lakbima.lk

ප්‍රංශය විසිපස් වසරක් සොයන රන් බකමූණා

රටේ කොතැනක හෝ වැලලී ඇති පියාඹන ස්වරූපයක් පළකරන කුඩා බකමූණෙකුගේ ලෝකඩ ප්‍රතිමාවක් සොයා ප්‍රංශය වෙහෙසෙන්නේ වසර විසිපහක සිටය. මෙය සොයාදෙන කෙනෙකුට එම ප්‍රමාණයෙන්ම රන් හා රිදියෙන් කළ සැබෑ බකමූණු රුව තෑගි වශයෙන් ලැබෙණු ඇත. ඊට අමතරව ලොව එතෙක් මතෛක් වැඩිම වෙහෙසක් දරා හා වැඩිම කාලයක් වැයකොට කළ සෙවුමක් අවසන් කළ පුද්ගලයා වීමේ ගෞරවයද ඔහුට හෝ ඇයට ලැබෙනු ඇත.

මේ කතාව ඇරඹෙන්නේ 1993 වසරේදී චිත්‍රද සහිතව ප්‍රංශ බසින් රන් බකමූණා සෙවීමේ මෙහෙයුම නමින් මැක්ස් වැලෙන්ටින් විසින් ලියු ‍පොතක් ප්‍රකාශයට පත්කිරීමත් සමගය.ඔහුගේ සැබෑ නම ‍පෝල් හවුසර් වන අතර ‍ලේඛකයෙකු මෙන්ම ඔහු ප්‍රහේලිකා නිර්මාණය කරන්නෙකුද වෙයි. ඊට ටික කලකට පෙර ඔහු මෙම බකමූණු රුව කිසියම් තැනක සැඟවූ අතර එතැන ගැන දන්නේ මැක්ස් පමණකි. ඉනුදු කලකට පෙර රන් හාවෙකු සහිත පදක්කමක් සෙවීම සඳහා ඉඟි සපයමින් බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී කිට් විලියම්ස් විසින් ලියන ලද ‍පොතක් නිසා මෙවැනි සැඟවුණු වස්තූන් සෙවීම මේ වනවිට ජනප්‍රියව තිබිණ. ඔහු කැරට් දහඅටේ රනින් නිමවා මුතු හා මැණික් එබ්බවු හාවා සහිත පදක්කම සඟවනුයේ බෙඩ්ෆර්ඩ්ෂයර්හි කඳුකර ප්‍රදේශයකය. වසර තුනක් ලොව පුරා පිරිස හාවා සෙවූ අතර තමා ජීවිත කාලයේම ඉතිරිකරගත් මුදල ඒ වෙනුවෙන් වැයකළ ස්විට්සර්ලන්ත පවුලක් ගැනද වාර්තා වෙයි. අවසානයේ එය සොයාගනු ලැබුවේ විලියම්ස්ගේ හිටපු පෙම්වතියගේ ව්‍යාපාරික හවුල්කරු විසිනි. පසුව මේ ආකාරයේ ‍පොත් තව ලියැවුණු අතර ඒවායේ සඳහන් සැඟවුණු වස්තූන් සියල්ල කවුරුන් විසින් හෝ සොයාදී තිබුණි. තවමත් හමුවී නැත්තේ හා තවමත් සොයන්නේ රන් බකමූණු රුව පමණකි. වසර විසිපහක් ගිය තැන ද අන්තර්ජාලය හරහා බා ගත හැකි ‍පොතෙහි ඇතුළත් ඉඟි එකොළහ පසුපස යමින් මේ බකමූණු රුව සොයාගැනීමට උනන්දුව දක්වන්නන් සිටිති.තනිවී නැති ඔවුහු සංගමයක් පිහිටුවාගෙන එකිනෙකා හා සාකච්ඡා කරන අතර වාර්ෂිකව මුණගැසෙති.

රන් බකමූණා සොයාගෙන යන ගමනේදී යම් ආකාරයකට නීති විරෝධි දෙයක් සිදුවුවහොත් ඒ සඳහා අධිකරණය වෙත යෑමට නීති උපදෙස් ලබාගැනීම සඳහා එකිනෙකාට උපකාර කිරීමටද වෙනම සංගමයක් වෙයි. මේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකු වන පියරේ බ්ලවුච් රන් බකමූණු රුව සොයන්නේ එය සෙවීම ආරම්භ වූ 1993 වසරේ අගෝස්තුවේ සිටය. ‍පොත ලියැවී මාස තුනක් ගතවු තැන තමා සෙවිල්ල ආරම්භ කළේ ඉක්මනින් එය සොයාගත හැකි බව සිතමින් වුවද එය මෙතරම් කාලයක් ගතවනතුරුත් කරගැනීමට නොහැකිවේයැයි තමා කිසි විටෙකත් නොසිතූ බව ඔහු කියයි. මේ රන් බකමූණු සංගමයේ පිරිස ඇතැම්විට උමතුවෙන් මෙන් මේ සැඟවුණු රුව සෙවූ අවස්ථා වෙයි. පියරේ වරක් තමා නගරය පුරා තැන තැන කණිමින් බකමූණා සෙවූ ආකාරය සිහි කරන්නේය. ඉංජිනේරුවෙකු ලෙස කළ සේවයෙන් මේ වනවිට විශ්‍රාම ලබා සිටින ඔහු දවසෙන් සැලකියයුතු කාලයක් ගතකරන්නේ අන්තර්ජාලයේ සැරිසරමින් බකමූණු රුව සැඟවුණු තැනක් ගැන අලුත් හෝඩුවාවක් සොයාගැනීමටය.

මැක්ස් වැලෙන්ටින් විසින් සපයා ඇති ඉඟි පැහැදිලි කරගැනීමට විද්‍යාත්මක දැනුම, පරිකල්පනය හා සංකේත නිරවුල් කරගැනීමේ ශක්තිය අවශ්‍ය වෙයි. ඉහත ඉඟි විසින් ප්‍රංශයේ නගරයකට රන් බකමූණා සොයන්නා යොමුකරන අතර අන්තර්ජාලය හරහා එකිනෙකා සමග මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නන් මේ වනවිට බකමූණු රුව ඇතැයි සැලකෙන ස්ථානයක් ගැන එක මතයක සිටිති. කෙසේවුවද තවමත් එය ඇති නිශ්චිත ස්ථානයක් සිතාගැනීමට ඔවුහු අ‍පොහොසත්ය.

“මේ ප්‍රහේලිකාව සැලසුම් කරනකොට වැලෙන්ටින්ට තිබුණේ ‍පොත්වල පිහිට විතරයි.දැන් අපිට අන්තර්ජාලයෙන් ඕනෑතරම් විස්තර ලැබෙනවා. ඒ නිසාම අපිව පැටලෙනවා වැඩියි.” පියරේ කියයි. මුල් කාලයේදී වැලෙන්ටින්ද රන් බකමූණා සොයන්නන් අසන ප්‍රශ්නවලට ව්‍යංගයෙන් පිළිතුරු දෙමින් සිටියේය. මේ වනවිට ඔහු ජීවතුන් අතර නැත. වසර නමයකට පෙර ඔහු මියගියේ රන් බකමූණා ඇති තැන ගැන ලියූ ලිපියක් අඩංගු මුද්‍රා තැබූ ලියුම් කවරය තම පවු‍ලේ උදවිය අත පත් කරමිණි. කිසිවෙකු හෝ බකමූණු රුව සොයාගන්නාතුරු එය විවර කිරීම ඔවුන්ට තහනම්ය. මේ රහස දන්නා තවත් කෙනෙක් වන්නේ ‍පොතට චිත්‍ර ඇන්ද හා බකමූණන්ගේ රූප ඇඹු මයිකල් බෙකර්ය. වළදමා ඇත්තේ රනින් හා රිදියෙන් කළ බකමූණු රුවට සමාන ලෝකඩ රුවකි. සැබෑ බකමූණා බෙකර් සතුව සිටියද වළදැමු බකමූණු රුව ඇති තැනක් ඔහුද නොදනියි. කලකට පෙර සැබෑ බකමූණු රුව විකිණීමට බෙකර් තැත්කළ අවස්ථාවේ විශාල ආන්දෝලනයක් ඇතිවිය.එය දිනක ලෝකඩ රුව සොයාගන්නාට අයිති විය යුතුය යන මතයට අනුව අධිකරණය සැබෑ රුව විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවුවද මේ වනවිට ඉහත ලිපිය හැරුනුවිට බකමූණා සැඟවුනු තැනක් ගැන දන්නා කෙනෙක් මිහිපිට නැත. එය කිසිදිනක හමුනොවනු ඇතැයිද, එය වළදැමූ තැනට ඉහළින් ගොඩනැගිලි අනාගතයේදි නිර්මාණයවී රන් බකමූණා සදහටම වැලලී යනු ඇතැයිද ඇතැමෙක් සිතති. මෙය සම්පූර්ණ මායාවක් බව සිතන්නෝද හිඟ නැත. මේ සම්බන්ධයෙන් 1996 වසරේ දිනක වැලෙන්ටින් මෙසේ කීවේය.

මුළු රටේම ඉන්න බකමූණා හොයන කට්ටිය තමන්ගෙ දැනුම එකතැනකට ගෙනාවොත් පැය දෙකෙන් ඒක හොයාගන්න පුළුවන්.”

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.