lakbima.lk

සාමය සඳහා මැදිහත් වූ සංවේදි මිනිසා කොෆී අන්නන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හත්වැනි මහ ‍ලේකම්වරයා වූ කොෆී අට්ටා අන්නන් වයස අවුරුදු අසූවේදී  මිය ගියේය. 1997 සිට 2006 දක්වා මහ ‍ලේකම් තනතුර දැරූ අන්නන් ඝානාවේ උපත ලැබූ අතර මියගියේ ස්විට්සර්ලන්තයේදීය. 2001 වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙදී ගියේ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය හා කොෆී අන්නන් අතරය. නෙල්සන් මැන්ඩෙලා විසින් පිහිටුවන ලද එල්ඩර්ස් ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු කොෆි අන්නන් පදනමේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයාද විය.
1938 අප්‍රේල් අටවැනිදා උපත ලැබූ අන්නන්ට තව නිවුන් සොයුරියක්ද වූ අතර ඇයට හා ඔහුගේ මැද නම ලෙස අට්ටා යන්න යොදන ලද්දේ ඝානා බසින් එහි අරුත නිවුන් යන්න බැවිනි. ප්‍රභු පවුලක උපත ලැබූ ඔහුගේ මුතුන් මිත්තන් මෙන්ම මාමලාද අෂාන්ති ගෝත්‍රික නායකයන් විය. මෙතෝදිස්ත නේවාසික පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසුකලක පවසා සිටියේ කොතැනක හෝ මිනිසා වේදනා විඳිනවා නම් එය සෑම තැනම සිටින මිනිසුන් විසින් සැලකිල්ලට ගතයුතු තත්ත්වයක් බව තම සිතට මුලින්ම කාවැදුනේ මෙම පාස‍ලේදී බවය. ඝානාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස ලැබූවේ අන්නන් මෙම පාස‍ලේ අධ්‍යාපනය අවසන්කොට උපාධිය ලැබූ 1957 වසරේදීය. පසුව විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කුමාසි විදුහ‍ලේ ආර්ථික විද්‍යාව හැදැරූ ඔහු එහිදී ලැබුණු ශිෂ්‍යත්වයක් මත එක්සත් ජනපදයේ මිනෙසොටා හි මැක්ඇලෙස්ටර් විදුහ‍ලේ ආර්ථික විද්‍යාව පිළිබඳ තම උපාධි කටයුතු නිම කළේය.
ස්විට්සර්ලන්තයේදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් ලැබූ අන්නන්ට ඉංග්‍රීසි, ප්‍රංශ, අකාන්, ඇතැම් කෲ භාෂාවන් සහ අප්‍රිකානු භාෂා රැසක් ඉතා හොඳින් කතා කළ හැකිය. අන්නන් ගැන ඔහුගේ මරණයෙන් පසු සටහන් තබන ඇතැමෙක් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ මිනිසෙකු ලෙස ඔහු ගැන සඳහන් කරයි. තමාට ජයග්‍රහණය කළ හැක්කේ ජයග්‍රහණය කළේ ඔහු බව ප්‍රතිවාදියාට දැනෙන්නට හැරීමෙන් බව ඔහු නිතර කල්පනා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු  කරද්දී    ඔහුට දුෂණ චෝදනා එල්ලවූවද ඒවා අදාළ සංවිධානයේ වැරදි මිස ඔහුගේ වරදින් නොවන බව කියන්නේ 2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන ‍පොතක් ලිවීමේදී අන්නන් සමීපව ඇසුරුකල ජේම්ස් ට්‍රවුබ්ය. මහ ‍ලේකම් පදවිය ලැබුණු පසු ඔහු බලා‍පොරොත්තු වුවාට වඩා ප්‍රබල හා අණදෙන ස්වරූපයකින් කට යුතු කළේ ඇමෙරිකාවද විමතියට පත්කරමිනි. ඇතැම් විටක ස්වාධීන පුද්ගලයෙකු ලෙස මෙම තනතුර තුළ කටයුතු කිරීමට ඔහුට හැකි වූයේද එබැවිනි.
රුවන්ඩාවේ හා බොස්නියාවේ සාමසාධක කටයුතු භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහුට ඩාර්ෆුර්හි ජන සංහාරය නතර කිරීමට නොහැකිවූයේ චීනයේ අත පෙවීම් නිසා බව පැවැසෙයි. කෙසේ වුවද අන්නන් බලා‍පොරොත්තු කඩකල තරමට ම පරමාදර්ශී චරිතයක්ද වූ බව ජේම්ස් ට්‍රවුබ් තම ලියවිල්ලෙහි සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය
පිළිබඳව කොෆී අන්නන් තරම් විශ්වාසය තැබූ වෙනත් මහ ‍ලේකම්වරයෙකු නැති බව විචාරකයන්ගේ අදහසයි.  
අන්නන් දෙවරක් විවාහ වූ අතර පළමු විවාහය සිදුවූයේ නයිජිරියානු ප්‍රභු පවුලක කාන්තාවක සමගය. එම විවාහයෙන් ඔහුට දියණියක හා පුතෙකු සිටින අතර ඇගෙන් දික්කසාද වූ ඔහු දෙවනවරට  විවාහ වූයේ ස්විඩන් ජාතික නීතිඥවරියක සමගය.අන්නන්ගේ පුත්‍රයා වන කොයෝ අන්නන් සුප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අතර කළු සල්ලි ස්විස් ගිණුම්වල ඇති පිරිස් ගැන පළවූ පැනමා පේපර්ස් වාර්තාවල ඔහුගේ නමද ඇතුළත්ව තිබිණි.අන්නන් තම ජීවිත කතාව ඉන්ටවෙන්ෂන්ස්-අ ලයිෆ් ඉන් වෝ ඇන්ඩ් පීස් නමින් ලියා ප්‍රකාශයට පත්කළ අතර ගෝලීය ජාත්‍යන්තර සබඳතා බලයේ පුද්ගලික ජිවිත කතාවක් ලෙස විචාරකයින් විසින් එය හඳුන්වන ලදී.
“ඔහු මෙළොවින් සමුගත්තද ඒ මුදු කටහඬ අප අතර රැදෙනු ඇත. ඒ වඩාත් යහපත් දේවදූතයන්ගේ කටහඬය” ජේම්ස් ට්‍රවුබ් අන්නන් පිළිබඳ තම ලිපිය අවසන් කරන්නේ එලෙසිනි.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.