෙක් පවසා ඇත්තේ මෙම තීරණය නිසා අදාළ ආණ්ඩුකාරවරයා කාටුන් චරිතයක් මෙන් හාස්‍යයට ලක් වූ බවකි. ඇතැමෙක් කියන්නේ මියගිය වැඩිහිටියන්ගේ රූප පුංචි පන්තිවල බිත්තිවල එල්ලීම ළමා මනසට සුදුසු නොවන බවය.

කෙසේවුවද මේ තීරණයට කැමැති පිරිසද හිඟ නැත. ඊජිප්තුව වෙනුවෙන් දිවිපිදූවන් කුඩාකල සිට ජනතාවට හඳුන්වාදී එම චරිත ඔවුන්ගේ සිත්තුළ තැන්පත් කළ යුතු බව කියන ඔවුහු මේ පියවර ආරම්භ කිරීම ගැන ආණ්ඩුකාරවරයාට තුති පුදයි. ඩිස්නි චරිත ඊජිප්තුව තුළ ආන්දෝලනයක් ඇතිකරන පළමු වතාව මෙය නොවේ. මිකී මවුස්ගේ කන් සහිතව ජනපතිවරයාගේ ඡායාරූපයක් සකසා මුහුණු ‍පොතේ පළකළ පුද්ගලයෙකුට 2015 වසරේදී වසර තුනක සිර දඬුවම් හිමිවිය.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.