lakbima.lk

ලොව පුරා රූපවාහිනී නාලිකාවලට අලුත් අභියෝගයක්

මේ කාලයේ සන්නිවේදන මාධ්‍ය අතරින් වඩාත්ම ජනප්‍රිය මාධ්‍යයක් ලෙස සැලකෙන්නේ රූපවාහිනියයි. රූපවාහිනියේ ආගමනයත් සමග ඒ වනවිට ජනප්‍රියව පැවැති ගුවන් විදුලිය, සිනමාව, පුවත්පත වැනි මාධ්‍යයන්ට තර්ජනයක් එල්ල වූ බව නොරහසකි. සිය පැවැත්ම වෙනුවෙන් රූපවාහිනිය සමග ලොකු තරගයක් දීමට ඔවුන්ට සිදුවිය. කෙසේ හෝ වේවා, මේ වනවිට බොහෝ සන්නිවේදන විශේෂඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, සමාජ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වෙමින් ඇති කාරණයක්ව ඇත්තේ රූපවාහිනිය පවා අලුත් අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවාය යන්නයි. එයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන දහරා නාලිකාවල සහ සේවාවන්ගේ ව්‍යාප්තියයි.මෑත කාලයේ හඳුන්වා දෙනු ලැබූ නෙට්ෆ්ලික්ස්   වැනි සේවාවන් මෙහිදී උදාහරණ ලෙස දැක්විය හැකිය. යූ ටියුබ් නාලිකා ද මේ වනවිට වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් ඇති අංගයක් ලෙස හැඳින්විය හැකිය. මෙම සේවාවන් මේ වනවිට අලුත්ම චිත්‍රපට, මාලා නාටක, වාර්තා වැඩසටහන්, වෙනත් විචිත්‍රාංග වැඩසටහන් ආදිය නිෂ්පාදනය කර විකාශය කරන තත්ත්වයට පත්ව ඇති නිසා රූපවාහිනි නාලිකාවලින් ස්වායත්ත වූ තමුන්ගේම පැවැත්මක් ඇතිකර ගනිමින් සිටියි. මෙම නිර්මාණ සහ වැඩසටහන් සුහුරු ජංගම දුරකතන, ටැබ්, පරිගණක ආදිය හරහා නැරඹීමට හැකිවීම නිසා රූපවාහිනිය වෙනුවට විකල්පයක් ලෙස මෙම සේවාවන් වර්ධනය වෙමින් ඇති ආකාරයක් පෙනේ.
අද බොහෝ දෙනෙකු, විශේෂයෙන් තරුණ පරපුරේ බොහෝ දෙනෙකු ගත කරන්නේ ඉතා කාර්ය බහුල ජීවිත බව රහසක් නොවේ. නිවෙස්වල කාලය ගත කරන්නේ ද ඉතා අඩුවෙනි. මෙම පසුබිම තුළ, ඔවුන්ට රැකියා සඳහා හෝ වෙනයම් ගමනක් බිමනක් යද්දී එද්දී, වෙනත් යම්කිසි තැනක කාලය ගත කරමින් සිටිය දී පවා සිය ජංගම දුරකතනය, ලැප්ටොප් පරිගණකය හෝ ටැබ්ලටය ඔස්සේ ඉහත කී නිර්මාණ රස විඳීමේ අවස්ථාව හිමි වන අතර එයම මෙම මාධ්‍ය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම වෙනත් අයගේ බාධා කිරීම් හෝ බලපෑම්වලින් තොරව මේවා නැරඹීමේ නිදහස හිමිවීමද මෙහි ජනප්‍රියත්වයට තවත් හේතුවකි. මෙම තත්ත්වය තුළ රූපවාහිනිය දැන් දැන් වැඩිහිටි පරපුරේ මාධ්‍යයක් බවට පත් වෙමින් ඇති බවත්, තරුණ පරපුර කමෛන් එයින් දුරස් වෙමින් සිටින බවත් බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙමින් සිටිති.
ඉන්දියාව තුළ මෙම තත්ත්වය පිළිබඳව මෑතක පළ වී තිබූ ලිපියක සඳහන්ව තිබුණේ එරට රූපවාහිනි නාලිකාවල විකාශය වන පවු‍ලේ ටෙලි නාට්‍ය ආදිය දැන් තරුණ පරපුර තුළ එතරම් ජනප්‍රිය නැති බවයි. සජීව ක්‍රිකට් තරග, පාපන්දු තරග ආදිය නැරඹීමේදී පවා බොහෝ තරුණ තරුණියන් සජීව දහරා නාලිකා වෙත යොමු වෙමින් සිටින බව සමීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය තුළ බටහිර සමහර ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ඉන්දියාවේ තරුණ පරපුර ඉලක්ක කරමින්ම වෙනම නිර්මාණ සහ වැඩසටහන් සිය දහරා නාලිකා හරහා විකාශය කරන බව ද සඳහන් වේ. මේවා විශේෂයෙන්ම  තරුණ පරපුරේ රස වින්දන  අවශ්‍යතාවලට සරිලන ආකාරයෙන් කෙරෙන නිර්මාණ බවද පැවැසේ. ආදරය, ශෘංගාරය ඇතුළු ඔවුන්ගේ වයසේදී මුහුණ දෙන අත්දැකීම් ඇසුරු කරගත් නිර්මාණවලට මෙහිදී මූලිකත්වය හිමි වෙයි.
මේ වනවිට මෙවැනි දහරා නාලිකාවල ග්‍රාහකයන්  බවට පත්වන පිරිස් විශාල වශයෙන් ඉහළ යමින් ඇති බවද සඳහන් වේ. නොමි‍ලේ වයි ෆයි පහසුකම් ආදිය ලබාදෙන කලාප  ව්‍යාප්ත වීම හේතුවෙන් වැඩි වියදමකින් තොරව මෙවැනි නිර්මාණ සහ වැඩසටහන් නැරඹීමේ අවස්ථා ඇතිවෙමින් තිබිමද මෙහි ජනප්‍රියත්වයට තවත් හේතුවක් වී තිබේ. ඩේටා සඳහා අය කරන ගාස්තු බොහෝ රටවල අඩු මට්ටමක තිබිමද එයට තවත් හේතුවකි. තවමත් රූපවාහිනි නාලිකා සඳහා ඇති ඉල්ලුම පසුකර යාමට මෙම දහරා නාලිකාවලට හැකියාව ලැබි නැතත් ඒ සඳහා වන ඉල්ලුම වැඩිවෙමින් තිබිම රූපවාහිනි නාලිකා හිමිකරුවන්ගේ අවධානයට ලක්වෙමින් ඇති බව සඳහන් වෙයි. විශේෂයෙන් ජනගහනයෙන් වැඩි පිරිසක් තරුණ තරුණියන් වන රටවල මෙම අභියෝගය වඩාත් කැපී පෙනෙන මට්ටමක පවතී. ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 65ක් අවුරුදු 35ට අඩු වයස්වල  පසුවන්නවුන්ය. එරට රූපවාහිනි නාලිකා සඳහා වන වෙළෙඳ‍පොළෙහි වර්ධනය සියයට 10ක මට්ටමේ රැඳී තිබියදී ඉහතකී දහරා නාලිකා සඳහා වන වෙළෙඳ‍පොළ සියයට 30ක පමණ වේගයකින් වර්ධනය වෙමින් ඇති  බවද අනාවරණය වෙයි. මෙම තත්ත්වය තුළ ඉදිරියේදී සම්ප්‍රදායික රූපවාහිනි සේවාවන්ට සිය ජනප්‍රියත්වය රඳවා ගැනීම සඳහා අලුත් අත්හදා බැලීම් කිරීමට සිදුවනු ඇති බව මේ පිළිබඳ  අවධානයෙන් පසුවන බොහෝ නිරීක්ෂකයන්ගේ අදහස වී තිබේ.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.