lakbima.lk

චීන නීතිඥයෙකුගෙන් ශ‍්‍රවණාබාධ සහිත අයට සංඥා බසින් පාඩමක්

සංඥා භාෂාව හැසිරවිය හැකි චීන ජාතික එකම නීතිඥවරයා වන්නේ ටැංග් ෂුවායිය. ඔහු මෙම හැකියාව ප‍්‍රයෝජනයට ගනිමින් චීනයේ ජීවත්වන මිලියන 21ක් පමණ වූ ශ‍්‍රවණාබාධ සහිත වූවන්ට අපූරු පාඩමක් කියාදෙමින් පවතී.
ඔහු එසේ කියා දෙමින් පවතින්නේ Ponzi scheme නම් වූ පුදුමාකාර ජාවාරමක් පිළිබඳවය. පොදු ව්‍යවහාරයේ දී පිරමීඩ උපක‍්‍රම නමින් හඳුන්වන මෙවැනි ජාවාරම් ලෝකයේ බොහොමයක් රටවල තහනම් වෙළෙඳ උපක‍්‍රමයක් බවට පත්ව තිබේ. මෙම Ponzi scheme නමින් හඳුන්වන වෙළෙඳ ක‍්‍රමයද පිරමීඩ ක‍්‍රමවේදයක් වන අතර එයද තහනම් වෙළෙඳ උපක‍්‍රමයකි. මෙය ලෝකයේ රටවල් කීපයකම මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින අතර එය වැඩි වශයෙන් ජාලගතව පවතින්නේ චීනයේය. මේ වනවිට බිලියන 1.3ක් ඉක්ම වූ චීන ජනගහනයෙන් පහෙන් එකක් පමණ මෙම ජාවාරමට හසු වී තිබෙන බව බීබීසී සේවය වාර්තා කරයි. මේ නිසා චීන ආර්ථික විශ්ලේෂකයන් මෙම ජාවාරම පිළිබඳ නිරන්තරයෙන් චීන මහජනතාව දැනුවත් කරමින් පවතී.
මෙය සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රියව පැවැතීම නිසා ඔවුන් මෙම ජාවාරමින් මුදවා ගැනීමට ගත හැකි සියලූම උත්සාහයන් ගැනීමට චීන රජය පියවර ගෙන තිබේ. මේ වන විට පාසල් මට්ටමින් සිසු දරු දැරියන්ද, විශ්වවිද්‍යාල මට්ටමින් විද්‍යාර්ථීන්ද මේ පිළිබඳව දැනුවත් කරමින් පවතී. නමුත් චීනයේ ශ‍්‍රවණාබාධිත පුද්ගලයන් අතර ද මෙම ජාවාරම ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමේ ප‍්‍රවණතාවක් ඇතිවෙමින් පැවැති අතර එයට පිළියමක් ලෙස සංඥා භාෂාවෙන් ඔවුන් දැනුවත් කිරීමේ ක‍්‍රමවේදයක් නොතිබීම චීන රජය මුහුණ පා තිබූ ප‍්‍රධාන ගැටලූවකි.
සාමාන්‍යයෙන් සම්මත සංඥා භාෂාවට නිර්මාණය වී පවතින්නේ ඉංග‍්‍රීසි වචන ආශ‍්‍රය කර ගනිමිනි. ඉංග‍්‍රීසි භාෂාවේ එන වචන 50000ක් පමණ සංඥා භාෂාවට පරිවර්තනය කර තිබේ. ඊට අමතරව විවිධ රටවලට අයත් විවිධ භාෂාවන් ගෙන් යම්කිසි වචන ප‍්‍රමාණයක් ඒ ඒ රටවල භාෂා විශාරදයන් විසින් සංඥා භාෂාවට පරිවර්තනය කර තිබේ. ඒ අනුව චීනයේ භාවිතයට ගන්නා සංඥා භාෂාවේ පවතින්නේ තිස්දහසක් පමණ වූ වචන ප‍්‍රමාණයකි. එසේ වුවද ශ‍්‍රවණාබාධිත පුද්ගලයින් මෙම වචන තිස්දහසම භාවිතයට ගන්නේද නැත. ඔවුන් භාවිතයට ගනු ලබන්නේ දළ වශයෙන් වචන 5000ක් 10000ක් අතර ප‍්‍රමාණයකි. මේ නිසා යම් විශේෂ මාතෘකාවක් පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කර දීමක් සිදුකිරීම සඳහා සංඥා භාෂාව යොදා ගැනීම අතිශය අසීරු කාරණයකි. නමුත් චීන ජාතික නීතිඥවරයෙකු වන ටැංග්ෂුවායි මෙම අභියෝගය භාර ගනිමින් ශ‍්‍රවණාබාධිත පුද්ගලයන් ඉහත කී ජාවාරමින් මුදවා ගැනීම සඳහා සිය දැනුම යොදා ගැනීමට ඉදිරිපත් වී තිබේ.
කතා කිරීමේ සහ ඇසීමේ හැකියාව නැති දෙමාපියනට දාව උපන් ටැංග්ෂුවායි ඉතා නිරෝගී දරුවෙකු වූ අතර කුඩා කාලයේ දී ඔහු සිය දෙමාපියන්ගෙන් මෙම සංඥා භාෂාව ඉගෙන ගත්තේය. පාසල් අධ්‍යාපනය ලබන අතර තුර සංඥා භාෂාවද ප‍්‍රගුණ කළ ඔහු වයස අවුරුදු 18 වන විට රජයේ ලියාපදිංචි සංඥා භාෂා පරිවර්තකයෙකු බවටද පත්වූවේය. 2006 වසරේ දී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු වැඩි වශයෙන් පෙනී සිටියේ විවිධ ආබාධිත තත්ත්වයන්, විශේෂයෙන්ම ශ‍්‍රවණාබාධ සහ කතා කිරීමේ හැකියාව නැති පුද්ගලයින් වෙනුවෙන් විභාග වූ නඩු සඳහාය. ඔවුන් සඳහා වූ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසාම ටැංග්ෂුවායි නීති ක්ෂේත‍්‍රයේ පමණක් නොව ජනමාධ්‍යයේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත් වී තිබිණි.
ඉහත කී Ponzi scheme ජාවාරම පිළිබඳව ශ‍්‍රවණාබාධිත පුද්ගලයන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඔහු සිය දායකත්වය ලබාදෙන්නේ චීන රජය මගින් ඔහුගෙන් සිදු කළ විශේෂ ඉල්ලීම නිසාම නොවේ. එය ඔහුගේ වගකීමක් ලෙස සැලකූ බැවිනි. මේ නිසාම චීන සංඥා භාෂාවේ ඇති සාමාන්‍ය ව්‍යවහාරයට නොගන්නා වචන 15000ක් පමණ අධ්‍යයනය කරන්නට ඔහුට සිදුවිය. දින 22ක් තුළ මෙම වචන සියල්ල හොඳින් අධ්‍යයනය කළ ඔහු සිය වගකීම ඉටුකිරීම ආරම්භ කළේය. මේ වන විට ඔහු මෙම ජාවාරමේ තත්ත්වය සංඥා භාෂාව යොදා ගනිමින් පැහැදිලි කරමින් වීඩියෝ පට නිකුත් කිරීම ආරම්භ කර තිබේ. ඔහු මෙම තත්ත්වය පැහැදිලි කරනු ලබන වීඩියෝ පට විකාශය කිරීම සඳහා පමණක් නොව ඔහු වෙනුවෙන්ම විශේෂිත විකාශ කාලයන් පවා චීන රූපවාහිනී නාලිකා මගින් වෙන්කර තිබේ. වර්තමානය වන විට චීන රූපවාහිනී නාලිකා ඔස්සේ ද යූටියුබ් ඔස්සේ ද වැඩිම  වේලාවක් දකින්නට ලැබෙන පුද්ගලයා ටැංග්ෂුවායි බවට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ මුදා හැර ඇති ටැංග්ෂුවායිගේ වීඩියෝ සඳහා ලැබෙන අදහස් දැක්වීම්වලට අනුව මෙම දැනුවත් කිරීම නිසා Ponzi scheme ජාවාරමට හසුව සිටි ශ‍්‍රවණාබාධිත වූ පුද්ගලයින් රැසක් ඉන් ගලවා ගැනීමට හැකියාව ලැබී ඇති බව පෙනෙන්නට තිබේ.
 
දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.