lakbima.lk

මහා ගල් කන්දක් තනිවම කඩා ගමත් නගරයත් එකට යා කළ දශ්රාත් මාන්ජි

දශ්රාත් මාන්ජි ජීවත්වුණේ ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ හෙග්ලෝර් ගම්මානයේ. ඔහු අන්ත දුප්පතෙක්. රැුකියාව වුණේ වතුවල කුලීී වැඩ කිරීමයි. ඔහු කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොකළ අහිංසකයෙක්. කම්මැලිකම කියන වචනය ඔහු අහලාවත් නොතිබුණු තරම්.

1960 අවුරුද්දේ දිනක දශ්රාත්ගේ බිරිඳ හදිස්සියේ මියගියා. ගැබ්බරව සිටි ඇය මියගියේ ඇදවැටීමකින් සිදුවූ අධික ලේ ගැලීමක් නිසයි.

”අපරාදෙ, ඇයව මීට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුණා. කනගාටුයි, දැන් නම් අපට කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ” වෛද්‍යවරුන් කිව්වේ එ් විදිහටයි.

දශ්රාත්ගේ ගමට කිට්ටුම රෝහල තිබෙන්නේ ගමෙන් එ් තරම් ඈතක නෙවෙයි. ඒත් එතැනට යන්න සෑහෙන වෙලාවක් ගතවෙනවා. එහෙම වෙන්න හේතුව තමයි ගම මැදින් තිබෙන මහා කළුගල් කන්ද. ළඟම තිබෙන නගරයට යන්න නම් මේ මහා කන්ද වටේ සෑහෙන දුරක් යන්න වෙනවා. 

මේ කළුගල් කන්ද නොතිබුණා නම් දශ්රාත්ගේ බිරිඳව ඉක්මනින්ම රෝහලට ගෙනයන්න තිබුණා. මේ අවාසනාවන්ත සිද්ධිය දශ්රාත්ට දරාගන්න බැරි වුණා. එ්ත් ඔහු මදක්වත් අධෛර්යයමත් වුණේ නම් නැහැ.

 ”මේ හැම දේටම මුල මේ ගල් කන්ද” යැයි සිතූ දශ්රාත් දවසක් මේ කන්දට පහර දෙන්නට පටන්ගත්තා. එ්, තමාගේ මිටියෙන් හා ගල් කටුවෙන්. ඔහුගේ උත්සාහය වුණේ මේ කන්ද දෙබෑ කර නගරයට යන්නට කෙටි පාරක් තැනීමයි.

 ”මේ මනුස්සයාට නම් හොඳටම පිස්සු වගේ. මොන විකාර වැඩක්ද මේ කරන්නේ. ඔය මහා ගල් කන්දක් එක්ක හැප්පෙන්න පුළුවන්ද මේ මනුස්සයාට. තමන්ගේ පාඩුවේ කුලී වැඩක් කරගෙන කීයක් හරි හොයාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව තේරුමක් නැති වැඩ කරනවා. ඔය වැඩෙන් වෙන්නේ කරගෙන යන කුලී වැඩත් නැති කරගන්න එකයි” දශ්රාත් කරන දෙය ගැන බොහෝ දෙනෙක් කතා කළේ එ් විදිහටයි.

 මේ මොන දේ ඇහුණත් දශ්රාත් තමන් කරන දෙය නතර කළේ නැහැ. අධෛර්යමත් වුණේත් නැහැ.

දශ්රාත් පාන්දර 4.00 ඉඳන් උදේ 8.00 වෙනතෙක් ගල් කන්ද කැඩුවා. ඉන් පස්සේ උදේ 8.00 ඉඳන් දවල් 1.00 වෙනතෙක් වතුවල කුලී වැඩ කළා. ආයෙත් දවල් 1.00 ඉඳන් මහ රෑ වෙනතෙක් ගල් කන්ද කැඩුවා. ඔය විදිහට ඔහු අවුරුදු 22 ක් තනිවම මහා ගල් කන්ද දෙබෑ කර තමන්ගේ ගමත් නගරයත් යාකරන කෙටි පාරක් නිර්මාණය කළා.

 දශ්රාත් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතිව මේ තරම් කාලයක් තනිවම දෙබෑ කළේ අඩි 360 ක් දිග අඩි 28ක් උස අඩි 10 ක් පළල කළුගල් කන්දක්.

අද බිහාරයේ හෙග්ලෝර් ගමේ මිනිස්සු බොහොම ඉක්මනින් පහසුවෙන් නගරයට යන්නේ දශ්රාත් දහ දුක් විඳගෙන කපා දුන් පාරෙන්. එදා දශ්රාත්ව විවේචනය කරපු හැම දෙනාම අද ඔහුට වීරයෙක් හැටියට ගරු කරනවා.

දශ්රාත් කළ මේ අරුම පුදුම කටයුත්තට ගෞරව කළ බිහාර් රජය වසර 2000 දී ඔහුගේ නම ඉන්දියාවේ පද්ම ශ‍්‍රී ගෞරව සම්මානය සඳහා යෝජනා කළා.

ඒ පමණක් නෙවෙයි, ඉන්දියානු තැපැල් සේවය ”දශ්රාත්” වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයකුත් නිකුත් කළා.

මේ මහා කටයුත්ත කළ දශ්රාත්ව ඉන්දියාවේ බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ ‘මවුන්ටන් මෑන්’ හෙවත් ‘කන්දේ මිනිසා’ හැටියටයි.

අග්න්‍යාශයේ පිළිකාවක් නිසා 2007 දී දශ්රාත් මාන්ජි මියගියා. නවදිල්ලියේදී ඔහුගේ අවසන් කටයුතු කෙරුණේ රාජ්‍ය ගෞරව සහිතවයි.

උපදින  ඕනෑම කෙනෙක් කවදා හෝ මියයනවා. දශ්රාත් මාන්ජිත් එහෙමයි. එ්ත් ඔහු ගමක් වෙනුවෙන් කළ මේ මහා සේවය කළගුණ දන්න මිනිසුන්ගේ මතකයේ රැුඳී සිටින කල් ඔහු හැමදාමත් ජීවත් වේවි. 

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.