lakbima.lk

බංගලාදේශයම නතරකළ රිය අනතුර

බංගලාදේශයේ අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී මේ වනවිට සති දෙකකට ආසන්නය. දැඩි වාහන තදබදයක් මෙන්ම ප්‍රවාහන කටයුතු දුබල තත්ත්වයේ පවතින බවට මෙය ලියන අප විසින් පෞද්ගලිකවම අත්විඳ ඇති බංග්ලාදේශයේ මෙම අර්බුදයට හේතුව පාසල් ළමුන් දෙදෙනකුට මරු කැඳවූ රිය අනතුරකි. මහමග ආරක්ෂාව සලසන ලෙස ඉල්ලමින් පාරට බැස අරගල කළ බහුතරය පාසල් හා විශ්වවිද්‍යාල සිසු, සිසුවියන් වූහ. මිලියන දහඅටක ජනතාවට සෙවණ දෙන බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි ඇතිවූ මෙම අරගලය මේ වනවිට ලොව පුරා ප්‍රචලිතවී ගොසිනි.
කතාව ඇරඹෙන්නේ ජූලි විසි නවවැනිදායිනි. පාසල් යන දරුවෙක් හා දැරියක් වෙනත් බස් රියකට ඉස්සර කරන්නට පිම්මේ පැමිණීම හේතුවෙන් රියැදුරාට පාලනය කරන්නට නොහැකි වූ බස් රියක හැපී එතැනම මිය ගියේය. පණ අත තබාගෙන මහමගට බැසිය යුතු තරම් භයානක රියැදුරන් සිටින හා පසුගිය වසරේ රිය අනතුරුවලින් හාරදහසක් මියගිය රටකට මෙය සාමාන්‍ය සිදුවීමක් වුවද මෙවර වෙනදා මෙන් එය එතැනින් අවසන් වූයේ නැත. සමාජ මාධ්‍ය ජාල හරහා ලැව්ගින්නක් මෙන් පැතිර ගිය මෙම සිදුවීම මහා සිසු විරෝධතාවකට මුල පිරුවේය. පාරට පැමිණි දහස් ගණන් සිසුන් හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල වූ අතර රටේම ෙදෙනික වැඩ කටයුතු නතරවන තැනට කටයුතු සිදුවිය. විරෝධතාව දැක්වීමෙන් නොනැවතුනු සිසුන් මහමග යන සියලු වාහන නවත්වා රියැදුරන්ට වලංගු බලපත් ඇතිදැයි පරීක්ෂා කරන්නටත්,වාහන ධාවනයට සුදුසු තත්ත්වයේ ඇතිදැයි පරීක්ෂා කරන්නටත් වූහ.
“අපට ඕනෙ දූෂණය නැතිකරන්න. සීනිබෝල බෙදනවා වගේ රියැදුරු බලපත් බෙදන්න ඉඩදෙන්න බැහැ.”ඉන් එක් සිසුවෙක් මාධ්‍ය අමතා පවසා තිබිණි.
මෙවැනි විරෝධතා නුහුරු බංග්ලාදේශය දින කිහිපයකට නතර කරන්නට සිසුහු සමත් වූහ. රජය විරෝධතාව මැඩ පවත්වන්නට ‍පොලිසිය හා හමුදාව එවූ අතර කඳුළු ගෑස් හා බැටන් ‍පොලු ප්‍රහාර සමග ආරක්ෂක අංශ හා සිසුන් අතර මහ සටන් ඇවිළිනි. විරෝධතාකරුවන් රබර් උණ්ඩ හා කඳුළු ගෑස් හේතුවෙන් තුවාල ලැබූ අතර රජය මුලදී මේ බව ප්‍රතික්ෂේප කර සිටියේය. ‍පොදු ප්‍රවාහන සේවා නතරවිය. සටන් වඩාත් දරුණු වූයේ රජයට පක්ෂපාති හා පාලක පක්ෂයට හිතවත් ශිෂ්‍ය සංවිධානයක්ද ‍පොලු, මුගුරු රැගෙන මගට බැසීමත් සමගය. පසුගිය සඳුදා වනවිට ‍පොලිසිය විශ්වවිද්‍යාල සිසු, සිසුවියන් සොයමින් විශ්වවිද්‍යාල තුළදී හා ජනාකීර්ණ ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගන්නට වූහ. තුවාල ලබාගෙන ආ විරෝධතාකරුවන්ගෙන් රෝහල් පිරීයන්නට වූ බව පැවැසෙයි.
මෙම කලබලයෙන් පීඩා විඳි අනෙක් කොටස වූයේ මාධ්‍යවේදීන්ය. මාධ්‍ය නිදහස පහළටම ඇද දැමූ දවස් කිහිපයක් ලෙස එරට සුප්‍රකට ඩේලි ස්ටාර් පුවත් පත කතුවැකියකින් හඳුන්වා දුන් මෙම අරගලයේදී මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන හා කැමරා රැසකට ආරක්ෂක අංශ හානිකොට හෝ කලබලය මැද හානිවී තිබුණි. ඒ.පී.පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු ඇතුළුව විරෝධතාව පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටි මාධ්‍යවේදීන් ද ආරක්ෂක අංශවල පහරකෑම්වලට ලක්ව තිබිණි. සිසුන්ට පහරදෙන ආණ්ඩුවට හිතවත් පිරිස් වීඩියෝගත කළ දර්ශන මකාදමන ලෙස තමාට තර්ජනය කළ බවත්, තමා එයට එකඟ වූ පසුවද පහරදුන් බවත්, දර්ශන මකා නොදැමුවේනම් නිසැකයෙන්ම තමාව මරාදමන බව කියූ බවත් එක් මාධ්‍යවේදිනියක් පවසා තිබිණි. විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍යවලට තොරතුරු ලබාදුන් පිරිස් මේ වනවිට තර්ජනයට ලක්ව සිටින බව පැවැසෙයි. රජය මෙම විරෝධතාකරුවන් සම්බන්ධයෙන් අල් ජසීරා සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එය විවේචනය කළ සුප්‍රකට ඡායාරූප ශිල්පී ෂාහිදුල් අලාම් ද මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
සමාජ මාධ්‍ය හරහා සංවිධානය වෙමින් සාමකාමිව පවත්වාගෙන ගිය සිසු විරෝධතාවක් සම්බන්ධයෙන් බංග්ලා රජය කටයුතු කළ ආකාරය මේ වනවිට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, ඇමෙරිකාව හා එක්සත් ජාතීන් ඇතුළුව ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ. ඒ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය පසුගිය සඳුදා නව මහමාර්ග ප්‍රවාහන පනතක් සම්මත කරගත්තේය. මහමග ආරක්ෂාව සලසන බවට රජය ‍පොරොන්දුවී ඇති අතර නොසැලකිලිමත් ලෙස රිය පදවා මරණ සිදුකරන්නන්ට මරණ දඬුවම ලබාදෙන බවද කියයි. ඒ වෙනුවට අන්තර් ජාල පහසුකම්ද පසුගිය සෙනසුරාදා සිට අඩාල කළ රජය කියන්නේ මෙම විරෝධතාව වහා නතර කළ යුතු බවය. ෂේක් හසීනාගේ අවාමි ලීග් පාක්ෂිකයන් විරෝධතා කරුවන්ට පහරදීම සාධාරණීකරණය කරමින් රජය මෙසේ අසයි.
“පක්ෂ කාර්යාලයට පහර දෙන්න එන අයව ඉඹලා පිළිගන්න කියලද කියන්නෙ?”

නිශානි දිසානායක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.