lakbima.lk

තෝරු මෝරු එළියට හාල් මැස්සන් ඇතුළට

මෙවර පාපන්දු ලෝක කුසලානය ගැන කතා කරන පාපන්දු ලෝලීන් සියලුදෙනාම පාහේ විමතිය පළ කරති. ඒ ආර්ජන්ටිනාව, පෘතුගාලය, ස්පාඤ්ඤය වැනි පාපන්දුවේ විශිෂ්යන් අර්ධ අවසන් පූර්ව තරගවලට පෙරම ගෙදර යවා පාපන්දු ශූරයන් ලෙස නමක් නොතැබූ රටවල් ඉදිරියට ඒම හේතුවෙනි. විශේෂයෙන් රුසියානු පාපන්දු ඉතිහාසයේ අසාර්ථකම කණ්ඩායම හා ශේ්‍රණිගතකිරීම් අතින් හැත්තෑවෙනි තැන සිටී. රුසියාවේ වත්මන් කණ්ඩායම ස්පාඤ්ඤය වැනි ලෝක පාපන්දු ක්‍රීඩාවේ යෝධයෙක් බිම හෙලූ ආකාරය ගැන සියල්ලෝම කතා කරති. තමාගේම දැලට රුසියානු ක්‍රීඩකයෙක් අතින් ගෝලයක් ස්පාඤ්ඤයට ලැබි තිබියදී ලැබුණු දඬුවම් පහරින් උපරිම ප්‍රයෝජන ගෙන එකට එකක් ලෙස රුසියාව තරග කාලය නිමා කළේ ස්පාඤ්ඤයට කරට කර සටනක් දෙමිනි. පසුව ලැබුණු පැය භාගයේදීද ස්පාඤ්ඤයට ලකුණු ලබාගැනීමට ඉඩනොදුන් රුසියාව දඬුවම් පහර සඳහා අවස්ථාව ලබාගෙන ජයගත්තේ රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේත් සිටින රුසියානුවන් කූල්මත් කරවමිනි. ඔවුන්ගේ වීරයා වූයේ රුසියානු කණ්ඩායමේ නායකයා මෙන්ම දැල රකින්නාද වූ ඉගෝර් අකිනිෆීව්ය. වයස අවුරුදු තිස්දෙකක් වන ඉගෝර්ව ඔහුගේ පියා මුලින්ම පාපන්දු පුහුණු වීමට රැගෙන ගොස් තිබුණේ වයස අවුරුදු හතරේදීය.තමාට ලැබුණු දඬුවම් පහර රුසියාව සාර්ථකව නිමකරද්දී ස්පාඤ්ඤයේ දඬුවම් පහරක් වළක්වාගත් ඉගෝර් අකිනිෆීව් තරගයේ තීරණාත්මක ගෝලය රැකගත්තේ දැල වෙත එන බෝලයට බිම ඇලවී තම පාදයකින් පහරක් එල්ල කරමිනි. කලක් රුසියානු කණ්ඩායමේ දැල රකින්නෙකු ලෙස කටයුතු කළ වත්මන් පුහුණුකරුද තම කණ්ඩායම කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ බව පෙනිණි.

ගෝල දෙකට දෙකක් ලෙස තිබියදී අවසන් මොහොතේ ලබාගත් තුන් වන ගෝලයකින් ජපානය පරදවා බෙල්ජියම ජය ලැබූ අතර මෙක්සිකෝව පරදවා අර්ධ අවසන් පූර්ව වටයට එන්නට බ්‍රසීලය සමත් විය. ස්විඩනය හා ස්විට්සර්ලන්තය අතර තරගයෙන් ස්විට්සර්ලන්තය පරදවා ස්වීඩනය ජයගත් අතර කොලොම්බියාව හා එංගලන්තය අතර තරගයෙන් දඬුවම් පහර හරහා එංගලන්තය ජයගත්තේය. මෙහිදී මුලදී ගෝල දෙකක් ලබා තිබියදීත් තරගය ජයගන්නට නොහැකිවූ ජපානය පරාජය අභිමානවත් ලෙස බාරගත් ආකාරය ලොව පුරා පාපන්දු ලෝලීන් සංවේදී කළේය. මෙය ලෝක පාපන්දු කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට ජපානයට ඒමට නොහැකිවූ තුන්වැනි වතාවය.පුහුණුකරු අකිරා නිෂිනෝ පසුව කියා තිබුණේ පරාජයෙන් තම ක්‍රීඩකයින් කෙතරම් කම්පනයට පත්වුයේද යත් විවේකාගාරයේදී ඔවුහු සෑහෙන වෙලාවක් යනතුරු කිසිවක් කරගත නොහැකිව බලා සිටි බවය.

“අන්තිමේදී මම හැමෝටම කිව්වා ගිහිල්ලා ඇඟපත හෝදගෙන එන්න කියලා.” නිෂිනෝ කියයි. මෙහිදී විශේෂත්වය වූයේ මෙතරම් බරපතළ පසුතැවිල්ලක් තිබියදීත් තම විවේකාගාරය ක්‍රීඩකයන් විසින් සම්පූර්ණයෙන් පිරිසිදු කර පිටව ගොස් තිබිමය. එමෙන්ම ඔවුහු රුසියන් භාෂාවෙන් ස්තුතියි කියා ලියූ කොළකැබැල්ලක්ද විවේකාගාරයේ මේසයක් මත තබා ගොස් තිබිණි. කණ්ඩායම පමණක් නොව තම රට පරාජය වීමේ වේදනාව උහුලාගෙන ජපාන පාපන්දු ලෝලීන්ද පිටව ගොස් තිබුණේ තම රට සහභාගිවූ අනෙක් තරගවලදී කලාක් මෙන් ප්‍රේක්ෂකාගාරයේ තමා සිටි තැන් හොඳින් පිරිසිදු කිරීමෙන් පසුවය. හොඳින් තම කණ්ඩායම තරග කරමින් සිටියදී හදිසියේ සියල්ල කණපිට හැරවුණු බව පුහුණුකරු පවසයි.

බ්‍රසීලය මෙක්සිකෝව පරදවා සුපිරි ජයක් ලැබුවද එහි නොම්මර එකේ ක්‍රීඩක නෙයිමාර් වෙනදාටත් වඩා පිටියේ දඟලන්නට යාම හේතුවෙන් එම ජයග්‍රහණයේ රසය අඩුවූ බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.ප්‍රතිවාදී ක්‍රීඩකයකු යාන්තමින් ඇඟේ හැපුණත් මර හඬ දෙමින් බිම ඇද වැටී ඇඟේ කොතැන හෝ අල්ලාගෙන කෑගසන නෙයිමාර්ගේ මේ පුරුද්ද ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම බ්‍රසීල මාධ්‍ය විසින්ද කෙතරම් උපහාසයට ලක් කළත් ඔහුද එය නවත්වන පාටක් නැත. මේ තත්ත්වය හොඳින් ක්‍රීඩා කරමින් ඉදිරියට යන කණ්ඩායම අපකීර්තියට ලක් කරන බවද ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.එක් විචාරකයෙක් පවසා තිබුණේ නෙයිමාර්ට පාපන්දු ක්‍රීඩාවේදී ලැබෙන රන් සපත්තුව හෙවත් ගෝල්ඩන් බූට් සම්මානය නොව රංගනය සඳහා පිරිනැමෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලැබිය යුතු බවයි. නෙයිමාර්ගේ රංගනය ගැන කතා කරන මෙක්සිකෝවේ පුහුණුකරු පවසා තිබුණේ තව සෑහෙන කලකට නෙයිමාර්ට මෙක්සිකෝවේ නිවාඩුවක් ගත කරන්නට පැමිණීමට නොහැකි තරම් ඔහු තම රටේ ජනතාවට අප්‍රියවූ බවකි.

“මේක පාපන්දු ක්‍රීඩාවටම ලැජ්ජාවක්. එක ක්‍රීඩකයකුගේ  විකාර නිසා අපට වටිනා කාලය සෑහෙන්න අහිමිවුණා.” මෙක්සිකෝ පුහුණුකරු යුආන් කාලෝස් ඔස රියෝ පවසන්නේ අප්‍රසාදයෙනි.” කෙසේ වුවද මෙය චෝදනාවක් ලෙස නැගීම බොහෝ ක්‍රීඩා විචාරකයන් බැහැර කරති. අතිදක්ෂ හා ලොව පළමු පෙළේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරි බ්‍රසීල කණ්ඩායම සමග සසදන කළ මෙක්සිකෝ කණ්ඩායමේ දුර්වලතා පරාජයට බලපෑ බවත්, ඊට නෙයිමාර්ගේ ක්‍රීයාකාරකම් සම්බන්ධ කරගත යුතු නැති බවත් ඔවුන්ගේ අදහසයි.

මේ අතර බහුතරයක් කතා කළේ පාපන්දු ලොවේ දැවැන්තයන් මෙතරම් ඉක්මනින් පිටියෙන් විසිවීමට හේතුවය. පෘතුගාලය ඉවත්වීම විශ්‍ලේෂණය කරන පිරිස කියන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන පමණක් විශ්වාසය තබා ක්‍රීඩා කිරීමට යාම ඊට හේතුව බවය. ඉතිරි පිරිස කෙතරම් අසීරුවෙන් ක්‍රීඩා කලද අතීතයේ කලාක් මෙන් රොනාල්ඩෝ තමා ගලවාගන්නා බවට ඇති විශ්වාසය ඔවුන් තුළ දැඩිව පවතියි. එසේ කල නොහැකිවන තැන්වල ඔවුහු අමාරුවේ වැටෙති. ආර්ජන්ටිනාවේ තත්ත්වයද ඊට සමානය. ඔවුහු මුළු බර පටවන්නේ තම සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසී මතය. මෙසී අසාර්ථක වූ තැන කණ්ඩායම අසාර්ථක වෙයි. මෙහිදී විශේෂ අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවුණේ පාපන්දු ප්‍රබලයින් නොවන දකුණු කොරියාව සමග ගැටුණු ප්‍රබල ජර්මනියටය. මුලදී වැඩි සාර්ථකත්වයක් නොපෙන් වුවද ස්වීඩනය සමග ඔවුන් ක්‍රීඩා කළ ආකාරය හේතුවෙන් පසුගිය ෆිෆා තරගාවලියේදී කුසලානය ලබාගැනීම තෙක් දැක්වූ දස්කම් ජර්මනියෙන් මෙවරද බොහෝ දෙනා බලා‍පොරොත්තුවන්නට වූහ.නමුත් දැන් වසර තිස්දෙකක් පුරා වරක් කුසලානය දිනාගන්නා කණ්ඩායම ඊළඟ ලෝක කුසලානයේදී මුල් වටවලදීම ඉවත්ව යාමේ අවාසනාවන්ත ඉරණමට ඔවුන්ද ගොදුරු වූහ. ස්පාඤ්ඤයටද වූයේ මුල් තරගවලදී දියාගෝ කොස්තා පෙන්වූ දස්කම් මතම යැපීමේ විපාකය විදින්නටය.ඔහුගේ මැජික් බලය අවසන්වූ තැන රුසියාවට පැරදුණු ස්පාඤ්ඤයට ගෙදර යන්නට සිදුවිය.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.