lakbima.lk

වසර 65කට පසු හැඟුම්බර හමුවක්

මෙයට වසර හැත්තෑවකට පමණ පෙර උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර හටගත් කොරියානු යුද්ධය නිසා එකිනෙකාගෙන් වෙන්වීමට සිදු වූ එකම පවුල්වල සාමාජිකයන් දශක ගණනාවකට පසු ඔවුනොවුන් මුණ ගැසීමේ ඉතා හැඟීම්බර අවස්ථාවක් පසුගිය දා උදාවිය. මෙම හමුව සිදු වූයේ උතුරු කොරියාවේ රමණීය පෙදෙසක පිහිටි නිවාඩු නිකේතනයක දී බව සඳහන් වෙයි.

  1950 සහ 1953 අතර කාලයේ කොරියානු යුද්ධය ආරම්භ වෙද්දී එකම පවුල්වල සමහර සාමාජිකයෝ උතුරු කොරියාවේ ද, සමහරු දකුණු කොරියාවේ ද සිටියහ. බොහෝ දෙනා රැකියා ආදිය සඳහා මේ ආකාරයෙන් අනෙක් පැත්තට පැමිණ සිටි අය වූහ. එමෙන්ම යුද කලබලවලින් බේරීම සඳහා ද සමහර පවුල්වල අය මේ ආකාරයට වෙනත් ප්‍රදේශ වෙත විසිරී ගොස් සිටි බව සඳහන් වේ. නමුත් යුද්ධයත් සමග දෙරට අතර දේශ සීමාවල දැඩි රැකවල් ක්‍රියාත්මක වන්නට පටන් ගත් අතර එයින් පසු ඔවුනොවුන්ට නැවත තමුන් කලින් සිටි පැත්තට යාමට හැකියාව නොලැබිණි. එයට ප්‍රධාන හේතුවක් වූයේ උතුරු කොරියාව සෝවියට් රුසියාවෙහි බලපෑම යටතේ පැවැතීම සහ දකුණු කොරියාව ඇමෙරිකාවේ බලපෑම යටතේ පැවැතීම ය. දවෛනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් රුසියාව සහ ඇමෙරිකාව අතර හටගෙන තිබූ සීතල යුද්ධයෙහි බලපෑම ද කොරියානු කලාපය වෙත පැතිර තිබූ අතර මේ නිසාම උතුරු සහ දකුණු කොරියාවන් අතර ද පැවැතියේ දැඩි පසමිතුරු බවකි. මෙම තත්ත්වය තුළ ඉහත කී බොහෝ දෙනෙකුට අනෙක් පැත්තට යා ගත නොහැකිව තමුන් රැඳී සිටි පැත්තේම ජීවිතය ගෙවන්නට සිදු විය. සැමියන් සහ බිරියන්, දරුවන් සහ මව්පියන්, සහෝදර සහෝදරියන් ආදී බොහෝ දෙනා මේ ආකාරයෙන් ඉතා අමානුෂික ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලැබිණි.

නවසිය පනස් ගණන්වල මෙලෙස එකිනෙකාගෙන් වෙන් කෙරුණු එකම පවුල්වල අය නැවත මුණ ගැස්සවීමේ වැඩ සටහන් පසුකාලයේ දෙරටෙහි රජයන්ගේ ද, විවිධ ජාත්‍යන්තර සංවිධානවල ද සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලැබිණි. මේ බොහෝ දෙනකුට මේ ආකාරයෙන් සිය ඥාතීන් දැකබලා ගන්නට ඉඩලැබුණේ වසර හැටහැත්තෑවකට පසුවය. එකිනෙකාගෙන් වෙන් වෙද්දී ඉතා ළාබාල වයසේ හෝ තරුණ වයසේ සිටි අය මේ වනවිට සිටින්නේ අවුරුදු අසූව අනූව වැනි වයස්වලය. පසුගිය සතියේ උතුරු කොරියාවේ 'දියමන්තිකන්ද' නමැති නිවාඩු නිකේතනයේ දී ද සිදු වූයේ එවැනි දුර්ලභ හමුවකි. මෙහි දී දකුණු කොරියාවේ ජීවත් වන 89 දෙනකුට උතුරු කොරියාවට පැමිණ  මතෛක් කලක් නොදැක සිටි සිය ඥාතීන් දැක ගැනීමේ අවස්ථාව උදාවිය. මෙම වාසනාව හිමි වන්නේ කාටදැයි තෝරා ගෙන තිබුණේ ලොතරැයියක් මගිනි. මෙයට වැඩි පිරිසක් මෙම හමුව සඳහා තෝරාගෙන තිබුණ ද සමහරුන් පසුව එයින් ඉවත්ව තිබුණේ අනෙක් පැත්තේ සිටි සිය ඥාතීන් මේ වනවිට ජීවතුන් අතර නැති බව දැනගැනීමෙන් පසුව ය. තවමත් මෙම අවස්ථාව උදා නොවූ තව විශාල පිරිසක් දෙපැත්තේම සිටින බව රහසක් නොවේ.

මේ ආකාරයෙන් පසුගිය දා (20 දා)  උතුරු කොරියාවට ආ වියපත්ම තැනැත්තා ගේ වයස අවුරුදු 101ක් බව ද සඳහන් වේ. මේ බොහෝ දෙනකු සිය ස්වාමි පුරුෂයන්, බිරියන්, දරුවන් හෝ මව්පියන් මුණ ගැසෙන්නේ ජීවිතයේ අවසන් වරට වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ ආකාරයෙන් දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට පැමිණි ලී කුම්-සියොම් 92 හැවිරිදි මවකි. ඇය පැමිණ තිබුණේ උතුරු කොරියාවේ සිටින සිය පුතණුවන් දැක ගැනීම සඳහා ය. ඇයට ඔහුගෙන් වෙන් වීමට සිදුවෙද්දී ඔහුගේ වයස අවුරුදු 4ක් පමණක් වූ බව ද සඳහන් වේ. යුද්ධයේ දී එල්ල වූ ප්‍රහාරවලට බියෙන් පලා යද්දී ඇයට පුතණුවන් මෙන්ම ඇගේ සැමියා ද මග හැරී තිබිණි. 'මේ වගේ දවසක් උදා වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ' යයි ලී කුම්-සියොම් පවසා තිබේ. 'මගේ පුතා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ'. ඔවුන් දෙදෙනා එකිනෙකා වැලඳ ගෙන සතුටු සාමීචියේ යෙදෙන ආකාරය මාධ්‍ය හරහා දැකගත හැකිවිය.

72 හැවිරිදි කිම් ග්යොංග්-සිල් සහ 71 හැවිරිදි  කිම් ග්යොං- යොං යන සහෝදරියන් දෙදෙනා උතුරට පැමිණ තිබුණේ ඒ වනවිට 99 වෙනි වියෙහි පසු වූ සිය මව දැක ගැනීම සඳහාය. ඇගේ නම හැන් ෂින්-ජාය. දකුණේ බොහෝ දෙනකු සිය ඥාතීන් හමුවීමට පැමිණ තිබුණේ තෑගි බෝග මෙන්ම අතීත සිහිවටන ද අරගෙනය. තෑගි බෝග අතර ඇඳුම්, ඔවුන් කෑමට කැමති ආහාර, බෙහෙත් වර්ග ආදිය ද තිබූ බව පැවසේ. ඒ කාලයේ ගන්නා ලද ඡායාරූප ආදිය බලමින් ඔවුන් සිය අතීතය සිහිපත් කරමින් සතුටු වූ බවද සඳහන් වේ. සිය වැඩිමල් සොහොයුරා හමුවීමට පැමිණ සිටි, ලී සූ-නාම් නැමැති 76 හැවිරිදි සහෝදරියක පවසා තිබුණේ සොහොයුරා වෙනුවෙන් තමා ගෙදරදීම සාදන ලද බෙහෙත් වර්ගයක් ගෙන ආ බවයි. ඔහුගේ ආහාර දිරවීම පහසු කිරීමටත්, හිසරදය ඇත්නම් එය සමනය කිරීමටත් මේ ඖෂධවලට හැකි වනු ඇති බව ඇය පවසා තිබිණි.

මෙම දෙපිරිස අතර මෙම හැඟීම්බර හමුව දින තුනක කාලයකට පමණක් සීමා විය. එයින් පසු ඔවුහු නැවත එකිනෙකාගෙන් වෙන්ව ගියහ. මෙම දින තුනක කාලය තුළ ද ඔවුන්ට මුණ ගැසීමට අවසර ලැබුණේ දිනකට පැය කිහිපය බැගින් පමණි. ඒ අනුව ඔවුන්ට එකිනෙකා සමග ගත කිරීමට ලැබුණු මුළු කාලය පැය 12ක් පමණ බව සඳහන් වේ. වසර හැටහැත්තෑවකට පසු හමු වූ අවස්ථාවේත් ඔවුන්ට කතාබහ කිරීමට ලැබුණේ මේ තරම් සුළු කාලයක් පමණක් වීම ගැන බොහෝ දෙනා දුක් වූ බවද සඳහන් විය.

මෙවැනි හමුවීම් මෙයට පෙර ද කිහිප වරක් පවත්වා තිබේ. මෙවර මෙම හමුව පැවැත්වුණේ වසර තුනකට පසුව ය. මෙම හමුව මේ ආකාරයෙන් පැවැත්වීම සඳහා මග පෑදුණේ උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර පසුගිය මැයි මාසයේ සිදු වූ රාජ්‍ය නායක හමුවේ දී ඇති කරගත් එකඟතා මත බව ද සඳහන් වේ. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර කාලයක් තිස්සේ පැවැති එදිරිවාදිකම් මේ වනවිට කමෛන් සමනය වෙමින් ඇති ආකාරයක් දිස්වන අතර ඉදිරියේ දී මෙවැනි හමුවීම් වැඩි වැඩියෙන් සංවිධානය කෙරෙනු ඇති බවටද මේ වනවිට විශ්වාසය පළවෙමින් තිබේ.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.