lakbima.lk

ලොව පළමු නළ බබා කියන අපූරු කතාවක්

ඇය ලොව පළමු නළ බබාය.  උපත ලැබූ බ්‍රිතාන්‍යයේද පළමු නළ බබාය. නූතන වෛද්‍ය විද්‍යාවේ ඉහළම ප්‍රාතිහාර්යයකි. වර්තමානයේදී වයස අවුරුදු හතළිහක් වන ලුයිස් බ්‍රවුන් දැන් විවාහකය. තම විවාහක සැමියා ගැන අපූරු කතාවක් ඇය පසුගියදා හෙළිකොට තිබුණි. ඒ ලොව පළමු නළ බබා ලෙස මාධ්‍ය තුළින් ලොව පුරා ප්‍රකට වූ ඇය බලන්නට නෑයින් හා අසල්වැසියන් තෑගිභෝග රැගෙන පැමිණෙද්දී ඒ අතර තම වත්මන් සැමියාද සිටි බවය. එවිට වයස අවුරුදු අටක් වූ වෙස් ලී මුලින්ඩර් ඇගේ නිවසට ඉදිරිපස නිවසේ තම පවු‍ලේ උදවිය සමග පදිංචිව සිටි බවද, ඇයව රෝහ‍ලේ සිට නිවසට ගෙනා පසු එහි රැස් වූ මාධ්‍යවේදීන් දැක කුතුහලයෙන් යුතුව පාර පැන තම නිවසට පැමිණ ඇති බවද ලුයිස් හෙළිකොට තිබේ. වසර විසිහතරකට පසු පෙම්වතුන් වූ ඔවුන් අද අඹුසැමියන්ය. 2004 වසරේදී හමු වූ ඔවුහු ඊට දෙවසරකට පසු විවාහ වූවෝය.

1978 වසරේ බ්‍රිතාන්‍යයේ ඕල්ඩ්හැම් ජාතික රෝහ‍ලේ දී ලුයිස් උපත ලැබු වාය. ලොව පළමු නළ බබා බලන්නට පැමිණි පිරිස සමග තමාද පැමිණි බව වෙස්ලි ඇයට හෙළි කළේ ඔවුන් පෙම්වතුන් වී වසරක් පමණ ගත වූ තැනය. ඔහු පදිංචිව සිටියේ තමා එකල මවුපියන් සමග පදිංචිව සිටි නිවසට ඉදිරිපස නිවසේ බව ලුයිස් දැනගත්තේද එවිටය. ලුයිස් පවු‍ලේ තවත් විශේෂත්වයක් වන්නේ ලොව හතළිස් වැනි නළ බබා ලෙස ඇගේ සොයුරිය වන නැටලි උපත ලැබිමය. නළ දරුවන් අතරින් පළමුවෙන්ම දරු උපතක් සිදුකළ තැනැත්තිය වන්නේද නැටලිය. ලුයිස් හා වෙස්ලිටද දැන් දරුවන් දෙදෙනෙකි. ලුයිස්ගේ දෙමව්පියන් එවකට පරීක්ෂණ  තත්ත්වයේ පැවැති නළ දරු උපතක් සඳහා ලියාපදිංචි වන්නේ වසර නවයක් දරුවෙකු ලැබිමට උත්සාහ ගැනීමෙන් පසුවය. ලෙස්ලි බ්‍රවුන් නම් වූ ඇය ඇතුළුව දෙසිය අසූදෙනෙක් මේ සඳහා ලියාපදිංචි වී සිටියෝය. මේ අතරින් පස්දෙනෙකු ගර්භණී වුවද සාර්ථකව මෙලොව බැලීමට හැකි වූයේ ලුයිස් බ්‍රවුන්ට පමණකි.

ලුයිස්ගේ උපතේ සිට මේ වනවිට මිලියන හයක් දරුවන් නළ දරුවන් ලෙස උපත ලබා තිබේ. පළමු නළ දරු උපතින් වසර හතළිහක් ගතවීම නිමිත්තෙන් ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ පැවැති ප්‍රදර්ශනයකට ආරාධනා ලැබ පැමිණි ලුයිස් බ්‍රවුන් එහිදී කතාවක්ද කළාය. නළ දරු උපත් මේ වනවිට ලොවම පිළිගන්නා තත්ත්වයකට පත්ව තිබිම ගැනද, තමා අංගසම්පූර්ණ දැරියක ලෙස උපත ලැබිම ගැනද ඇය සතුට පළ කළාය.

“පුංචිම අඩුපාඩුවක් හරි මගේ තිබුණා නම් ඒක නළදරු උපත්වල අවසානය වෙන්න තිබුණා. එහෙම වුණා නම් මේ ලෝකේ දරුවෙකුට ස්වාභාවිකව උපත දෙන්න බැරි දෙමව්පියන්ට කවදාවත් තමාගේම දරුවෙක්ගේ හුරතල් බලන්න ලැබෙන්නෙ නැහැ.” ඇය කියයි. තම මව මෙන් දිනක තමා බලා‍පොරොත්තු වන දේ සාර්ථක වන බවට දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නැයි ඇය කෘත්‍රිම සංසේචනය මගින් දරු උපතක් සිදුකර ගැනීමට බලා‍පොරොත්තුවන අය වෙනුවෙන් පණිවුඩයක්ද දුන්නාය. තම උපතට අවුරුදු හතළිහක් පිරෙන තැන ලුයිස් බ්‍රවුන්- ෆෝටි ඉයර්ස් ඔෆ් අයි වී එෆ්” නමින් ඇය ‍ලේඛක මාටින් පවල් සමග එක්ව ‍පොතක් ලියා තිබේ.

 නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.