lakbima.lk

කොෆී අනන් ගේ ජීවිත වියමන

පසුගිය දා මෙලොවින් සමුගත් ලොව අද්විතීය ගණයෙහි පුද්ගලයෙකු ලා සැලකෙන කොෆී අනන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 7 වැනි මහ ලේකම්වරයා ය. ඝානාවේ ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙකු වූ හෙන්රි රෙජිනල්ඞ් අනන්ටත් වික්ටෝරියා අනන්ටත් දාව උපත ලද කොෆී අට්ටා අනන්  උපත ලැබුවේ ඝානාවේ කුමාසි හි දී ය. ඒ 1938 අපේ‍්‍රල් 8 වැනි දා ය.

අධ්‍යාපනයට උපන් හපන්කම් දැක් වූ අනන් ඝානාවේ කුම්සා හි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙනුත් මිනෙසොටාවේ සෙන්ට් පෝල්හි මැකැලෙස්ටර් කොලීජියටත් ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා වෙතටත් පසුකාලීනව තෘතීක අධ්‍යාපනය සඳහා මැසවූසෙට්ස් තාක්ෂණ ආයතනය වෙතත් යොමු විය. උසස් භාෂණ  හැකියාවක් පැවතූණු අනන් හට ව්‍යක්ත ලෙස ප‍්‍රංශ භාෂාවත් අප‍්‍රිකානු භාෂා කිහිපයකුත් කතා කළ හැකි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඔහු එක් වන්නේ  1962 දී ය. ඒ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිපාලන හා ගිණුම් සම්බන්ධ නිළධරයෙකු ලෙස ය. පසුව අඩිස් අබාබා හි පිහිටි අප‍්‍රිකානු ආර්ථික කොමාසමේත්  ඊජිප්තුවේ ඉස්මයිලියා හි  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි ඒකකයෙත් ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් සම්බන්ධ මහ කොමසාරිස්වරයා ලෙසත්  නිව්යෝර්ක් හි පිහිටි මූලස්ථානයේත් විවිධ ජ්‍යෙෂ්ඨ ධූර තුළත් සාර්ථක ලෙස කටයුතු හොබවා ඇත.

1997 දී එක්සත් ජාතින්ගේ මහ ලේකම් ධූරය දැරිමට පෙර ඊට පෙර ධූරය දැරූ මහ ලේකම් යටතේ සාම සාධක හමුදාවේ සේවය කළේ ය. මොහුගේ ධූර කාලය තුළ දි ඉරාකයේ සාම සාධක කටයුතු  සඳහාත් 1995-1996 කාල වකවානු තුළ පැවති යුගෝස්ලාවියාව සඳහා මහ ලේකම්වරයා වෙනුවෙන්  විශේෂ  නියෝජිතයෙකු වශයෙන් ද එම ධූරය දරන අතරතුරේදී නේටෝහි විශේෂ නියෝජිතයෙකු ලෙස ද  කටයුතු සිදු කර ඇත.

1997 සිට 2006 තෙක් එක්සත් ජාතින්ගේ මහ ලේකම් ධූරය දැරූ කාල වකවානුව එක්සත් ජාතින්ගේ සංවිධානය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු සම්පාදනය කළේ ය. ඔහු මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, සහස‍්‍ර සංවර්ධන ඉලක්ක හා අප‍්‍රිකාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරවීය. මෙතුමාගේ පාලන සමයේ දී සාම සාධක මෙහෙයුම් බොහෝ ගණනක් සිදු කළ අතර  2005 වන විට නව අන්තර් රාජ්‍යායතන රැසක් පිහිටුවී ය. මෙහිදී විශේෂයෙන් ඔහුගේ අනු දැනුම මග පිහිටි වූ සාමය ගොඩනැඟීමේ කොමිසම සහ මානව හිමිකම් කවුන්සිලය වැදගත් ය. එමෙන් ම ඒඞ්ස්, ක්ෂය රෝගය හා මැලේරියාව පිටු දැකීමේ ගෝලීය  අරමුදල නිර්මාණය කිරිම,  ත‍්‍රස්තවාදය පිටු දැකීමේ ධර්මතාවය, ජනයා මූලෝත්පාටනයෙන්, වර්ග සංහාරයෙන්, යුධ අපරාධ  වලින් හා මනුෂ්‍යත්වයට එදිරි අපරාධ මඟින් ආරක්ෂා වීමේ අයිතිය  සාමාජික රාජ්‍ය අතර ප‍්‍රචලිත කිරීම මෙතුමාතින් සිදු වූ සේවාවන් ය.   

2001 දී කොෆී අනන් මහතා හට නොබෙල් සාම ත්‍යාගය පිරි නැමුණේ ලෝක සාමය වෙනුවෙනුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් කළ අනඟි කාර්යභාරය උදෙසා ය. මිය යන විට අසූ වැනි වියේ පසු වූ මෙතුමා අවසන් හුස්ම හෙලූවේ ස්විස්ටර්ලන්තයේ රෝහලක් තුළ ය. එතුමන්ගේ සේවාව මෙදියත තුළ සදානුස්මරණීය වනු ඇත.

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

 

උත්ප‍ලා ප්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.